Skip to content

පටුනට යන්න

අපේ සොඳුරු නිවහන

අපේ සොඳුරු නිවහන

පෘථිවිය නිසි අයුරින් පිහිටා නොතිබුණා නම් කිසිම ජීවියෙකුට එහි වාසය කරන්න ලැබෙන්නේ නැහැ. එය මෙතරම් කදිමට පිහිටා තිබෙන්නේ කොහොමද කියා 20වන සියවස වන තුරුත් කිසිවෙක් හරිහැටි අවබෝධ කරගෙන තිබුණේ නැහැ. පෘථිවිය සොඳුරු නිවහනක් වීමට හේතු වූ දේවල් මොනවද?

  • ක්ෂීර පථ මන්දාකිනිය තුළ තිබෙන සෞරග්‍රහ මණ්ඩලයෙහි පෘථිවිය පිහිටි තැන, පෘථිවියේ ගමන් මඟ හෙවත් කක්ෂය, එහි ආනතිය, භ්‍රමණය වන වේගය සහ අසාමාන්‍ය චන්ද්‍රයා

  • ද්විත්ව ආවරණයක් ලෙස ක්‍රියා කරන පෘථිවිය වටා ඇති චුම්බක ක්ෂේත්‍රය හා වායුගෝලය

  • වාතය සහ ජලය පවිත්‍ර කරන ස්වාභාවික චක්‍ර

ඉහත සඳහන් දේවල් සලකා බලද්දී ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘පෘථිවියට ආවේණික මේ ලක්ෂණ අහම්බෙන් සිදු වූ දෙයක ප්‍රතිඵලයක්ද? නැත්නම් අරමුණක් ඇතුව නිර්මාණය කළාද?’

ජීවත් වෙන්න සුදුසුම තැන

ජීවයේ පැවැත්ම සඳහා මීට වඩා සුදුසු තැනක් තවත් තිබෙනවාද?

සාමාන්‍යයෙන් ඔබ ලිපිනයකට ඇතුළත් කරන්නේ මොනවාද? රට, නගරය හා වීථියයි. එය අපේ පෘථිවිය නමැති නිවහනට අදාළ කළොත් පෘථිවිය පිහිටි “රට” ක්ෂීර පථ මන්දාකිනියයි. එය පිහිටි “නගරය” සෞරග්‍රහ මණ්ඩලයයි. එය පිහිටි “වීථිය” පෘථිවි කක්ෂයයි. භෞතික හා තාරකා විද්‍යාවේ දියුණුව නිසා අතිදැවැන්ත විශ්වය තුළ පෘථිවියට හිමි මේ විශේෂ ස්ථානය ගැන විද්‍යාඥයන් දැනුම් සම්භාරයක් රැස් කරගෙන තිබෙනවා.

ක්ෂීර පථ මන්දාකිනියේ තිබෙන “නගරය” හෙවත් අපේ සෞරග්‍රහ මණ්ඩලය තිබෙන්නේ එය තිබිය යුතු සුදුසුම තැනයි. එය මන්දාකිනියේ කේන්ද්‍රයට ළඟත් නැහැ දුරත් නැහැ. “වාසයට සුදුසුම ප්‍රදේශය” ලෙස විද්‍යාඥයන් පවසන මෙහි, ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය රසායනික සංයුතිය නියම ප්‍රමාණයටම තිබෙනවා. යම් විදිහකින් එම දුර ප්‍රමාණය වැඩි වුණා නම් එම සංයුතිය අඩු වෙනවා. දුර ප්‍රමාණය අඩු වුණා නම් මාරාන්තික කිරණ සහ වෙනත් දේවල් නිසා සෞරග්‍රහ මණ්ඩලය භයානක අනතුරුවලට ලක් වෙනවා. ඒ අනුව “අප ජීවත් වන්නේ හොඳම ස්ථානයේයි” කියා එක් සඟරාවක සඳහන් වුණා.—Scientific American.1

හොඳම “වීථිය”: පෘථිවි කක්ෂය හෙවත් පෘථිවිය පිහිටි “වීථියද” අද්විතීයයි. පෘථිවිය ගමන් කරන්නේ සූර්යයාගේ සිට කිලෝමීටර් මිලියන 150ක් පමණ දුරින්. පෘථිවි කක්ෂය නිසි දුර ප්‍රමාණයකින් පිහිටා තිබෙන නිසා ජීවීන් අධික ශීතලයට හෝ අධික උෂ්ණත්වයකට ගොදුරු වන්නේ නැහැ. පෘථිවියේ ගමන් මඟ බොහෝදුරට රවුම් හැඩයක් ගන්නා නිසා අවුරුද්ද පුරාම පෘථිවිය සූර්යයාට සමාන දුරකින් ගමන් කරනවා.

