Skip to content

යොවුන් සිතේ ගැටලු

කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?

කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?

 ඒක වැදගත් ඇයි?

  •   කාලය රන් හා සමානයි කියලා ඔයා අහලා ඇති. එහෙම කියන්නේ කාලය ගොඩක් වටින නිසයි. කාලය නාස්ති කළොත් ඒක ආයේ ගෙන්න ගන්නවා නම් බොරු. කාලය හොඳින් පාවිච්චි කරන්න පුරුදු වෙන එක කාලය නාස්ති නොකර ඉන්න ඔයාට උදව් වෙයි. එතකොට ජීවිතේ වැදගත් දේවල් කරන්න විතරක් නෙමෙයි විනෝද වෙන්නත් ඇති තරම් කාලය තියෙයි.

     බයිබල් ප්‍රතිපත්තිය: “අලසයාට දහසකුත් ආශාවන් තිබුණත් ඔහුට ඒ කිසිවක් ලැබෙන්නේ නැත. නමුත් උත්සාහවන්තයාගේ ආශාවන් ඉෂ්ට වෙයි.”—හිතෝපදේශ 13:4.

     මේක මතක තියාගන්න: සැලැස්මකට අනුව දේවල් කරන එකෙන් නිදහස අඩු වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත.

  •   කාලය හොඳින් පාවිච්චි කරන්න ඉගෙනගන්න එක වැඩිහිටියෙක් වුණ දවසට ඔයාට ගොඩක් උදව් වෙයි. උදාහරණෙකට වෙලාවට දේවල් කරන පුරුද්ද ඔයාට නැත්නම් රස්සාවක් කරන කාලෙක ඔයා හැමදාම පරක්කු වෙලා වැඩට එයි. ඒ නිසා රස්සාව නැති වෙන්නත් පුළුවන්. ඔයා ආයතනයක ප්‍රධානියෙක් නම් හැමදාම පරක්කු වෙලා එන කෙනෙක්ව තියාගන්න ඔයා කැමති වෙයිද?

     බයිබල් ප්‍රතිපත්තිය: “ඉතා සුළු කාරණයකදී විශ්වාසවන්තව කටයුතු කරන තැනැත්තා බැරෑරුම් කාරණාවලදීත් විශ්වාසවන්තව කටයුතු කරයි.”—ලූක් 16:10.

     මේක මතක තියාගන්න: කාලය පාවිච්චි කරන විදිහෙන් ඔයා මොන වගේ කෙනෙක්ද කියලා කියන්න පුළුවන්.

 ඇත්ත සැලැස්මකට අනුව වෙලාවට දේවල් කරන එක ලේසි නැහැ. ඒකට බාධා වෙන ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. ඒවායින් 3ක් ගැන දැන් බලමු.

 1වෙනි බාධකය: යාළුවෝ

 “යාළුවෝ කොහේ හරි යන්න අඬගැහුවොත් මම බැහැ කියන්නේ නැහැ. මොන වැඩේ තිබ්බත් ඒක පැත්තකට දාලා එයාලත් එක්ක යනවා. ඒත් පස්සේ ගෙදර ඇවිත් දඩි බිඩි ගාලා වැඩ ටික කරලා දානවා. ඇයි වෙලා නෑනේ. ඒ නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා.”—සින්තියා.

 2වෙනි බාධකය: කාලය සොරාගන්න දේවල්

 “ටීවි බලන්න පටන්ගත්තොත් ඒක නවත්වගන්න හරි අමාරුයි. ටෙලි නාට්‍යවලටයි, ෆිල්ම්වලටයි ඇබ්බැහි වෙනවා.”—අයිවි.

 “ටැබ් එක අතට ගත්තොත් ඒක අතේ ඇලුණා වගේ තමා. ඒක පැත්තකින් තියන්න බැට්රි ඉවර වෙන්නම ඕනේ. ඒ ගැන හිතද්දීත් ලැජ්ජායි.”—මරී.

 3වෙනි බාධකය: වැඩ කල් දාන එක

 “ඉස්කෝලෙන් දෙන ප්‍රොජෙක්ට්ස් කරන්න මං හැම තිස්සේම අන්තිම මොහොත වෙන කල් ඉන්නවා. අනවශ්‍ය දේවලට තමා වැඩිපුර කාලයක් දෙන්නේ. කාලය හොඳට සැලසුම් කරන්න මං ඉගෙනගන්න ඕනේ.”—බෙත්.

