Skip to content

යොවුන් සිතේ ගැටලු

ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක භයානකද?

ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක භයානකද?

ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්නවා කියන්නේ මොකක්ද?

  ඒකෙන් අදහස් කරන්නේ ලිංගික හැඟීම් අවුස්සන SMS පණිවිඩ, පින්තූර හා වීඩියෝ දර්ශන ෆෝන් එකෙන් යවන එකයි. එක් කෙනෙක් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “මේක අද සාමාන්‍ය දෙයක්. මුලින්ම දෙන්නෙක් SMS පණිවිඩ කීපයක් හුවමාරු කරගන්නවා. වැඩි වෙලාවක් යන්න කලින් ඒ දෙන්නා ඒගොල්ලන්ගේ නිරුවත් පින්තූර හුවමාරු කරගන්නවා.”

 එහෙම කරන්නේ ඇයි? නීතිඥයෙක් ඒ ගැන කියපු දේ පුවත්පතක මේ විදිහට සඳහන් වුණා. හුඟක් යෞවනයන් “එයාලා යාළු වෙලා ඉන්න කෙනාගේ නිරුවත් පින්තූර ෆෝන් එකේ තියාගෙන ඉන්නේ ලිංගික සම්බන්ධකමක් ඇති කරගන්න එයාලා සූදානම් කියන එක අනිත් අයට අඟවන්න.” (The New York Times) ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක ගැන යෞවනියක් කිව්වේ මෙහෙමයි. “එහෙම කරන එක ලිංගික වින්දනයක් ලබන්න පුළුවන් ආරක්ෂිත ක්‍රමයක්. මොකද එහෙම කරා කියලා දරුවන් ලැබෙන්නෙත් නැහැ. සමාජ රෝග බෝ වෙන්නෙත් නැහැ.”

 එහෙම කරන්න බලපාන තවත් හේතු:

  •   හිත ගිය කෙනාගේ හැඟීම් අවුස්සලා පොලඹවාගන්න

  •   නිරුවත් පින්තූරයක් එවපු කෙනෙක්ට ඒ විදිහෙම පින්තූරයක් යවන්න ඕන කියලා හිතන නිසා.

 මොන වගේ නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙයිද?

 කෙනෙක් එයාගේ නිරුවත් පින්තූරයක් ෆෝන් එකෙන් යැව්වොත් යැව්වම තමයි. ඒක ලබන කෙනාට පුළුවන් ඒක ඕන කෙනෙක්ට යවන්න. ඒකේ තියෙන අනතුර ගැන පිව් පර්යේෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂකවරියක් වන අමැන්ඩා ලෙන්හාට් කිව්වේ මෙහෙමයි. “කවුරු හරිෆෝන් එකෙන් එවන දෙයක් වෙන අයට යවන්නත් සේව් කරලා තියාගන්නත් මීට කලින් මේ තරම් පහසු ක්‍රමයක් තිබිලා නැහැ.”

 මෙහෙමත් වෙනවා

  •    නිරුවත් පින්තූරයක් කෙනෙක්ට ලැබුණම ඒ කෙනා ඒක අනිත් යාළුවන්ටත් යවනවා.

  •    ප්‍රේම සම්බන්ධය කැඩුණම සමහර පිරිමි ළමයි පළිගන්න හිතාගෙන පෙම්වතියගේ නිරුවත් පින්තූර අනිත් අයට යවනවා.

 මේක දැනගෙන හිටියාද? නිරුවත් පින්තූර ෆෝන් එකෙන් යවන එක නීතියට අනුව වරදක්. ඒක ගණන් ගැනෙන්නේ ළමා අපචාරයක් හෝ බාල වයස්කාර දරුවන්ගේ අසභ්‍ය පින්තූර බෙදාහැරීමක් තරම් බරපතළ දෙයක් හැටියටයි. බාල වයසේ දරුවෙක් වුණත් ෆෝන් එකෙන් නිරුවත් පින්තූර යැව්වොත් නීතියට අනුව එයා වරදකරුවෙක්.

 බයිබලයේ තියෙන මඟ පෙන්වීම් මොනවාද?

 විවාහ වෙලා ඉන්න යුවළක් එයාලගේ ලිංගික අවශ්‍යතා ඉටු කරගන්න එකේ වරදක් නැහැ. (හිතෝපදේශ 5:18) ඒ ඇරෙන්න අනිත් හැම ලිංගික ක්‍රියාවක්ම වැරදියි කියලා බයිබලයේ කියනවා.

