මතෙව් 8:1-34

  • ලාදුරු රෝගියෙක්ව සුව කරයි (1-4)

  • හමුදා නිලධාරියෙක්ගේ විශ්වාසය (5-13)

  • කපර්ණවුමේදී යේසුස් හුඟදෙනෙක්ව සුව කරයි (14-17)

  • යේසුස්ගේ අනුගාමිකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ (18-22)

  • යේසුස් කුණාටුවක් නිශ්චල කරයි (23-27)

  • යේසුස් භූතයන්ව ඌරු රැළකට වැහෙන්න සලස්වයි (28-34)

8  යේසුස් කන්දෙන් බැහැලා ආවාට පස්සේ ලොකු සෙනඟක් ඔහුගේ පිටිපස්සෙන් ගියා.  ඔය අතරේ ලාදුරු රෝගියෙක් ඇවිත් ඔහු ඉස්සරහා දණින් වැටිලා මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබට පුළුවන් මාව පවිත්‍ර කරන්න. ඔබ කැමතිද එහෙම කරන්න?”+  එතකොට ඔහු තමන්ගේ අත දික් කරලා එයාව අල්ලලා “ඔව්, මං කැමතියි. පවිත්‍ර වෙන්න”+ කියලා කිව්වා. ඒ වෙලාවෙම එයාගේ ලාදුරු රෝගය සුව වුණා.*+  යේසුස් එයාට මෙහෙම කිව්වා. “මේ ගැන කාටවත් කියන්න එපා.+ ඒත් පූජකයා ළඟට ගිහින් ඔයා සුව වෙලා කියලා පෙන්නන්න.+ ඊටපස්සේ මෝසෙස් කියපු පූජාව ඔප්පු කරන්න.+ ඔයා සුව වෙලා කියන්න ඒක සාක්ෂියක් වෙයි.”  යේසුස් කපර්ණවුමට ඇතුල් වුණාම හමුදා නිලධාරියෙක් ඔහු ළඟට ඇවිත් බැගෑපත් වෙලා,+  මෙහෙම කිව්වා. “ස්වාමීනි, මගේ සේවකයාට අංශභාගය හැදිලා ඔත්පළ වෙලා. එයා ඉන්නේ ලොකු වේදනාවකින්.”  යේසුස් එයාට කිව්වා “මම එතනට ඇවිත් එයාව සුව කරන්නම්” කියලා.  එතකොට ඒ හමුදා නිලධාරියා මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබ මගේ වහල යටට එන්න තරම් මම වටින්නේ නැහැ. ඔබ මෙතනදීම එයාට සනීප වෙන්න කියලා කිව්වත් ඇති. මගේ සේවකයා සනීප වෙයි.  මොකද මාත් බලධාරීන් යටතේ සේවය කරන කෙනෙක්. මං යටතෙත් හේවායෝ ඉන්නවා. මං ඒ අයගෙන් කෙනෙක්ට ‘යන්න’ කියලා කිව්වොත් එයා යනවා. වෙන කෙනෙක්ට ‘එන්න’ කියලා කිව්වොත් එයා එනවා. මගේ දාසයාට ‘මේක කරන්න’ කියලා කිව්වොත් එයා ඒක කරනවා.” 10  ඒක ඇහුවාම යේසුස් පුදුම වෙලා ඔහු පිටිපස්සෙන් ආපු අයට මෙහෙම කිව්වා. “ඇත්තටම මං කියන්නේ, ඊශ්‍රායෙල් දේශයේ ඉන්න කිසිම කෙනෙක් ළඟ මේ තරම් විශ්වාසයක් තියෙනවා මං දැකලා නැහැ.+ 11  මං කියන මේ දේත් හිතට ගන්න. හුඟදෙනෙක් නැඟෙනහිර පැත්තෙනුත් බස්නාහිර පැත්තෙනුත් ඇවිත් ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් එක්ක ස්වර්ග රාජ්‍යයේ එකම මේසේ ඉඳගනියි.+ 12  ඒත් රාජ්‍යය අයිති වෙන්න හිටපු පුතාලව එළියට ඇදලා දායි. එයාලට ඉන්න වෙන්නේ අන්ධකාරයේ. අන්ධකාරයට වෙලා අඬඅඬ දත්මිටි කකා ඉන්න එයාලට සිද්ධ වෙයි.”+ 13  ඊටපස්සේ යේසුස් හමුදා නිලධාරියාට මෙහෙම කිව්වා. “යන්න. ඔයා විශ්වාස කරපු විදිහටම ඔයාගේ සේවකයා සනීප වෙයි.”+ ඒ වෙලාවෙම* එයාගේ සේවකයා සුව වුණා.+ 14  යේසුස් පේතෘස්ගේ ගෙදරට ගියාම ඔහු දැක්කා පේතෘස්ගේ නැන්දම්මාට+ උණ හැදිලා ඇඳට වෙලා ඉන්නවා.+ 15  යේසුස් එයාගේ අත ඇල්ලුවාම+ එයාගේ උණ බැස්සා. ඊටපස්සේ එයා නැඟිටලා ඔහුට කෑම ලෑස්ති කරන්න පටන්ගත්තා. 16  හවස් වුණාම භූතයන් වැහිලා හිටපු හුඟදෙනෙක්ව මිනිස්සු ඔහු ළඟට අරන් ආවා. ඔහු අණ කරපු ගමන්ම ඒ අයගෙන් භූතයන් අයින් වෙලා ගියා. අසනීප වෙලා හිටපු හැමෝවම යේසුස් සුව කළා. 