එයාලා ඒ ලියුම් ගොඩක් අගය කළා
බෲක් කියන්නේ එක්සත් ජනපදයේ ඉන්න සාක්ෂිකාරියක්. කොරෝනා වසංගත කාලේ එයා බයිබලේ තියෙන පණිවිඩය අනිත් අයට දැනුම් දුන්නේ ලියුම්වලින්. ඔය විදිහට එයා එයාගේ අතින්ම සතියකට සෑහෙන්න ලියුම් ප්රමාණයක් ලිව්වා. හැබැයි අවුරුදු එකහමාරක් තිස්සේ ලියුම් ලිව්වත් ඒ එකකටවත් උත්තර ආවේ නැහැ. එකම එක සැරයක් උත්තරයක් ආවා. ඒ ලියුමෙත් කියලා තිබුණේ “ආයේ මේ ඇඩ්රස් එකට ලියුම් එවන්න එපා” කියලා. ඉතින් ඒක නිසා බෲක් ගොඩක් අධෛර්යය වුණා. එයාට හිතුණා මේ විදිහට සේවේ කරන එකෙන් වැඩක් තියෙනවාද කියලා.
ඔය අතරේ තවත් සාක්ෂිකාරියක් හිටියා කිම් කියලා. එයා වැඩ කළේ බැංකුවක. එයා දවසක් බෲක්ට කිව්වා “බැංකුවට ආපු එක මහත්තයෙක්ට සාක්ෂිකරුවෙක්ගෙන් ලියුමක් හම්බ වෙලා තියෙනවා, බලද්දී ඒක ඔයාගේ ලියුමක්” කියලා. ඊළඟ සතියෙත් ඒ මහත්තයා බැංකුවට ආවා. ඒ වෙලාවේ කිම් එයාත් එක්ක කතා කරකර ඉද්දී ඒ මහත්තයා ඇහුවා “ඔයාලාගේ අර වීඩියෝ කොන්ෆරන්ස්වලින් රැස්වීමක් තියෙනවා නේද, ඒකට මටත් එන්න පුළුවන්ද” කියලා.
ඔයිට ටික කාලෙකට පස්සේ තවත් සිද්ධියක් වුණා. තව සාක්ෂිකරුවෙක් හිටියා ඩේවිඩ් කියලා. එයා බෲක්ට කිව්වා එයාගේ වැඩපොළේ කෙනෙක්ටත් බෲක්ගේ ලියුමක් හම්බ වෙලා තියෙනවා කියලා. ගොඩක් මහන්සි වෙලා ඒ ලියුම අතින්ම ලියලා තිබ්බ එක ගැන වැඩපොළේ කෙනා ගොඩක් අගය කළා. එයා කිව්වා “හැමෝම අනිත් අය ගැන මේ වගේ සැලකිල්ලක් පෙන්නනවා නං කොච්චර හොඳද” කියලා. ඉතින් ඒ වෙලාවේ ඩේවිඩ් එයාට බයිබලෙන් තව ගොඩක් දේවල් පෙන්නලා පහුවදා එද්දී සඟරා ගෙනත් දෙන්නම් කියලත් කිව්වා. ඒක ඒ වැඩපොළේ කෙනා ගොඩක් අගය කළා.
මොකක්ද මේ අද්දැකීමෙන් තේරෙන්නේ? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යනයන හැම තැනම පුළුවන් තරම් බීජ වපුරනවා. හැබැයි ඒවායින් කොයි එක පැළ වෙනවාද කියලා එයාලවත් සමහරවිට දන්නේ නැහැ. (දේශනාකාරයා 11:5, 6) කොහොමහරි මේ වෙච්ච දේවල්වලින් බෲක් දැනගත්තා එයාගේ මහන්සිය වතුරේ ගිහිල්ලා නැහැ කියලා.—1 කොරින්ති 3:6.