  •   “වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි. . . . කිසිම ලැජ්ජාවක් බියක් නොමැතිව හැසිරීම, මෝඩ කතා හෝ අසභ්‍ය විහිළු සුදුසු නැත.”—එෆීස 5:3, 4.

  •   “වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද . . . තණ්හාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.”—කොලොස්සි 3:5.

 ඒ බයිබල් පදවල වැරදියි කියන්නේ “වේශ්‍යාකම” (නීත්‍යනුකූලව විවාහ වුණු දෙන්නෙක් අතරේ සිදු වෙන ලිංගික සම්බන්ධකම් හැර අනිත් ඕනම ලිංගික ක්‍රියාවක්) විතරක් නෙවෙයි. “අපවිත්‍ර ක්‍රියා” (පහත් හැසිරීම හා පහත් කතාබහ ඇතුළත්) හා ‘කාමාශාවත්’ (වැරදි හැසිරීමකට මුලපුරන ආශාවක්) වැරදියි කියලා ඒ පදවල කියනවා.

 මේ ගැන හිතන්න

  •   ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක ‘අපවිත්‍ර ක්‍රියාවක්’ කියලා කියන්නේ ඇයි?

  •   “කාමාශාව” ඇති වෙන්න ඒක බලපාන්න පුළුවන් කොහොමද?

  •   නිරුවත් පින්තූර බලන එකත් ඒවා වෙන අයට යවන එකත් “හානිකර” දෙයක් වෙන්නේ ඇයි?

 ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරන එකෙන් වැළකිලා ඉන්න තවත් හොඳ හේතු තියෙනවා. ඒක තේරුම්ගන්න බයිබලයේ තියෙන මේ මඟ පෙන්වීම් බලන්න.

  •   “දෙවිගේ අනුමැතිය ලබා ඇති සේවකයෙකු ලෙස පෙනී සිටීම සඳහා ඔබට හැකි උපරිමය කරන්න. එලෙසම තමන් ඉටු කරන සේවය ගැන ලැජ්ජා නොවන . . . කෙනෙකු වන්න.”—2 තිමෝති 2:15.

  •   “ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න. ඔබේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ඔබේ ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි.”—2 පේතෘස් 3:11.

 ඒ බයිබල් පදවලින් තේරෙනවා වැරදි දේවල් නොකර ඉන්න එකෙන් ඔයාටම හොඳක් වෙනවා කියලා. ඔයා වැරදි දේවල් කරන එකෙන් වැළකිලා හිටියොත් විඳින්න වෙන ප්‍රතිඵල ගැන හිතලා හැමදාම බයෙන් ඉන්න වෙන්නේ නැහැ.—ගලාති 6:7.

 මේ ගැන හිතන්න

  •   මම මොන වගේ කෙනෙක්ද?

  •   මම අනිත් අයගේ නම කැත නොකර ඉන්න උත්සාහ කරන කෙනෙක්ද?

  •   මම වෙන අයට දුකක් දීලා සතුටු වෙන කෙනෙක්ද?

  •   ෆෝන් එකෙන් අසභ්‍ය පින්තූර හුවමාරු කරගත්තොත් මගේ නමට මොන වගේ කැළලක් ඇති වෙන්න පුළුවන්ද?

  •   ෆෝන් එකෙන් අසභ්‍ය පින්තූර හුවමාරු කරගත්තොත් දෙමව්පියන්ට මං ගැන තියෙන විශ්වාසයට මොනවා වෙයිද?

 ඇත්ත සිදුවීමක් “මගේ යාළුවෙක් පිරිමි ළමයෙක් එක්ක හොරෙන් යාළු වෙලා හිටියා. එයා දවසක් එයාගේ නිරුවත් පින්තූරයක් පිරිමි ළමයට යැව්වා. පිරිමි ළමයත් එයාගේ නිරුවත් පින්තූරයක් ගෑනු ළමයට එව්වා. එහෙම කරලා දවස් දෙකක්වත් යන්න කලින් ගෑනු ළමයගේ තාත්තා එයාගේ ෆෝන් එක අරන් බැලුවම ඒ පින්තූර දැක්කා. තාත්තට ඒක අහු වුණාට පස්සේ ඒ ගෑනු ළමයා වෙච්ච හැම දෙයක්ම තාත්තට කිව්වා. කරපු වැරැද්ද ගැන ගෑනු ළමයා හුඟක් දුක් වුණා. එයා මේ වගේ දෙයක් කරාද කියන එක ගැන දෙමව්පියන්ට අදහාගන්නවත් බැරි වුණා. ඉදිරියට එයාව විශ්වාස කරන්න පුළුවන්ද කියන එක ගැනත් එයාගේ දෙමව්පියන්ට දැන් තියෙන්නේ සැකයක්.”