සූර්යයා ගැන කියනවා නම් එය අග්‍රගණයේ “තාප බලාගාරයක්.” වෙනස් නොවන, සුදුසුම ප්‍රමාණයෙන් යුත් එය, නිකුත් කරන්නේ ජීවීන්ගේ පැවැත්මට සරිලන බලශක්ති ප්‍රමාණයයි. සූර්යයා ඇත්තෙන්ම “විශිෂ්ට ගණයේ තරුවක්” කියා පවසා තිබෙන්නේ ඒ නිසයි.2

හොඳම “අසල්වැසියා”: ඔබට කිව්වොත් පෘථිවියට “හොඳ අසල්වැසියෙක්” තෝරන්න කියා චන්ද්‍රයා තරම් සුදුසු වෙනත් අසල්වැසියෙක් නම් තෝරාගන්න හැකි වෙන්නේ නැහැ. එහි විශ්කම්භය පෘථිවියේ විශ්කම්භයෙන් හතරෙන් එකකට වඩා ටිකක් වැඩියි. අනිකුත් ග්‍රහලෝකවල ප්‍රමාණයට සාපේක්ෂව ඒවායෙහි ඇති චන්ද්‍රයන්ගේ ප්‍රමාණයත් පෘථිවියේ ප්‍රමාණයට සාපේක්ෂව අපේ චන්ද්‍රයාගේ ප්‍රමාණයත් බලන විට අපේ චන්ද්‍රයාගේ ප්‍රමාණය අනිත් චන්ද්‍රයන්ට වඩා අසාමාන්‍ය ලෙස විශාලයි. මෙය අහම්බෙන් සිදු වුණාද? කොහෙත්ම වෙන්න බැහැ.

පෘථිවියේ පාරිසරික සමබරතාවට බලපාන වඩදිය බාදිය ඇති වීමට ප්‍රධාන හේතුව චන්ද්‍රයායි. ඒ වගේම පෘථිවිය තම අක්ෂය වටා නිසි ලෙස භ්‍රමණය වීමටත් එය දායක වෙනවා. පෘථිවිය වෙනුවෙන්ම තැනූ මේ අසාමාන්‍ය චන්ද්‍රයා නොතිබෙන්න, පෘථිවිය ඒ මේ අත වැනෙන පෙරළෙන එක නවත්වන්න බැරි වන අතර දේශගුණික හා වෙනත් බලපෑම් හේතුවෙන් පෘථිවිය වාසයට ඉතාම අහිතකර තැනක් බවටත් පත් වෙයි.

පෘථිවියේ ආනතිය හා භ්‍රමණය: ඍතු ඇති වන්නෙත් උෂ්ණත්වය පාලනය වන්නෙත් දේශගුණික වෙනස් වීම් ඇති වන්නෙත් පෘථිවිය අංශක 23.4ක් පමණ ඇල වී තිබෙන නිසයි. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “මිනිස් වාසයට ‘සුදුසුම ආකාරයට’ පෘථිවියේ ආනතිය පිහිටා තිබෙනවා.”—Rare Earth—Why Complex Life Is Uncommon in the Universe.3

පෘථිවිය භ්‍රමණය වීමේ ප්‍රතිඵලයක් හැටියට දවල් කාලයත් රාත්‍රි කාලයත් නිසි ප්‍රමාණයටම බෙදී තිබෙනවා. භ්‍රමණය සෙමින් සිදු වුණා නම් දිවා කාලය වැඩි වන අතර ඉරට මුහුණ ලා සිටින අය අධික උණුසුමටත්, අනිත් පැත්තේ සිටින අය දරාගත නොහැකි ශීතලටත් ලක් වෙයි. අනික් අතට වේගයෙන් භ්‍රමණය වුණා නම් දවස ඉතා කෙටි වන අතර දරුණු සුළිකුණාටු හා වෙනත් භයානක විපත්වලට පෘථිවිය ලක් වෙයි.

