ලිපිය ලස්සන කරන්න යොදාගන්න ඡායාරූප
අපේ ප්‍රකාශනවල තියෙන ලස්සන ඡායාරූප හුඟදෙනෙක්ගේ සිත්ගන්නවා. ඇත්තෙන්ම ඒවායෙන් කරන්නේ ප්‍රකාශනයෙන් ඉදිරිපත් කරන පණිවිඩය තේරුම්ගන්න උදව් කරන එකයි. මේ තරම් අරුත්බර විදිහට ඡායාරූප ගන්නේ කොහොමද? ඒ ගැන දැනගන්න 2015 සැප්තැම්බර් ‘පිබිදෙව්!’ සඟරාවේ කවරයේ තියෙන ඡායාරූපය ගත්ත විදිහ ගැන තොරතුරු ටිකක් බලමු. *
දළසටහන. පැටර්සන්වල තියෙන වොච්ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානයේ පිහිටුවලා තියෙන චිත්‍ර සම්පාදන අංශයේ සේවය කරන අය මුලින්ම කළේ “ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි” කියන ලිපිය කියවන එක. ඊටපස්සේ එයාලා ඒ ලිපියට ගැලපෙන්නේ මොන වගේ පින්තූරද කියලා හොඳට හිතලා දළසටහන් කිහිපයක් ඇන්දා. ඒවා පාලක මණ්ඩලයේ ලේඛන කමිටුවට යොමු කළාම එයාලා තමයි ඒ අතරින් හොඳම එක තේරුවේ.
ස්ථානය. බැංකුවකට ගිහින් ඡායාරූප ගන්නවා වෙනුවට එයාලා ඡායාරූප ගන්න පාවිච්චි කළේ වොච්ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානයේ තියෙන ලොබි එකක්. *
ඡායාරූපයේ පෙනී සිටින අය. ඒ හැමෝම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. බැංකුවට ඇවිත් ගනු දෙනු කරන අය විදිහටයි එයාලා ඡායාරූපයට පෙනී හිටියේ. සාමාන්‍යයෙන් ඡායාරූපවල ඉන්න අය ගැන වාර්තාවක් තියාගන්නවා. එහෙම කරන්නේ එකම කෙනාගේ ඡායාරූප නිතර නිතර ප්‍රකාශනවල පළ වෙන එක වළක්වාගන්නයි.
උපයෝගී කරගන්න දේවල්. මේ ඡායාරූපය ඇමරිකාවෙන් පිට ගත්ත එකක් කියලා පෙන්නන්න ඕන වුණ නිසා එයාලා ඡායාරූපය සඳහා පාවිච්චි කළේ වෙනත් රටක මුදල් නෝට්ටු. මේක බැංකුවක සිදු වෙන සැබෑ සිදුවීමක් විදිහට පෙන්නන්න ඡායාරූප ශිල්පීන් ලොකු උත්සාහයක් ගත්තා. ඒ ගැන ඡායාරූප ශිල්පියෙක් වන ක්‍රේග් කිව්වේ “මේ වගේ ඡායාරූපයක් ගද්දී අපි හැම දේ ගැනම හොඳට හිතලා බලනවා” කියලයි.
ඇඳුම් පැළඳුම් සහ මේකප්. මේ ඡායාරූපයේ ඉන්න අය ඇන්දේ එයාලගෙම ඇඳුම්. ඒත් අතීතයේ සිදු වුණ දෙයක් හරි, විශේෂ නිල ඇඳුමක් ඇඳගෙන ඉන්න සිද්ධියක් නිරූපණය කරන්න වුණොත් හරි, චිත්‍ර සම්පාදන අංශයේ අය ඒ ගැන හොඳට හොයලා බලලා ඇඳුම් නිර්මාණය කරනවා. පෙනී සිටින අයව මේකප් කරන්නෙත් කාලයට, ප්‍රකාශනයේ තියෙන අදහසට ගැළපෙන විදිහට සහ ඡායාරූපයෙන් කියන්න හදන දේ පැහැදිලි වෙන විදිහටයි. ක්‍රේග් මෙහෙම කියනවා. “අද කාලේ ඡායාරූප තාක්ෂණය වගේම පරිගණක තාක්ෂණයත් හරිම දියුණුයි. ඒ නිසා ඡායාරූපයේ පුංචි අඩුපාඩුවක්වත් තියෙන්න බැහැ. මොකද පුංචි දේකට වුණත් පුළුවන් ඡායාරූපයේ වටිනාකම සම්පූර්ණයෙන්ම නැති කරන්න.”
