Skip to content

පටුනට යන්න

ඇයි අම්මයි තාත්තයි වෙන් වුණේ?

ඇයි අම්මයි තාත්තයි වෙන් වුණේ?

4වෙනි පරිච්ඡේදය

ඇයි අම්මයි තාත්තයි වෙන් වුණේ?

“තාත්තා අපිව දාලා යද්දී මට අවුරුදු හයයි. මොනවාද වෙන්නේ කියලා මට හරියට තේරුණේ නැහැ. එදා මම බිම ඉඳගෙන TV බලබල හිටියේ. මට ඇහුණා අම්මා අඬඅඬා තාත්තට යන්න එපා කියනවා. තාත්තා බෑග් එකකුත් අරගෙන මගේ ළඟට ඇවිල්ලා මාව ඉඹලා මෙහෙම කිව්වා. ‘මම දුවට ආදරෙයි. ඒ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.’ එහෙම කියලා තාත්තා යන්න ගියා. කාලයක් යන කල් මම තාත්තව දැක්කේ නැහැ. එදා ඉඳලා මම භයේ හිටියේ අම්මත් මාව දාලා යයි කියලා.”—19 හැවිරිදි ඉලේන්.

ඔබේ අම්මයි තාත්තයි දික්කසාද වෙලා නම් ඔබේ හදවතට ඉමහත් වේදනාවක් දැනෙනවා ඇති. ඔබේ මුළු ලෝකයම බිඳ වැටුණා කියා ඔබට සිතෙයි. ඒ වගේම ඔබට ලැජ්ජාවක්, කේන්තියක්, කලකිරීමක්, තනි වූ බවක්, තමන් අතින් වරදක් සිදු වූ බවක්, සියල්ල අහිමි වූ බවක් හා පළිගැනීමේ චේතනාවක් පවා ඇති විය හැකියි.

එවන් හැඟීම් ඇති වීම සාධාරණයි. දෙවිගේ අරමුණ වුණෙත් මව සහ පියා යන දෙදෙනා විසින් දරුවන්ව ඇතිදැඩි කිරීමයි. (එෆීස 6:1-3) ඔබ බොහෝ සෙයින් ආදරය කළ මව හෝ පියා දැන් ඔබ ළඟ නැහැ. ඇත්තෙන්ම එය වේදනාවක්. ඩැනියෙල්ගේ දෙමාපියන් වෙන් වන විට ඔහුට අවුරුදු හතයි. ඔහු මෙහෙම කියනවා. “මං වැඩියෙන්ම කැමති මගේ තාත්තට. ඒ නිසා මට ඕනේ වුණේ තාත්තත් එක්ක ඉන්න. ඒත් අපිව බලාගන්න වගකීම නීතියෙන් පැවරුණේ අම්මට.”

වෙන් වීමට හේතුව

දෙමාපියන් තම ප්‍රශ්න ගැටලු දරුවන්ට කියන්නේ නැහැ. ඒ නිසා දෙමාපියන්ගේ වෙන් වීම දරුවන්ට සිතාගත නොහැකි දෙයක්. රේචල්ගේ දෙමාපියන් වෙන් වන විට ඇයට අවුරුදු 15යි. ඇය ඒ ගැන මෙහෙම කියනවා. “මට ඒක අදහාගන්න බැරුව ගියා. මම හිතුවේ අම්මයි තාත්තයි ආදරයෙන් ඉන්නවා කියලා.” දෙමාපියන් අතර නිතර නිතර වාදවිවාද ඇති වුණත් ඔවුන්ගේ වෙන් වීම සමහරවිට දරුවන්ට දරාගන්න බැරි වේදනාවක්!

බොහෝවිට විවාහයක් කැඩී යන්නේ එක් අයෙක් අනාචාරයේ නියැලීම නිසයි. වරදක් නොකළ කෙනාට දෙවි අවසර දී තිබෙනවා එවැනි තත්වයකදී දික්කසාද වී නැවත විවාහ වෙන්න. (මතෙව් 19:9) තවත් අය වෙන් වීමට තීරණය කරන්නේ, “කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා” වැනි දේවල් සැහැසික ක්‍රියාවලට මඟ පාදා තිබෙන නිසා, තමන්ගෙත් දරුවන්ගෙත් ජීවිතවලට අනතුරක් වෙයි යන බිය හේතුවෙනුයි.—එෆීස 4:31.