ද්විත්ව ආරක්ෂක වළලු

අභ්‍යවකාශය මාරාන්තික කිරණ හා උල්කාපාත කැබලිවලින් ගහණව පවතින තැනක්. ඒත් නිල් මැණිකක් මෙන් දිදුලන අපේ පෘථිවිය එයින් හානි නොවී බේරෙන්නේ එය සතු පුදුමාකාර ද්විත්ව ආරක්ෂක වළලු නිසයි. ඒවා නම් පෘථිවිය වටා ඇති චුම්බක ක්ෂේත්‍රය හා වායු ගෝලයයි.

ඇසට නොපෙනෙන පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය

පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය: අධික ලෙස ගිනියම් වූ යකඩ බෝලයක් වන පෘථිවි අභ්‍යන්තරය භ්‍රමණය වීමේ ප්‍රතිඵලයක් හැටියට, අතිදැවැන්ත චුම්බක ක්ෂේත්‍රයක් නිපදවෙනවා. එය කොතරම් ප්‍රබලද කියනවා නම් අභ්‍යවකාශය දක්වා එය විහිදී යනවා. මෙම චුම්බක ක්ෂේත්‍රය නිසා සූර්යයාගෙන් නිකුත් වන කිරණවලින් (අන්තරීක්ෂ හෙවත් කොස්මික් කිරණ) හා වෙනත් අහිතකර දේවලින් පෘථිවිය ආරක්ෂා වෙනවා. මෙම අහිතකර දේවලට සූර්ය සුළං (solar wind) හා සූර්ය ගිනි සිළු (solar flares) ඇතුළත් වෙනවා. සූර්ය සුළං යනු සූර්යයාගෙන් නොකඩවා පිට වෙන ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන වැනි අධි විද්‍යුත් ආරෝපිත අංශුයි. සූර්ය ගිනි සිළුවලින් විනාඩි කිහිපයක් තුළ නිකුත් කරන ශක්ති ප්‍රමාණය කොතරම්ද කියනවා නම් එය හයිඩ්‍රජන් බෝම්බ බිලියන ගණනකින් නිකුත් වන ශක්ති ප්‍රමාණයට සමානයි. සූර්යයාගේ රැස් වළල්ලේ හෙවත් කොරෝනාව ප්‍රදේශයේ සිදු වන පිපුරුම් නිසා අධි විද්‍යුත් ආරෝපිත අංශු ටොන් බිලියන ගණනක් අභ්‍යවකාශයට මුදාහැරෙනවා. සූර්ය ගිනි සිළු සහ කොරෝනාව ප්‍රදේශයේ සිදු වන මෙම පිපුරුම්වල ප්‍රතිඵලයක් හැටියට පිට වන හානිකර දේවල් පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයේ ගැටී ඒ ක්ෂේත්‍රය වටා ගමන් කරනවා. ඒවා පෘථිවියේ චුම්බක ධෘව දෙකට ඉහළ අහසේ ඉතාම වර්ණවත් මනරම් අරුණාලෝක (aurora) ලෙස කෙනෙකුට දැකගත හැකියි. එය දකිද්දී අපට මතක් කර දෙන්නේ චුම්බක ක්ෂේත්‍රය මගින් පෘථිවියට ලබා දෙන ආරක්ෂාවයි.

උත්තරාලෝකය

වායුගෝලය: විවිධ වායුන්ගෙන් සමන්විත වායුගෝලය නිසා ජීවිතය පවත්වාගන්න හැකියාව පමණක් නොව පෘථිවියට අමතර ආරක්ෂාවක්ද ලැබෙයි. වායුගෝලයේ ඉහළින් ඔක්සිජන් පරමාණුවලින් සෑදුණු ඕසෝන් ස්තරය පිහිටා තිබෙනවා. සූර්යයා සිට පැමිණෙන අහිතකර පාරජම්බුල (UV) කිරණ සියයට 99ක් පමණ මෙම ඕසෝන් ස්තරය මගින් උරාගන්නවා. මෙම ක්‍රියාවලිය නිසා මිනිසා ඇතුළු බොහෝ ජීවීන්ද ඔක්සිජන් සැපයුමට නැතුවම බැරි ජලයේ වෙසෙන ප්ලවාංගද අහිතකර කිරණවලින් ආරක්ෂා වෙනවා. ඕසෝන් ස්තරය පිහිටා තිබෙන්නේ එකම ගනකමකින් නොවෙයි. පාරජම්බුල කිරණවල බලපෑමට අනුව එහි ගනකම අඩු වැඩි වෙනවා. මොන තරම් කාර්යක්ෂම ආරක්ෂක වළල්ලක්ද!

