බයිබල් පද පැහැදිලි කිරීමක්
හිතෝපදේශ 17:17 - “මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය”
“සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17, ‘නව ලොව පරිවර්තනය.’
“මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.”—හිතෝපදේශ 17:17, ‘පැරණි අනුවාදය.’
හිතෝපදේශ 17:17 අදහස
හොඳ යාළුවෝ ඕනම වෙලාවක ළඟ ඉන්නවා. එයාලා විශ්වාසවන්තයි. එයාලා හරියට එක කුසේ උපන් සහෝදර සහෝදරියන් වගේ. විශේෂයෙන්ම අමාරු කාලවලදී එයාලා කවදාවත් යාළුවාව අත්හරින්නේ නැහැ, එයාව ආදරෙන් බලාගන්නවා.
“සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි.” ඒක “යාළුවෝ හැම තිස්සේම ආදරේ පෙන්නනවා” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. එතන “ආදරේ” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් අදහස් වෙන්නේ නිකම්ම හැඟීමකට සීමා වුණ දෙයක් නෙවෙයි. ඒක ඊටත් එහා ගිය දෙයක්. ඒ ආදරේ තමන්ගේ වාසියට පෙන්නන දේකුත් නෙවෙයි. ඒ වෙනුවට ඒ ආදරේ නිසා එයා අනිත් කෙනා ගැන හිතලා එයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පෙලඹෙනවා. (1 කොරින්ති 13:4-7) ඒ වගේ ආදරේකින් බැඳිලා ඉන්න යාළුවෝ දෙන්නෙක් එයාලාගේ යාළුකමට තර්ජනයක් වෙද්දී වුණත් දෙන්නා අතර තියෙන බැඳීම නැති කරගන්නේ නැහැ. උදාහරණෙකට එයාලා අතරේ වරදවා වටහාගැනීම් ඇති වෙද්දී වුණත් ජීවිතේ වෙන ප්‍රශ්න වෙද්දී වුණත් එයාලා දෙන්නාට දෙන්නා කිට්ටුවෙන් ඉන්නවා. එයාලා එකිනෙකාට හදවතින්ම සමාව දෙනවා. (හිතෝපදේශ 10:12) ඒ වගේම යාළුවාට හොඳක් වෙද්දී ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.—රෝම 12:15.
‘සැබෑ මිතුරෙකු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.’ මේ හිතෝපදේශයේ යාළුවෝ දෙන්නෙක්ව විස්තර කරන්න එක කුසේ උපන් සහෝදරයන් අතර තියෙන බැඳීම උදාහරණෙකට අරන් තියෙනවා. අමාරු කාලවල් මැද අපි අපේ යාළුවාට උදව් කරද්දී ඇත්තටම අපි වැඩ කරන්නේ එයාගෙම සහෝදරයෙක් වගේ. ඒ වගේ යාළුවෝ දෙන්නෙක් අතර තියෙන බැඳීම ප්‍රශ්න එද්දී වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මොකද ප්‍රශ්නවලට මූණ දෙද්දී එයාලා අතර තියෙන ආදරේ, ගෞරවේ තව වැඩි වෙනවා.
හිතෝපදේශ 17:17 අවට පද
හිතෝපදේශ පොත ප්‍රඥාවන්ත අදහස්වලින්, යෝජනාවලින් පිරිලා තියෙනවා. ඒක ලියලා තියෙන්නේ හරිම කෙටියෙන්, හිත් ඇදගන්න විදිහට. ඒ නිසා කියවන අය ඒ ගැන හිතන්න පෙලඹෙනවා. මේ පොතේ තියෙන දේවලින් වැඩි හරියක්ම ලියලා තියෙන්නේ සලමොන් රජ. එයා එළිසමය පාවිච්චි කරනවා වෙනුවට මේක ලියන්න පාවිච්චි කරලා තියෙන්නේ හෙබ්‍රෙව් කාව්‍යමය ශෛලිය. ඒ කියන්නේ සමහර පදවල පළවෙනි වාක්‍යයේ කියන දේම වෙන විදිහකින් දෙවෙනි වාක්‍යයේ විස්තර කරනවා. තවත් පදවල පළවෙනි වාක්‍යයෙන් කියන දේට විරුද්ධ අදහසක් තමයි දෙවෙනි වාක්‍යයේ තියෙන්නේ. උදාහරණෙකට හිතෝපදේශ 17:17 පළවෙනි වාක්‍යයේ තියෙන අදහසට තවත් තොරතුරු එකතු කරලා තමයි දෙවෙනි වාක්‍යය ලියලා තියෙන්නේ. ඒත් හිතෝපදේශ 18:24 කියන දේ බලන්න. “ද්‍රෝහිව කටයුතු කරන මිතුරෝ සිටිති. නමුත් සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක්ද සිටියි.” ඒ පදේ ලියලා තියෙන්නේ පළවෙනි වාක්‍යයේ තියෙන අදහසට සම්පූර්ණයෙන්ම විරුද්ධ අදහසක් දෙවෙනි වාක්‍යයට එන විදිහට.
හිතෝපදේශ 17:17 ලියද්දී සමහරවිට සලමොන්ගේ මනසේ තියෙන්න ඇත්තේ එයාගේ තාත්තා වුණ දාවිත් සහ සාවුල් රජුගේ පුතා යොනාතාන් අතරේ තිබුණ යාළුකම වෙන්න ඇති. (1 සාමුවෙල් 13:16; 18:1; 19:1-3; 20:30-34, 41, 42; 23:16-18) දාවිත් සහ යොනාතාන් කියන්නේ ලේ නෑයෝ නෙවෙයි. හැබැයි එයාලා අතර ලේ නෑයන් අතර තියෙන බැඳීමටත් වඩා බැඳීමක් තිබුණා. කොටින්ම කිව්වොත් යොනාතාන් එයාගේ යාළුවා වෙනුවෙන් ජීවිතේ වුණත් දෙන්න දෙසැරයක් හිතුවේ නැහැ. a
හිතෝපදේශ 17:17 වෙනත් පරිවර්තනවල
“මිතුරුතුමෝ දුක් සැප දෙකෙහි ම මිතුරෝ ය; සොහොයුරන් සිටින්නේ විපතේ දී අත දීමට ය.”—‘නව අනුවාදය.’
හිතෝපදේශ පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.
a “ඔහු පණට මෙන් තම මිතුරාට ආදරය කළා” කියන ලිපිය බලන්න.