Skip to content

ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීම වැරදිද?

ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීම වැරදිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලේ පෙන්නන්නේ එය විවාහක අයට දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ගක් කියලයි. දෙවියන් “පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන්” මිනිසුන්ව නිර්මාණය කළා කියලත් “සියල්ල ඉතා හොඳින් සාදා තිබුණු බව” දෙවියන් දැක්කා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 1:27, 31) දෙවියන් මුල්ම මිනිස් යුවළව විවාහයෙන් එක් කරපු අවස්ථාවේ කිව්වේ ඒ දෙන්නා “එක්කෙනෙකු මෙන් වන්නෝය” කියලයි. (උත්පත්ති 2:24) ඒකෙන් අදහස් වෙන්නේ ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් සතුටක් ලබනවටත් ඒ දෙන්නා අතරේ සමීප බැඳීමක් තියෙනවටත් දෙවියන් කැමති වුණ බවයි.

 ස්වාමිපුරුෂයෙක් තම භාර්යාව සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් ලබන සතුට ගැන බයිබලේ සඳහන් වෙන්නේ මෙයයි. “ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න. . . ඇගේ පියයුරුවලින් තෘප්තිමත් වන්න. ඇගේ ප්‍රේමයෙන් සැමදා ප්‍රීති ප්‍රමෝදයට පත් වන්න.” (හිතෝපදේශ 5:18, 19) ඒ වගේම භාර්යාවද තම ස්වාමිපුරුෂයා සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් සතුටක් ලබනවට දෙවියන් කැමතියි. ඒ ගැන බයිබලේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “ස්වාමිපුරුෂයා සහ භාර්යාව අඹුසැමියන් ලෙස එකිනෙකාගේ අවශ්‍යතා ඉටු කර දිය යුතුයි.”—1 කොරින්ති 7:3.

ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතරේ පමණයි

 ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න දෙවියන් අවසර දීලා තියෙන්නේ ස්වාමිපුරුෂයාට සහ භාර්යාවට විතරයි. ඒ ගැන බයිබලේ මෙහෙම සඳහන් වෙනවා. “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි. මන්ද වේශ්‍යාකමෙහි සහ අනාචාරයෙහි යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබේ.” (හෙබ්‍රෙව් 13:4) ඒ අනුව විවාහ යුවළක් එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න ඕන. ඒ වගේම එකිනෙකා වෙනුවෙන් තම යුතුකම් ඉටු කරන්නත් ඕන. ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් තමන්ගේ ආශාවන් ඉටු කරගන්න එක ගැන විතරක් හිතන්නේ නැතුව කටයුතු කරද්දී ඒ අයට විවාහ ජීවිතෙන් ලොකු තෘප්තියක් ලබන්න පුළුවන්. බයිබලේ සඳහන් වෙන්නෙත් “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලයි.—ක්‍රියා 20:35.