Skip to content

පටුනට යන්න

13වන පාඩම

ආගම් ගැන දෙවියන් පවසන්නේ මොනවාද?

ආගම් ගැන දෙවියන් පවසන්නේ මොනවාද?

1. හැම ආගමක්ම හොඳයි කියලා කියන්න පුළුවන්ද?

අද ආගමේ නමින් හුඟක් දුෂ්ට දේවල් වෙනවා. (2 කොරින්ති 4:3, 4; 11:13-15) වාර්තාවල පෙන්නන විදිහට සමහර ආගම් ත්‍රස්තවාදයට, යුද්ධවලට හා ළමා අපචාරවලට හවුල් වෙලා තියෙනවා. ඒත් ඒ වගේ දුෂ්ට දේවල් කරන ආගම්වල වුණත් අවංක, හොඳ අය ඉන්නවා. ඒ අය ආගමේ නමින් කරන දුෂ්ට දේවල් ගැන දුක් වෙනවා. ඒ වගේ අය ගැන දෙවියන් සැලකිලිමත්.—මතෙව් 24:3-5, 11, 12 කියවන්න.

හුඟක් ආගම් කරන්නේ යෙහෝවා දෙවිව අගෞරවයට පත් කරන දේවල්. ඒ වගේ ආගම්වල දෙවියන් ගැන, මිය ගිය අය ගැන බයිබලයට පටහැනි බොරු උගන්වනවා. ඒත් සැබෑ ආගම ඔහුව අගෞරවයට පත් කරන දේවල් කරන්නෙවත් උගන්වන්නෙවත් නැහැ. දෙවියන් කැමතිත් මිනිසුන් මුළාව යන්නේ නැතුව ඔහු ගැන සත්‍යය දැනගන්නවාටයි.—දේශනාකාරයා 9:5, 10; 1 තිමෝති 2:3-5 කියවන්න.

2. ආගම් ගැන දෙවියන් පවසන්නේ මොනවාද?

ලොකු භක්තියක් පෙන්නුවාට මේ දුෂ්ට සමාජයේ දේවල්වලට හවුල් වෙන ආගම් දෙවියන් අනුමත කරන්නේ නැහැ. (යාකොබ් 4:4) අසත්‍යය උගන්වන ඒ ආගම් බයිබලයේ හඳුන්වලා තියෙන්නේ, “මහ බැබිලෝනිය” කියලයි. ඒ ආගම් පුරාණ බැබිලෝනිය නගරයෙන් ආරම්භ වුණු නිසයි ඒවා ඒ නමින් හඳුන්වන්නේ. දෙවියන් ළඟදීම කවුරුවත් හිතන්නේ නැති වෙලාවක ඒ ආගම් විනාශ කරනවා. ඒක ප්‍රීතිමත් පණිවිඩයක් නෙමෙයිද!—එළිදරව් 17:1, 2, 5, 16, 17; 18:8 කියවන්න.

ඒත් ඒ ආගම්වල ඉන්න අවංක, හොඳ මිනිසුන්ව යෙහෝවා දෙවිට අමතක වෙලා නැහැ. ඒ අයට ඔහු ගැන ඇත්ත දැනගන්න ඔහු අවස්ථාවක් ලබා දෙනවා.—මීකා 4:2, 5 කියවන්න.

3. දෙවියන් ගැන දැනගන්න කැමති අය කරන්න ඕනේ මොනවාද?

සැබෑ ආගම මිනිසුන්ව එක්සත් කරනවා

හොඳ දේට කැමති, අවංක අය ගැන යෙහෝවා දෙවි සැලකිලිමත්. ඒ අයට ඔහු කියන්නේ අසත්‍යය උගන්වන ආගම් අත්හරින්න කියලයි. දෙවියන්ට ඇත්තටම ප්‍රේම කරන අය ඒ වගේ වෙනස්කම් කරනවා.—එළිදරව් 18:4 කියවන්න.

ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි සියවසෙත් ඒ වගේ අය හිටියා. යේසුස්ගේ ගෝලයන් දෙවියන්ගේ පණිවිඩය ගැන ඔවුන්ට කිව්වාම ඔවුන් හුඟක් සතුටු වුණා. ඒ පණිවිඩය නිසා ඔවුන්ගේ ජීවිතයට අරමුණක් හා බලාපොරොත්තුවක් එකතු වුණා. යෙහෝවා දෙවි දුන්නු මඟ පෙන්වීම්වලට එකඟව ඔවුන් තම ජීවිත වෙනස් කරගත්තා. ඔවුන් අපිට හොඳ ආදර්ශයක්.—1 තෙසලෝනික 1:8, 9; 2:13 කියවන්න.

අසත්‍යය උගන්වන ආගම් අත්හැරලා තමා වෙතට එන අයව යෙහෝවා දෙවි හරිම ආදරයෙන් පිළිගන්නවා. ඔයාත් ඔහු බලාපොරොත්තු වෙන වෙනස්කම් කළොත් ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් ඔහුට නමස්කාර කරන අයගෙන් හැදිලා තියෙන ප්‍රේමණීය පවුලේ සාමාජිකයෙක් වෙන්නත් සදාකාල ජීවනය අත් කරගන්නත් ඔයාට පුළුවන්.—මාක් 10:29, 30; 2 කොරින්ති 6:17, 18 කියවන්න.

4. අවංක, හොඳ අය වෙනුවෙන් දෙවියන් කරන්නේ මොනවාද?

දෙවියන් අසත්‍යය උගන්වන ආගම් විනාශ කරනවා කියන පණිවිඩය ප්‍රීතිමත් පණිවිඩයක්! මොකද එතකොට මිනිසුන් අතරේ බෙදීම් ඇති කරන, මිනිසුන්ව නොමඟ යවන කිසිම ආගමක් ඉතුරු වෙන්නේ නැහැ. ආගම් නිසා මිනිසුන් අද්දකින පීඩා කරදර හැමදාටම අවසන් වෙනවා. එදාට පොළොවේ ඉතුරු වෙලා ඉන්න අවංක, හොඳ අය එකමුතුව සැබෑ දෙවියන්ට නමස්කාර කරනවා.—එළිදරව් 18:20, 21; 21:3, 4 කියවන්න.