ඒත් සමහර අය සාධාරණ හේතුවක් නැතුව වෙන් වීමට තීරණය කරනවා. ඔවුන් ප්‍රශ්න විසඳගන්නවා වෙනුවට දික්කසාද වීමට ඉක්මන් වෙනවා. ඔවුන් කියන්නේ තමන්ට “සතුට” හෝ “ආදරය” නොලැබෙන නිසා එසේ කිරීමට පෙලඹුණු බවයි. එවැනි දේකට දෙවි කොහෙත්ම කැමති නැහැ. “මම, දික්කසාද වීම හෙළාදකින්නෙමි” කියා දෙවි පවසා තිබෙනවා. (මලාකි 2:16) සමහර පවුල්වල මව හෝ පියා යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට ගත් තීරණය නිසා ගැටලු ඇති විය හැකි බව යේසුස් පැවසුවා.—මතෙව් 10:34-36.

දෙමාපියන් දික්කසාද වෙන්නේ ඇයි කියා ඔබට නොකියා සිටීමට හෝ සුළු විස්තරයක් දීමට තීරණය කළ හැකියි. ඔවුන් ඔබට ආදරේ නැති බව ඉන් අදහස් කරන්නේ නැහැ. සමහරවිට ඔවුන් සිටින්නේ සිත් වේදනාවකින් විය හැකියි. ඒ ගැන කතා කිරීම ඔවුන්ට පහසු දෙයක් නොවෙන්න පුළුවන්. (හිතෝපදේශ 24:10) ඒ වගේම ඔවුන් අතින් සිදු වූ වැරදි ගැන ඔවුන්ට ලැජ්ජාවක් දැනෙනවාත් ඇති.

ඔබට කළ හැකි දේ

ඔබට බියක් දැනෙන්නේ ඇයි? දෙමාපියන්ගේ දික්කසාදයෙන් පසු ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වූ නිසා, කලින් ඔබ සැහැල්ලුවෙන් ගත කළ ජීවිතය නැති වෙයි කියා ඔබට බියක් දැනෙන්න පුළුවන්. නමුත් ඔබ භය වෙන්නේ කුමක් ගැනද කියා ඔබ හඳුනාගත්තොත් යම් දුරකට ඔබේ බිය අඩු කරගත හැකියි. පහත සඳහන් කරුණු අතරින් ඔබ වඩාත් බිය වෙන්නේ කුමකටද කියා ✔ ලකුණ දමන්න. අමතර කරුණක් නම් “වෙනත්” යන කොටුව ඉදිරියේ ලියන්න.

□ අනික් එක් කෙනත් මාව දාලා යයිද?

□ අපිට ජීවත් වෙන්න සල්ලි මදි වෙයිද?

□ දික්කසාද වුණේ මං නිසාද?

□ මම විවාහ වුණ දවසක මගේ පවුල් ජීවිතයත් අවුල් වෙයිද?

□ වෙනත් ․․․․․

සිතට දැනෙන දේ ගැන කතා කරන්න. ‘කතා කිරීමට කාලයක් තිබෙනවා’ කියා සලමොන් රජ පැවසුවා. (දේශනාකාරයා 3:7) ඉහත ඔබ ලකුණු කළ දේ ගැන දෙමාපියන් සමඟ කතා කිරීමට සුදුසු වෙලාවක් සොයාගන්න. ඔබේ සිතට දැනෙන වේදනාව හෝ භය ඔවුන්ට කියන්න. එවිට ඔවුන් ගත් තීරණය ගැන ඔබට පැහැදිලි කරන්න ඉඩ තිබෙනවා. එමගින් ඔබේ කනස්සල්ල යම් දුරකට අඩු වෙයි. ඔබට අවශ්‍ය සහනය ලබා දීමට දෙමාපියන් අකමැති වෙනවා නම් හෝ ඔවුන්ට එය කළ නොහැකි නම් විශ්වාසවන්ත මිතුරෙකුට ඔබේ සිතේ තියෙන දේ කියන්න. එවැනි මිතුරෙකුව සොයාගැනීමට වෑයම් කරන්න. ඔබට හොඳින් සවන් දෙන කෙනෙකුට ඔබේ දුක කීමෙන් ඔබට සහනයක් දැනෙයි.—හිතෝපදේශ 17:17.

