Skip to content

පටුනට යන්න

17වන පාඩම

යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන උගන්වයි

යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන උගන්වයි

යේසුස් ඔහුගේ ගෝලයන්ට බොහෝ දේ ඉගැන්වූවත් ඔහු විශේෂයෙන් කතා කළේ දෙවිගේ රාජ්‍යය ගැනයි

යේසුස් පොළොවට පැමිණියේ ඇයි? ඊට පිළිතුර ඔහුම මෙසේ පැහැදිලි කළා. ‘දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය මා දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි.’ (ලූක් 4:43) දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් ඉගැන්වූ ප්‍රධාන කරුණු හතරක් දැන් අපි සලකා බලමු.

1. දෙවිගේ රාජ්‍යයේ රජු යේසුස්. තමා පොරොන්දු වූ ගැලවුම්කරු බව යේසුස් නොසඟවා පැවසුවා. (යොහන් 4:25, 26) ඔහු තවත් අවස්ථාවක පැවසුවේ අනාගතවක්තෘ දානියෙල් දුටු දර්ශනයේ සිටි රජු තමා බවයි. ඔහු තම ගෝලයන්ට තමා යම් දවසක, “තේජවත් සිංහාසනයේ” ඉඳගන්නා බවද තමා සමඟ ඔවුන් සිංහාසනවල ඉඳගන්නා බවද පැවසුවා. (මතෙව් 19:28) එලෙස ඔහු සමඟ පාලනයට හවුල් වන අයව ඔහු හැඳින්වූයේ “කුඩා රැළ” ලෙසයි. ඒ කණ්ඩායමට අයිති නැති “වෙනත් බැටළුවන්” ලෙස හඳුන්වන තවත් කොටසක් සිටින බවද ඔහු පැවසුවා.—ලූක් 12:32; යොහන් 10:16.

2. දෙවිගේ රාජ්‍යය යුක්තිය ඉටු කරයි. මෙතෙක් ලෝකයේ සිදු වී තිබෙන ලොකුම අසාධාරණය වන්නේ ඒදන් උයනේදී කැරැල්ල ඇති වූ දා පටන් සාතන් දෙවිගේ නාමයට ඇති කළ කැළැලයි. නමුත් එම කැළැල දෙවිගේ රාජ්‍යය තුළින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව යේසුස් පැවසුවා. (මතෙව් 6:9, 10) යේසුස්ව පොළොවට එව්වේ ප්‍රධාන වශයෙන් ඊශ්‍රායෙල් සෙනඟට දෙවිගේ රාජ්‍යය ගැන උගන්වන්න වුණත් ඔහු ඊශ්‍රායෙල් නොවන අයට ඉගැන්වූ අවස්ථා ගැනද බයිබලයේ සඳහන් වෙනවා. ඉන් පැහැදිලි වන්නේ අනාගත රජු ලෙස යේසුස් දුප්පත්, පොහොසත්, ස්ත්‍රී, පුරුෂ භේදයක් නැතුව සියලුදෙනාටම එක හා සමානව සලකන බවයි. එවකට සිටි ආගමික නායකයන් යම් පුද්ගලයන්ට විශේෂ ආකාරයෙන් සැලකුවත් යේසුස් එලෙස කටයුතු කළේ නැහැ.

3. දෙවිගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ. යේසුස් ජීවත් වූ ප්‍රදේශය විදේශිකයන් විසින් පාලනය කළ නිසා සමාජයේ නොසන්සුන්කාරී වාතාවරණයක් පැවතුණා. ඒ නිසා සෙනඟ යේසුස්ව දේශපාලනයට සම්බන්ධ කරගන්න උත්සාහ කළා. නමුත් ඊට විරුද්ධ වූ ඔහු, එවැනි අවස්ථා මඟහැර ගියා. (යොහන් 6:14, 15) ඔහු එක් පාලකයෙකුට පැවසුවේ, “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියායි. (යොහන් 18:36) එමෙන්ම ඔහු තම ගෝලයන්ට මෙසේ පැවසුවා. ‘ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ.’ (යොහන් 15:19) යේසුස්ගේ ජීවිතය අනතුරේ තිබූ අවස්ථාවකදී පවා ඔහුට ආරක්ෂාව සැපයීම සඳහාවත් අවිආයුධ භාවිත කිරීමට තම ගෝලයන්ට අවසර දුන්නේ නැහැ.—මතෙව් 26:51, 52.

“දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට නුවරින් නුවරටත් ගමින් ගමටත් ගිය යේසුස් එය සෑම තැනම පතළ කළේය.”—ලූක් 8:1.

4. ක්‍රිස්තුස්ගේ පාලනය පදනම් වන්නේ ප්‍රේමය මතයි. පීඩිතව සිටින ජනයාට සහනයක් ලබා දෙන බවට යේසුස් පොරොන්දු වුණා. (මතෙව් 11:28-30) ඔහු ඒ පොරොන්දුවට එකඟව කටයුතු කරමින් අදාළ කරගත හැකි ප්‍රේමණීය උපදෙස් ජනයාට ලබා දුන්නා. උදාහරණයකට කනස්සල්ල සමඟ කටයුතු කිරීම, අන් අය සමඟ ඇති බැඳීම් ශක්තිමත් කරගැනීම, ධන සම්පත් ලබාගැනීමට තිබෙන ආශාව පාලනය කිරීම හා සතුටින් පිරි ජීවිතයක් ගත කිරීම ඉන් සමහරක්. (මතෙව් 5-7වෙනි පරිච්ඡේද) එමෙන්ම යේසුස් එක් එක් පුද්ගලයාට පෞද්ගලික සැලකිල්ලක් දැක්වූ නිසා ඔහුට ළං වීමට කිසිම කෙනෙක් පසුබට වුණේ නැහැ. සෑම තරාතිරමකටම අයත් මිනිසුන් ඔහු වටා එක් රොක් වුණා. යේසුස් තමන්ට ප්‍රේමණීයව සහ කරුණාවන්තව සලකයි කියා ඔවුන්ට විශ්වාසයක් තිබුණා. එවැනි පුද්ගලයෙකුගේ පාලනයෙන් ජනයාට මොන තරම් සහනයක් ලැබෙයිද!

යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන ඉගැන්වීමට යොදාගත් තවත් කැපීපෙනෙන ක්‍රමයක් වන්නේ ඔහු කළ ආශ්චර්යවත් දේවලුයි. ඒ ගැන අපි ඊළඟ පාඩමේදී සලකා බලමු.

මතෙව්, මාක්, ලූක් හා යොහන්.