17  ඒකෙන් අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් කියපු මේ දේ ඉටු වුණා. “ඔහු අපේ වේදනා ඔහුගේ කර පිටට අරන් අපේ ලෙඩ රෝග උසුලගෙන ගියා.”+ 18  ඔහු වටේ ලොකු සෙනඟක් එකතු වෙලා ඉන්නවා දැක්කාම යේසුස් බෝට්ටුව එගොඩට අරන් යන්න කියලා කිව්වා.+ 19  ඊටපස්සේ නීතිය පිටපත් කරන කෙනෙක් ඔහු ළඟට ඇවිත් “ගුරුතුමනි, ඔබ යන ඕනෙම තැනකට මාත් ඔබත් එක්ක යන්න එන්නම්”+ කියලා කිව්වා. 20  ඒත් යේසුස් එයාට මෙහෙම කිව්වා. “නරින්ට ගුහා තියෙනවා. අහසේ කුරුල්ලන්ට ඉන්න කූඩු තියෙනවා. ඒත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තියන්නවත් තැනක් නැහැ.”+ 21  ඊටපස්සේ තවත් ගෝලයෙක් මෙහෙම කිව්වා. “ස්වාමීනි, මං ඉස්සෙල්ලාම ගිහින් මගේ තාත්තාව තැන්පත් කරන්නම්. ඒකට මට කාලේ දෙන්න.”+ 22  යේසුස් එයාට මෙහෙම කිව්වා. “දිගටම මගේ පිටිපස්සේ එන්න. මැරුණු අයව* තැන්පත් කරන්න මැරුණු අයටම ඉඩහරින්න.”+ 23  පස්සේ ඔහු බෝට්ටුවකට නැග්ගාම ඔහුගේ ගෝලයොත් ඔහුත් එක්ක ගියා.+ 24  ටික වෙලාවකින් බෝට්ටුව දරුණු කුණාටුවකට අහු වුණා. බෝට්ටුව වැහිලා යන තරමටම රළ පහර උඩට ගැහුවා. ඒත් යේසුස් නිදාගෙනයි හිටියේ.+ 25  ඉතින් ගෝලයෝ යේසුස්ව ඇහැරවලා මෙහෙම කිව්වා. “ස්වාමීනි, අපිව බේරගන්න. අපි මැරෙන්නයි යන්නේ.” 26  ඒත් ඔහු “ඇයි ඔයාලා මෙච්චර බය වෙලා? ඔයාලාගේ විශ්වාසය අඩු වෙන්න දුන්නේ ඇයි” කියලා ඇහුවා.+ ඊටපස්සේ යේසුස් නැඟිටලා, හුළඟටත් මුහුදටත් තදින් කතා කළා. එතකොට මුහුද සම්පූර්ණයෙන්ම නිශ්චල වුණා.+ 27  ඒක දැක්කාම එයාලා පුදුමයෙන් මෙහෙම කිව්වා. “ඇත්තටම මේ කවුද? හුළඟත් මුහුදත් ඔහු කියන දේ අහනවා.” 28  ඊටපස්සේ ඔහු එගොඩ තිබුණ ගදරීනවරුන්ගේ පළාතට ආවා. එහෙදී භූතයන් වැහුණු මිනිස්සු දෙන්නෙක් සොහොන් ගෙවල්* තිබුණ පැත්තේ ඉඳන් ඔහු ළඟට ආවා.+ එයාලා හිතාගන්නවත් බැරි තරම් දරුණු අය නිසා ඒ පාරෙන් යන්න කිසි කෙනෙක්ට ධෛර්යයක් තිබුණේ නැහැ. 29  එයාලා කෑගගහා මෙහෙම කිව්වා. “දෙවියන්ගේ පුත්‍රය, ඔබ මොකටද මෙහෙට ආවේ?+ ඔබ ආවේ නියමිත කාලෙට කලින්+ අපිට වධ දෙන්නද?”+ 30  එයාලා හිටපු තැනට සෑහෙන ඈතක තිබුණ තණබිමක විශාල ඌරු රැළක් කෑම කකා හිටියා.+ 31  ඉතින් භූතයෝ බැගෑපත් වෙලා යේසුස්ගෙන් මෙහෙම ඉල්ලුවා. “ඔබ අපිව එළවනවා නම් අර ඌරු රැළට වැහෙන්න අපිට ඉඩ දෙන්න.”+ 32  ඔහු “යන්න” කියලා එයාලට කිව්වා. එතකොට භූතයෝ ඒ මිනිස්සුන්ගෙන් එළියට ඇවිත් ඌරන්ට වැහුණා. ඒත් එක්කම මුළු ඌරු රැළම වේගයෙන් දුවගෙන ගිහින් කන්දෙන්* පහළ තිබුණ මුහුදට වැටිලා මැරුණා. 33  ඒ රැළ බලාගත්ත අය නුවරට දුවගෙන ගිහින් භූතයන් වැහුණු මිනිස්සුන්ට වුණ දේයි, අනිත් හැම දෙයක්මයි නුවරේ හිටපු අයට කිව්වා. 34  එතකොට ඒ නුවරේ හිටිය හැමෝම යේසුස්ව හම්බ වෙන්න ඇවිත් ඉක්මනින්ම එයාලාගේ පළාතෙන් පිට වෙලා යන්න කියලා ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලුවා.+

පාදසටහන්

මූ.අ., “එයා ලාදුරු රෝගයෙන් පවිත්‍ර වුණා.”
මූ.අ., “ඒ පැයේදීම.”
පේන විදිහට මෙතන කතා කරන්නේ දෙවියන් එක්ක කිසිම බැඳීමක් නැති අය ගැනයි.
හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගෙවල්.”
මූ.අ., “ප්‍රපාතයෙන්.”