උල්කාපාතවලින් අපව ආරක්ෂා කරන්නේ වායුගෝලයයි

ඒ විතරක් නෙවෙයි, දිනපතා පෘථිවිය කරා අභ්‍යවකාශයේ සිට ඇදී එන මිලියන ගණන් කුඩා අංශු හා විශාල ගල් කුට්ටි ප්‍රමාණයේ සුන්බුන්වලින් අපව ආරක්ෂා වන්නේද වායුගෝලය නිසයි. ඒවායින් බොහොමයක් ඉහළ වායුගෝලයේදීම දැවී විනාශ වී යනවා. දීප්තිමත් ආලෝකයක් විහිදුවමින් ගිනිගන්නා මේවා හඳුන්වන්නේ උල්කාපාත ලෙසයි. නමුත් මේ ද්විත්ව ආරක්ෂක වළලු ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ආලෝකය සහ තාපය පෘථිවියට පතිත වීම අවහිර කරන්නේ නැහැ. එමෙන්ම පෘථිවිතලය පුරාම උණුසුම නිසි ලෙස පැතිරෙන්නේ වායුගෝලය නිසයි. එය රාත්‍රි කාලයේදී පෘථිවියේ උණුසුම රඳවාගැනීමට ගන බ්ලැන්කට්ටුවක් ලෙසත් ක්‍රියා කරනවා.

විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයත් වායුගෝලයත් මොන තරම් පුදුමාකාර නිර්මාණයන්ද! ඒවායෙහි ක්‍රියාකාරිත්වය හරියට අවබෝධ කරගන්න තවමත් හැකි වී නැහැ. මිහිපිට ජීවයේ පැවැත්මට නැතුවම බැරි ස්වාභාවික චක්‍ර ගැන කියන්න තිබෙන්නේද ඒ ටිකමයි.

පෘථිවිය ප්‍රබල ආරක්ෂක වළලු දෙකකින් වට වුණේ අහම්බෙන්ද?

ජීවයට අත්‍යවශ්‍ය චක්‍ර

නිවසකට පිරිසිදු ජල සැපයුමක් හා හොඳ වාතාශ්‍රයක් ලැබෙන්නේ නැත්නම්, එහි කැළි කසළ ඉවත් කරන්නෙත් නැත්නම් නිවසේ ජීවත් වෙන්න බැරි තත්වයක් උදා වෙනවා. අපේ පෘථිවියත් එක අතකට ඒ නිවස වගෙයි. පෘථිවියට අවශ්‍ය පිරිසිදු ජලය හා වාතය අභ්‍යවකාශයෙන් ගෙනෙන්නේ නැහැ. අපද්‍රව්‍ය අභ්‍යවකාශයට ගෙන ගොස් අතහරින්නෙත් නැහැ. එහෙම නම් ජීවීන්ගේ වාසයට සුදුසු පරිසරයක් පොළොව පුරා පවතින්නේ කොහොමද? ඒ ස්වාභාවික චක්‍ර නිසයි. ජල චක්‍රය, කාබන් චක්‍රය, ඔක්සිජන් චක්‍රය හා නයිට්‍රජන් චක්‍රය ඉන් කිහිපයක්. ඒවා මෙහි සරලව දක්වා තිබෙනවා.