හැම දෙයකටම වඩා ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ වන ඔබේ ස්වර්ගික පියා ඔබට සවන් දෙයි. (ගීතාවලිය 65:2) “ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා” ඔබේ සිතේ තියෙන හැම දෙයක්ම ඔහුට කියන්න.—1 පේතෘස් 5:7.

ඔබ නොකළ යුතු දේ

පළිගන්න එපා. කලින් සඳහන් කළ ඩැනියෙල් මෙහෙම කියනවා. “මගේ අම්මයි තාත්තයි එයාලා ගැන විතරයි හිතුවේ. ගත්තු තීරණය අපිට බලපාන්නේ කොහොමද කියලා එයාලා හිතුවේ නැහැ.” ඩැනියෙල් එහෙම හිතන එක සාධාරණයි. ඔහු කියූ දේ ඇත්ත වෙන්නත් පුළුවන්. පහත සඳහන් ප්‍රශ්නවලට ඔබට පිළිතුරු දිය හැකිද කියා බලා පසුව තිත් ඉරි මත ඔබේ පිළිතුරු ලියන්න.

ඩැනියෙල් තම අමනාපය අත්හැරියේ නැත්නම් ඔහුට එය කෙසේ බලපායිද? (හිතෝපදේශ 29:22 කියවන්න.) ․․․․․

කොතරම් අමාරු වුණත් ඩැනියෙල් දෙමාපියන්ට සමාව දීමට උත්සාහ කිරීම හොඳ දෙයක් වෙන්නේ ඇයි? (එෆීස 4:31, 32 කියවන්න.) ․․․․․

දෙමාපියන් ගැන සාධාරණව සිතීමට රෝම 3:23, ඩැනියෙල්ට උපකාරවත් වෙන්නේ කොහොමද? ․․․․․

තමන්ටම හානියක් වන ලෙස හැසිරෙන්න එපා. “මගේ අම්මයි තාත්තයි දික්කසාද වුණාම මගේ සතුට නැති වුණා. මම මානසිකව වැටුණා. ඉගෙනීමේ වැඩත් මට හරියට කරගන්න බැරි වුණ නිසා එකම පන්තියේ අවුරුදු දෙකක් ඉන්න වුණා. මම පන්තියේදී හැසුරුණේ මෝඩයෙක් වගෙයි. නිතරම රණ්ඩුවලට පැටලුණා” කියා ඩෙනි නමැති යෞවනයා පැවසුවා.

ඔබ සිතන්නේ කුමක්ද? ඩෙනි එලෙස වගකීමක් නැතුව හැසිරීමෙන් අත් කරගන්න උත්සාහ කළේ මොකක්ද? ․․․․․

ඔහු රණ්ඩුවලට පැටලෙන්න හේතු වෙන්න ඇත්තේ කුමක්ද? ․․․․․

මුරණ්ඩු ලෙස හැසිරීමෙන් ඔබේ දෙමාපියන්ව රිද්දන්න ඔබ සිතුවා නම් ගලාති 6:7හි සඳහන් උපදෙස ඔබට උපකාරවත් වෙන්නේ කොහොමද? ․․․․․

බලාපොරොත්තු විය හැකි දේ

සාමාන්‍යයෙන් අතක හෝ කකුලක අස්ථියක් බිඳුණොත් සම්පූර්ණ සුවයක් ලැබීමට සති හෝ මාස ගණනක් ගත විය හැකියි. ඒ හා සමානව බිඳී ගිය ඔබේ සිත සුව වීමටත් කාලයක් ගත වෙයි. සමහර උපදේශකයන් පවසන්නේ දික්කසාදය නිසා ඇති වූ වේදනාව හා කම්පනය වසර තුනක් ඇතුළත ටිකෙන් ටිකෙන් අඩු වන බවයි. එය දිගු කාලයක් මෙන් පෙනෙන්න පුළුවන්. නමුත් ඔබේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්වයට පත් වීමට නම් බොහෝ වෙනස්කම් සිදු විය යුතුයි. ඒ සඳහා කාලය අවශ්‍යයි.