 ඇත්ත තත්වය: අසභ්‍ය දේවල් ෆෝන් එකෙන් යවන අයයි බලන අයයි දෙගොල්ලන්ම කරන්නේ හරිම පහත් දෙයක්. යාළු වෙලා හිටිය පිරිමි ළමයගේ බල කිරීම නිසා තමන්ගේ නිරුවත් පින්තූරයක් එයාට යවපු ගැහැනු ළමයෙක් මෙහෙම කිව්වා. “ඒ ගැන මතක් වෙද්දිත් මට දැනෙන්නේ ලොකු පිළිකුලක්. මම කරගත්තේ මොන තරම් මෝඩ වැඩක්ද කියලා මට හිතෙනවා.”

 ෆෝන් එකෙන් අසභ්‍ය පින්තූර හුවමාරු කරන එකෙන් ඔයාටත් හානියක් වෙනවා. අනිත් අයටත් හානියක් වෙනවා. ඒ වගේම ඒක නීතියෙන් දඬුවම් ලැබෙන වරදක්. ඒ නිසා බයිබලයේ තියෙන මේ මඟ පෙන්වීම් අදාළ කරගන්න එක නුවණට හුරුයි.

  •   “යොවුන් වියට ආවේණික වූ ආශාවන් ඔබේ සිතින් පලවාහරින්න.”—2 තිමෝති 2:22.

  •   “කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න.”—ගීතාවලිය 119:37.

 ඔයාගේ තීරණය මොකක්ද?

 බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අපේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන් විදිහ ගැන දැනගන්න ජැනට් කියන යෞවනිය මුහුණ දීපු සිද්ධියක් අපි දැන් බලමු.

 “මට දවසක් පිරිමි ළමයෙක්ව මුණගැහුණා. එයා එයාගේ ෆෝන් නම්බර් එක මට දුන්නා. මාත් මගේ නම්බර් එක එයාට දුන්නා. සතියක් විතර යද්දී එයා මට කිව්වා ‘ඔයා බිකිනියක් ඇඳගෙන ඉන්න පින්තූරයක් ෆෝන් එකෙන් එවන්න’ කියලා.”ජැනට්.

 ජැනට් මොනවා කරයිද? ඒ වගේ වෙලාවක ඔයා මොනවාද කරන්නේ?

  •  අ. මෙහෙම හිතෙන්න පුළුවන්. ‘ඒ වගේ පින්තූරයක් යවන එක ප්‍රශ්නයක් නැහැනේ. මොකද පූල් එකට ගියාම කොහොමටත් ඒ වගේ ඇඳුමක්නේ අඳින්නේ.’

  •  ආ. මෙහෙම හිතෙන්න පුළුවන්. ‘මගේ ඇඟ එච්චර පේන්නේ නැති පින්තූරයක් මුලින්ම යවලා බලන්න ඕනේ. ඊටපස්සේ මොකද වෙන්නේ කියලා බලමුකෝ.’

  •  ඇ. මෙහෙම හිතෙන්න පුළුවන්. ‘මෙයා එන පොට නම් හරි නෑ. මෙයාගේ මෙසේජ් එක මම ඩිලීට් කරලා දානවා.’

 කරන්න පුළුවන් හොඳම දේ තමයි මෙසේජ් එක ඩිලීට් කරන එක. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති” කියලා බයිබලයේ කියනවා.—හිතෝපදේශ 22:3.

 ජැනට්ගේ සිද්ධියෙන් තේරෙනවා ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක වගේම තවත් වැරදි දේවල් කරන්නත් හේතු වෙන්නේ අපි ආශ්‍රය කරන යාළුවෝ කියලා. ඒ නිසා හොඳට හිතලා බලලා යාළුවන්ව තෝරගන්න. (හිතෝපදේශ 13:20) “වැරදි දේවල් සැහැල්ලුවට ගන්නේ නැති යාළුවන්ව ආශ්‍රය කරන්න” කියලා යොවුන් වියේ ඉන්න සේරා කියනවා. ඩෙල්යා කියන යෞවනිය මේ වගේ දෙයක් කිව්වා. “සමහරු යාළුවෝ වගේ හිටියට ඒගොල්ලෝ හදන්නේ අපිව වැරදි දේවල්වලට ඇදගන්න. ඒගොල්ලන්ට ඕන දෙවිගේ නීති කඩන්න ඔයාවත් පොලඹවාගන්නයි. ඒ වගේ දෙයක් වෙනවට ඔයා කැමතිද?”