Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

ස්තුතිවන්ත වීම

ස්තුතිවන්ත වීම

ස්තුතිවන්ත වෙන එකෙන් අපිට හුඟක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒකෙන් අපේ මනසටත් ශරීරයටත් යහපතක් වෙනවා. ඒ නිසා හැම දවසකම ස්තුතිවන්ත වෙන්න ඕනේ.

ස්තුතිවන්ත වෙන එකෙන් අපිට හොඳක් වෙන්නේ කොහොමද?

වෛද්‍ය විද්‍යාවේ කියන දේ:

එක වෛද්‍ය සඟරාවක මෙහෙම තිබුණා. “ස්තුතිවන්ත වෙන අය හරිම ධනාත්මකයි. තමන් අද්දැකලා තියෙන හොඳ දේවල් ගැන හිතලා සතුටු වෙන්නත් හොඳ සෞඛ්‍යයක් ඇතුව ඉන්නත් ප්‍රශ්න ගැටලුවලට හොඳින් මුහුණ දෙන්නත් අනිත් අය එක්ක හොඳ බැඳීම් ඇති කරගන්නත් ඒ අයට පුළුවන්.”—Harvard Mental Health Letter.

බයිබලයේ කියන දේ:

“ඔබ තුළ ස්තුතිවන්තකම දක්නට ලැබිය යුතුයි” කියලා බයිබල් ලේඛකයෙක් වුණු පාවුල් කිව්වා. එයා ඒ දේ වචනෙට විතරක් සීමා කළේ නැහැ. එයා දේශනා කරපු ශුභාරංචිය සමහරු සතුටින් පිළිගත්ත එක ගැන පාවුල් දෙවියන්ට ස්තුති කරපු එකෙන් ඒක පැහැදිලි වෙනවා. (කොලොස්සි 3:15; 1 තෙසලෝනික 2:13) නියම සතුට දැනෙන්නේ මුළු හදවතින්ම අගය කිරීමේ පුරුද්දක් අපිට තියෙනවා නම් විතරයි. එතකොට අපි කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. නිතරම අයිතීන් වෙනුවෙන් සටන් කරන්න පෙලඹෙන්නේ නැහැ. පළිගන්නේ නැහැ. සතුටින් ජීවත් වෙන්න ඒක අපිට උදව්වක්.

යෙහෝවා දෙවියන් අපි වගේ මිනිසුන්වත් අගය කරනවා. අගය නොකරන එක දෙවියන් සලකන්නේ අධර්මිෂ්ඨ දෙයක් විදිහටයි. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.”—හෙබ්‍රෙව් 6:10.

“නිතරම ප්‍රීතියෙන් සිටින්න. සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න.”1 තෙසලෝනික 5:16, 18.

අනිත් අය එක්ක සුහදව ඉන්න ස්තුතිවන්ත වෙන එක උදව් වෙන්නේ කොහොමද?

අද්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන් දේ:

කවුරු හරි අපිට තෑග්ගක් දුන්නොත්, දිරිගැන්නුවොත්, උදව්වක් කළොත් අපි එයාව අගය කරනවා. එතකොට එයාට සතුටක් දැනෙනවා. අපි නොදන්න කෙනෙක්ට වුණත් ස්තුති කළාම එයාගේ හිතට ඒක දැනෙනවා.

බයිබලයේ කියන දේ:

යේසුස් මෙහෙම කිව්වා. “දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි. ඔවුන් ඔබට දෙන විට දෙන දේ සොලවා, තද කර, පිරී ඉතිරී යන විදිහට විශාල ප්‍රමාණයක් ඔබේ ඔඩොක්කුවලට මැන දෙයි.” (ලූක් 6:38) ඒ වචන කොච්චර ඇත්තක්ද කියලා වානුවාටු දූපත්වල ජීවත් වෙන රෝස්ගේ අද්දැකීමෙන් ඔප්පු වෙනවා.

රෝස් බිහිරි දැරියක්. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගියත් එයාවත් ඒ සභාවේ හිටපු කිසිම කෙනෙක්වත් සංඥා භාෂාව දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා රෝස්ට රැස්වීමේදී කියපු දේවල් තේරුණේ නැහැ. එක දවසක් සංඥා භාෂාව දන්න යුවළක් ඒ සභාවට ආවා. එයාලා සභාවේ අයට සංඥා භාෂාව ඉගැන්නුවා. ඒක හුඟක් අගය කරපු රෝස් කිව්වේ මෙහෙමයි. “මට ආදරේ කරන මේ තරම් යාළුවෝ ගොඩක් ඉන්න එක ගැන මට හරිම සතුටුයි.” තමන්ට සංඥා භාෂාව කියලා දීපු එක රෝස් කොච්චර අගය කරනවාද කියලත් රෝස් රැස්වීම්වලට සහභාගි වෙන විදිහත් දැක්කාම එයාට උදව් කරපු යුවළට දැනුණේ පුදුම සතුටක්. රෝස් එක්ක අදහස් බෙදාගන්න සභාවේ අනිත් අයත් සංඥා භාෂාව ඉගෙනගත්තා. ඒකත් රෝස් හුඟක් අගය කරනවා.—ක්‍රියා 20:35.

‘තම පූජාව ලෙස ස්තුති ප්‍රශංසා ඔප්පු කරන තැනැත්තා දෙවිව ගෞරවයට පත් කරන්නේය.’ගීතාවලිය 50:23.

ස්තුතිවන්ත වෙන්න උදව් වෙන්නේ මොනවාද?

බයිබලයේ කියන දේ:

අපේ හිතේ ඕනම දෙයක් ගැන අගයක් ඇති වෙන්නේ අපි ඒ ගැන හොඳට කල්පනා කළොත් විතරයි. බයිබල් ලේඛකයෙක් වුණු දාවිත් දෙවියන්ට යාච්ඤා කරද්දී මෙහෙම දෙයක් කිව්වා. “ඔබේ සියලු ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කළෙමි. ඔබේ මහත් බලය විදහා ඔබ කළ දේවල් ගැන මහත් ආශාවකින් කල්පනා කළෙමි.” (ගීතාවලිය 143:5) දාවිත් නිතරම දෙවියන් කරපු දේවල් ගැන කල්පනා කළා. ඒ නිසයි එයාට පුළුවන් වුණේ දෙවියන් කරපු හැම දෙයක්ම අගය කරලා ඔහුට ස්තුති කරන්න.—ගීතාවලිය 71:5, 17.

අපි හැමෝටම බයිබලයේ තියෙන මේ මඟ පෙන්වීම හිතට ගන්න පුළුවන්. ‘සැබෑ, ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.’ (ෆිලිප්පි 4:8) ඒ මඟ පෙන්වීමෙනුත් පැහැදිලි වෙන්නේ හොඳ දේවල් ගැන අපි නිතරම කල්පනා කරන එක කොච්චර වැදගත්ද කියලයි. එහෙම කළොත් තමයි අපිට ස්තුතිවන්ත වෙන්න පුළුවන් වෙන්නේ.

“මාගේ සිත ගැඹුරු දේවල් කල්පනා කරන්නේය.”ගීතාවලිය 49:3.