ඡායාරූප ගැනීම. බැංකුවේ ගනු දෙනුව දවල් සිද්ධ වෙන දෙයක් හැටියටයි පෙන්නන්න ඕන වුණේ. ඒ නිසා ඡායාරූප ශිල්පීන්ට බැංකුවක් විදිහට සකස් කරපු තැනට වැටෙන එළිය ගැන හුඟක් සැලකිලිමත් වෙන්න සිද්ධ වුණා. (ඕන කරන්නේ හිරු එළියද, සඳ එළියද නැත්නම් විදුලි එළියද කියලා තේරුම්ගන්න ඕනේ.) මොකද පින්තූර ගන්න හැම වතාවකම මේ පසුබිම් එළිය එක සමාන වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඡායාරූපයේ ගොඩක් තද එළියක්වත් අඳුරු ගතියක්වත් තියෙන එක සුදුසු නැහැ. ඒ ඡායාරූපයෙන් කියන්න හදන දේට ගැළපෙන ආලෝකයක් ඒ ස්ථානයේ තියෙන්න ඕනේ. ක්‍රේග් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “වීඩියෝ එකක් වගේ නෙමෙයි, සම්පූර්ණ කතාවම කියන්න අපිට තියෙන්නේ එක ඡායාරූපයයි. ඒ නිසා ආලෝකය ගැන සැලකිලිමත් වෙන එක හරිම වැදගත්.”
ඡායාරූප සංස්කරණය. බැංකුවේ ඡායාරූපය ගත්තට පස්සේ තවත් දෙයක් සිදු කළා. ඒ තමයි ඡායාරූප සංස්කරණ ශිල්පීන් ඒ ඡායාරූපයේ තියෙන මුදල් නෝට්ටු බොඳ කෙරුව එක. ඒකට හේතුව වුණේ ඒ පින්තූරයේ ඉන්න මිනිසුන්ට වඩා මුදල් නෝට්ටුවලට අවධානය යොමු වෙන එක වළක්වාගන්න එකයි. ඒ විතරක් නෙමෙයි ඒ ගොඩනැඟිල්ලේ දොර ජනෙල් තිබුණේ රතු පාටින්. ඒත් සංස්කරණ ශිල්පීන් ඒවා පසුබිමට ගැළපෙන විදිහට කොළ පාට කළා.
පැටර්සන්වලට අමතරව ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, ජර්මනිය, ජපානය, කොරියාව, මලාවි, මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව කියන රටවල්වල ඉන්න අපේ ඡායාරූප ශිල්පීන් එවන ඡායාරූපත් ප්‍රකාශන සඳහා යොදාගන්නවා. හැම මාසෙකම පැටර්සන්වල තියෙන ඡායාරූප ගබඩාවට ඡායාරූප 2,500ක් විතර එකතු වෙනවා. මේ ඡායාරූප තමයි ‘පිබිදෙව්!’ සහ ‘මුරටැඹ’ සඟරාවල පළ වෙන්නේ. ඒ සඟරා කොච්චර බෙදාහරිනවද කියනවා නම් 2015 වසරේදී කලාප මිලියන 115කට වඩා ජනයා අතට පත්වෙලා තියෙනවා. අපේ වැඩකටයුතු ගැන තවත් තොරතුරු දැනගන්න ආසයි නම් පැටර්සන්වල සහ ලෝකෙ පුරාම තියෙන අපේ ශාඛා කාර්යාල බලන්න එන්න කියලා අපි ඔයාලාට සාදරයෙන් ඇරයුම් කරනවා.
^ 2 ඡේ. කවරය සඳහා ගන්නා සෑම ඡායාරූපයක්ම වගේ ඡායාරූප ගබඩාවට එකතු කරනවා. ඒවා අතරින් කවරය සඳහා යොදාගන්නේ නැති ඡායාරූප පසුකාලීනව වෙනත් ලිපි සඳහා පාවිච්චියට ගන්නවා.
^ 4 ඡේ. ඡායාරූප ගන්නේ නගරයක නැත්නම් පාරක නම් චිත්‍ර සම්පාදන අංශයේ අය ඒ සඳහා නිලධාරීන්ගේ අවසරය ගන්නවා. ඒ වැඩේට හවුල් වෙන අයගේ ගණන, පාවිච්චි කරන උපකරණ ගණන සහ භාවිතා කරන ආලෝකය ගැන එයාලා නිලධාරීන්ට දැනුම් දෙනවා.