උදාහරණයකට දික්කසාදය නිසා නිවසේ වැඩකටයුතු අවුල් වුණා නම් නැවතත් ඒවා පිළිවෙළකට කරන්න පටන්ගත යුතුයි. ඒ වගේම ඔබේ මව හෝ පියා අද්දැක්ක මානසික පීඩනයෙන් ගොඩ ඒමටත් කාලය අවශ්‍යයි. ඔබට උපකාර කිරීමට ඔවුන්ට හැකි වෙන්නේ එවිටයි. ඔබේ ජීවිතය සාමාන්‍ය තත්වයට පත් වන විට ඔබට දැනෙන වේදනාවත් ටිකෙන් ටික අඩු වී යයි.

තවත් දැනගැනීමට 2වන පොතේ 25වන පරිච්ඡේදය බලන්න

ඊළඟ පරිච්ඡේදය

ඔබේ මව හෝ පියා නැවත විවාහ වූ නිසා ඔබ සිටින්නේ කනස්සල්ලෙන්ද? ඊට මුහුණ දෙන්නේ කොහොමද?

බයිබල් උපදෙස

‘සුව වීමට කාලයක් ඇත.’—දේශනාකාරයා 3:1, 3.

යෝජනාවක්

දෙමාපියන්ගේ දික්කසාදයට හේතුව දෙදෙනාගේම හෝ එක් අයෙකුගේ අතින් සිදු වූ වරදක් විය හැකියි. ඔවුන්ට වැරදුණේ කොතැනද කියා දැනගැනීම, යම් දිනක ඔබ ඒ වරද නොකිරීමට උපකාරවත් වෙයි.—හිතෝපදේශ 27:12.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබේ දෙමාපියන්ගේ විවාහය අසාර්ථක වුණත් ඔබට සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකියි.

ගත හැකි පියවර

මට දැනෙන බිය කියන්න පුළුවන් (ඔබේ සිතේ තිබෙන දේ ගැන කතා කිරීමට කැමති, ඔබට උදව් කරන්න පුළුවන් කෙනෙකුගේ නමක් සඳහන් කරන්න) ․․․․․

මුරණ්ඩු විදිහට හැසිරී දෙමාපියන්ව රිද්දන්න ඕනේ කියලා මට හිතුණොත් ඒ සිතුවිල්ල මඟහරවා ගන්න මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගේ මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● දෙමාපියන් දික්කසාදය ගැන ඔබ සමඟ කතා කිරීමට අකමැති වෙනවා ඇත්තේ කුමක් නිසාද?

● දික්කසාදයට හේතුව දෙමාපියන් අතර තිබූ ප්‍රශ්නයක් මිස ඔබ නොවෙයි කියා තේරුම්ගැනීම වැදගත් ඇයි?

[32වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘අම්මා අපිව දාලා ගියාට පස්සේ මම මානසිකව වැටුණා. මම හැමදාම ඇඬුවා. ඒත් මං දෙවිට යාච්ඤා කරන එක අතපසු කෙරුවේ නැහැ. ඒ වගේම මම අනික් අයට උදව් කළා. මගේ දුක තේරුම්ගන්න පුළුවන් යාළුවන්ව මම ඇසුරු කළා. මම හිටිය තත්වයට හොඳින් මුහුණ දෙන්න ඒ හැම දෙයක් තුළින්ම යෙහෝවා දෙවි මට උපකාර කළා කියලා මට හිතෙනවා.’’—නැටලි

[33වන පිටුවේ පින්තූරය]

ඔබේ දෙමාපියන්ගේ දික්කසාදය නිසා ඇති වන වේදනාවෙන් ගොඩ ඒම හරියට බිඳුණු අස්ථියක් සුව වෙනවා හා සමානයි. කාලයත් සමඟ ඔබේ බිඳුණු සිතත් සුව වෙයි