සැලැස්මකට අනුව දේවල් කරන එකෙන් නිදහස අඩු වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත

 ඔයාට කරන්න පුළුවන් මොනවාද?

  1.   කරන්න තියෙන වැදගත් දේවල් ලියාගන්න. සතියක් ඇතුළත ඔයාට කරන්න තියෙන වැදගත් දේවල්වල ලැයිස්තුවක් හදාගන්න. ඒකට ඉස්කෝලේ වැඩ, ගෙදරදොරේ වැඩ ඇතුළත් කරන්න පුළුවන්. ඒ වැඩවලට ඔයාට සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවාද කියලා ඉස්සරහින් ලියන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10.

  2.   විනෝදෙට කරන්න කැමති දේවල් ලියන්න. ටීවි බලන එක, මිතුරු සමාජ වෙබ් අඩවි පාවිච්චි කරන එක වගේ ඔයා විනෝදෙට කරන දේවල් ඇතුළත් කරන්න පුළුවන්. කලින් කළා වගේ මේ දේවලටත් කොච්චර වෙලාවක් දෙනවාද කියලා වෙන වෙනම ලියන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: “ඥානවන්තව කටයුතු කරන්න. ඔබට තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.”—කොලොස්සි 4:5.

  3.   කාලසටහනක් හදාගන්න. ඒකට, කලින් ලියාගත්ත ලැයිස්තු 2ක පාවිච්චි කරන්න. වැදගත් දේවලට ඇති තරම් කාලයක් වෙන් කරන්න. ඒ දේවල් කරන්න කාලය මදි කියලා තේරුණොත් විනෝදයට කරන දේවල්වලට දෙන කාලය අඩු කරන්න පුළුවන්ද කියලා හිතන්න.

     යෝජනාවක්: හැම දවසකම කරන්න තියෙන වැඩ ඇතුළත් කරලා ලැයිස්තුවක් හදාගන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.”—හිතෝපදේශ 21:5.

  4.   සැලසුම් කරපු විදිහට වැඩ කරන්න. ඔයාට කරන්න තියෙන වැදගත් දේවල් නිසා සමහරවිට යාළුවෝ එක්ක කාලය ගත කරන්න බැරි වෙයි. ඒත් ඔයා වැදගත් දේවලට කාලය දුන්නොත් ලොකු සතුටක් දැනෙයි. ඒ වගේම ඔයා කැමති දේවල් කරන්නත් වැඩිපුර වෙලාව ඉතුරු වෙයි.

     බයිබල් ප්‍රතිපත්තිය: ‘කම්මැළි නොවී වෙහෙස මහන්සි වී වැඩ කරන්න.’—රෝම 12:11.

  5.   වැදගත් දේවල් ටික කරලා ඉන්න. ටාරා කියන යෞවනිය මෙහෙම කියනවා. “මං සමහර වෙලාවට, කරන්න තියෙන වැඩ එකක් දෙකක් කළාට පස්සේ ඒ සතුටට විනාඩි පහළවක් ටීවී බලන්නම් කියලා ඉඳගන්නවා. ඊටපස්සේ ඉතුරු වැඩ ටික කරනවා කියලා තමයි හිතන්නේ. හැබැයි දන්නේම නැතුව විනාඩි පහළව විනාඩි තිහ වෙනවා, විනාඩි තිහ පැය වෙනවා. අන්තිමට පැය දෙකක්ම ටීවී බලලා තමයි නැඟිටින්නේ.”

     මේ දේ ඔයාටත් වෙන්න පුළුවන්. ඒ නිසා විනෝදයට දෙයක් කරන්න කලින් එදා දවසේ ඔයාට කරන්න තියෙන දේවල් ඔක්කොම ඉවර කරන්න. විනෝද වෙන්න ලැබෙන අවස්ථාව දවසේ වැඩ ටික ඉවර කළාට ඔයාට ලැබෙන තෑග්ගක් කියලා හිතන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: ‘මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මා දැක නැත.’—දේශනාකාරයා 2:24.