ජල චක්‍රය: ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය ජලය නැතුව කිසිවෙකුට දින කිහිපයකට වඩා ජීවත් වෙන්න බැහැ. පිරිසිදු ජලය පෘථිවිය පුරා විහිදී යන්නේ ජල චක්‍රය නිසයි. ඊට අදියර තුනක් ඇතුළත්. (1)  සූර්ය තාපය මගින් ජලය වාෂ්ප වී වායුගෝලයට ඇදගනියි. (2)  ඝනීභවනය වන එම ජලයෙන් වලාකුළු සෑදෙයි. (3)  එම වලාකුළු වර්ෂාව, අයිස් කැට හෝ හිම ලෙස පොළොවට පතිත වෙයි. මේ ක්‍රියාවලිය චක්‍රයක් ලෙස දිගටම සිදු වෙයි. වසරකට ජලය කොතරම් ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය වෙනවාද? මුළු පෘථිවියම අඩි දෙකහමාරකට වඩා වැඩි ප්‍රමාණයක් ජලයෙන් වැසීමට තරම් විශාල ජල කන්දරාවක් එසේ වන බව සොයාගෙන තිබෙනවා.4

කාබන් හා ඔක්සිජන් චක්‍ර: ශ්වසනයේදී ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරන බව අපි කවුරුත් දන්නවා. මිනිසුන් හා සතුන් බිලියන ගානක් මෙසේ ශ්වසනය කරද්දී වායු ගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු නොවෙන්නෙත් කාබන් ඩයොක්සයිඩ් වැඩි නොවෙන්නෙත් ඇයි? ඊට හේතුව ඔක්සිජන් චක්‍රයයි. (1)  ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේදී හිරු එළියත් අපි ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් වායුවත් ශාක මගින් උරාගෙන කාබොහයිඩ්‍රේට් හා ඔක්සිජන් නිපදවනවා. (2)  අප ඔක්සිජන් ආශ්වාස කරද්දී එම චක්‍රය සම්පූර්ණ වෙනවා. මේ පුදුමාකාර ක්‍රියාවලිය කාර්යක්ෂමවත් නිහඬවත් සිදු වෙනවා.

නයිට්‍රජන් චක්‍රය: මිහිපිට ජීවයේ පැවැත්මට ප්‍රෝටීන් වැනි කාබනික අණු අත්‍යවශ්‍යයි. (1)  එම අණු නිපදවීමට නයිට්‍රජන් අවශ්‍යයි. අපේ වායුගෝලයේ සියයට 78ක් පමණ නයිට්‍රජන් තිබෙන නිසා එය ප්‍රශ්නයක් නෙවෙයි. අකුණු ගසද්දී එම නයිට්‍රජන් ශාකවලට උරාගත හැකි සංයෝග බවට හැරෙනවා. (2)  ශාක එම සංයෝග යොදාගෙන කාබනික අණු සාදනවා. එම ශාක ආහාරයට ගන්නා සතුන්ට නයිට්‍රජන් ලැබෙනවා. (3)  ශාක හා සතුන් මැරෙන විට බැක්ටීරියා මගින් නයිට්‍රජන් සංයෝග බිඳ දමනවා. දිරා යෑම කියන එම ක්‍රියාවලිය නිසා නයිට්‍රජන් නැවතත් පසට හා වායුගෝලයට එකතු වෙනවා. මේ ආකාරයට නයිට්‍රජන් චක්‍රය සම්පූර්ණ වෙනවා.

හොඳම ප්‍රතිචක්‍රීකරණය

මිනිසා අද තාක්ෂණය අතින් දියුණුයි. ඒ වුණත් වසරකට ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරි විෂ අපද්‍රව්‍ය ටොන් ගණනක් නිපදවනවා. නමුත් පෘථිවිය, පුදුමාකාර රසායනික ක්‍රියාවලියක් මගින් එහි තිබෙන සියලුම අපද්‍රව්‍ය නිසි විදිහට ප්‍රතිචක්‍රීකරණය කරනවා.

පෘථිවියේ ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය අහම්බෙන් ආ එකක්ද? ආගම හා විද්‍යාව පිළිබඳ ලේඛකයෙක් වන එම්. ඒ. කුරෙයි ඒ ගැන පැවසුවේ “පෘථිවියේ පරිසර පද්ධතිය ඉබේ පහළ වුණ එකක් නම් පරිසරයේ අප දකින සමතුලිතතාව මෙතරම් ඉහළ මට්ටමක පවතින්න විදිහක් නැහැ” කියායි.5 ඔබ ඔහුගේ අදහසට එකඟ වෙනවද?