Skip to content

පටුනට යන්න

25වන පාඩම

විශ්වාසය, යහපත් හැසිරීම හා ප්‍රේමයේ ඇති වැදගත්කම

විශ්වාසය, යහපත් හැසිරීම හා ප්‍රේමයේ ඇති වැදගත්කම

ක්‍රිස්තියානීන්ව දිරිගැන්වීම සඳහා යාකොබ්, පේතෘස්, යොහන් සහ යූද් ලිපි ලියයි

යාකොබ් සහ යූද් කියන්නේ යේසුස්ගේ සහෝදරයන්. පේතෘස් සහ යොහන් යේසුස්ගේ මුල් ගෝලයන් 12දෙනාගෙන් දෙදෙනෙක්. ඔවුන් හතරදෙනා ලියූ ලිපි හතක් ග්‍රීක ලියවිල්ලට ඇතුළත් කර තිබෙනවා. ඒ ලිපි හඳුන්වා තිබෙන්නේ ඒවා ලියූ අයගේ නම්වලිනුයි. ඒවායේ තිබෙන අදහස් දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට හා දෙවිගේ රාජ්‍යයට පක්ෂපාතව සිටීමට කෙනෙකුට උපකාරවත් වෙනවා.

දෙවි කෙරෙහි විශ්වාසය. වචනයට පමණක් සීමා වූ විශ්වාසයක් තිබීමෙන් කිසි පලක් නැහැ. සැබෑ විශ්වාසය කෙනෙකුව ක්‍රියාවට පෙලඹවිය යුතුයි. ඒ නිසයි, ‘ක්‍රියාවන් නැති විශ්වාසය මිය ගොස් ඇති විශ්වාසයක්’ කියා යාකොබ් පැවසුවේ. (යාකොබ් 2:26) විවිධ අභියෝග හමුවේ දෙවි කෙරෙහි විශ්වාසයක් ඇතුව කටයුතු කිරීමෙන් විඳදරාගැනීමේ හැකියාව වර්ධනය කරගත හැකියි. ඒ සඳහා කිසි සැකයක් නැතුව දෙවිගෙන් ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කළ යුතුයි. එසේ කෙනෙකු විඳදරාගන්නා විට දෙවි ඔහුව පිළිගන්නා බව නිසැකයි. (යාකොබ් 1:2-6, 12) දෙවි කෙරෙහි විශ්වාසය තබමින් විවිධාකාර ප්‍රශ්න ගැටලු විඳදරාගනිද්දී අපටත් දෙවිගෙන් යම් දෙයක් බලාපොරොත්තු විය හැකියි. යාකොබ් ඒ ගැන පැවසුවේ මෙසේයි. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8.

නපුරු බලපෑම්වලට විරුද්ධව සිටින්න තරම් ශක්තිමත් විශ්වාසයක් ක්‍රිස්තියානීන්ට තිබිය යුතුයි. ඒ නිසයි යූද් පිරිහුණු සමාජයක ජීවත් වූ සෙසු ක්‍රිස්තියානීන්ට මෙවැනි දෙයක් පැවසුවේ. “ඔබ විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත විය යුතුයි.”—යූද් 3.

යහපත් හැසිරීම. තමාට නමස්කාර කරන සියලුදෙනාම සෑම අතින්ම පවිත්‍රව සිටීම යෙහෝවා දෙවි බලාපොරොත්තු වෙනවා. පේතෘස් ඒ ගැන පැවසුවේ මෙසේයි. “ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි. මන්ද, ‘මා [යෙහෝවා දෙවි] ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි’ කියා ලියා ඇත.” (1 පේතෘස් 1:15, 16) යහපත් හැසිරීමක් පවත්වාගැනීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන්ට තිබෙන උතුම්ම ආදර්ශය වන්නේ යේසුස් ක්‍රිස්තුස්. ඒ ගැන පේතෘස් මෙවැනි දෙයක් පැවසුවා. “ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.” (1 පේතෘස් 2:21) දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීම නිසා ක්‍රිස්තියානීන් පීඩාවන්ට මුහුණ දුන්නත්, “දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක්” ඇතුව සිටීමට ඔවුන්ට පුළුවන්. (1 පේතෘස් 3:16, 17) යෙහෝවා දෙවි විනිශ්චය ගෙනෙන දවස පැමිණෙන තුරුද, “ධර්මිෂ්ඨකම රජයන” අලුත් පොළොවක් පැමිණෙන තුරුද බලා සිටින ක්‍රිස්තියානීන් පවිත්‍රව හැසිරිය යුතු අතර දෙවි කෙරෙහි ඔවුන්ට තිබෙන භක්තිය ක්‍රියාවලින් පිළිබිඹු කළ යුතුයි.—2 පේතෘස් 3:11-13.

“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8.

ප්‍රේමය. “දෙවි ප්‍රේමයයි” කියා යොහන් පැවසුවා. තවදුරටත් ඔහු පැවසුවේ අපේ පව්වලට සමාව ලබාගැනීම සඳහා පූජාවක් හැටියට යේසුස්ව ලබා දීමෙන් යෙහෝවා දෙවි අප කෙරෙහි තමන්ට තිබෙන ප්‍රේමය උතුම්ම ආකාරයෙන් පෙන්වූ බවයි. ඒ කාරණය අපට බලපෑ යුත්තේ කෙසේද? යොහන් ඒ ගැන පැහැදිලි කරමින් මෙසේ පැවසුවා. “ප්‍රේමණීය සහෝදරයෙනි, දෙවි අපට එලෙස ප්‍රේම කර ඇත්නම් අපත් බැඳී සිටින්නේ එකිනෙකාට ප්‍රේම කිරීමටය.” (1 යොහන් 4:8-11) එවැනි ප්‍රේමයක් පෙන්විය හැකි එක් ආකාරයක් නම් සෙසු ක්‍රිස්තියානීන් ගැන සැලකිලිමත් වීමයි.—3 යොහන් 5-8.

යෙහෝවා දෙවිට නමස්කාර කරන්නන් දෙවිට ප්‍රේම කරන බව පෙන්වන්නේ කෙසේද? ඊට පිළිතුර යොහන් මෙසේ පැහැදිලි කළා. “දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.” (1 යොහන් 5:3; 2 යොහන් 6) දෙවිගේ ආඥාවලට කීකරු වන අයට දිගටම දෙවිගේ ප්‍රේමය ලබන්නත් සදාකාල ජීවනය ලබාගැනීමේ අපේක්ෂාව ඇතුව සිටින්නත් හැකි වෙනවා.—යූද් 21.

යාකොබ්; 1 පේතෘස් හා 2 පේතෘස්; 1 යොහන්; 2 යොහන්; 3 යොහන්; යූද්.