Skip to content

පටුනට යන්න

අනිත් අයව පහත් කරලා සලකන එක ඔයාටත් බෝ වෙලාද?

අනිත් අයව පහත් කරලා සලකන එක ඔයාටත් බෝ වෙලාද?

අනිත් අයව පහත් කරලා සලකන එක වයිරස් එකක් වගේ. ඒක වැලඳුණු කෙනෙක්ට ඒකෙන් ලොකු හානියක් වෙනවා. ඒක තමන්ට වැලඳිලා කියලා කෙනෙක් දන්නේ නැති වෙන්නත් පුළුවන්.

ජාතිය, කුලය, ගෝත්‍රය, භාෂාව නිසා විතරක් නෙවෙයි ආගම, ස්ත්‍රී පුරුෂභාවය සහ සමාජ මට්ටම නිසාත් හුඟක් අය අනිත් අයව පහත් කරලා සලකනවා. ඒ වගේම වයස, අධ්‍යාපනය, ශාරීරික ආබාධ සහ පෙනුම නිසා සමහරු අනිත් අය ගැන වැරදි විදිහට හිතනවා. ඒත් ඒ වගේ දේවල් කරන එකෙන් තමන් කරන්නේ අනිත් අයව පහත් කරලා සලකන එක කියලා කෙනෙක් හිතන්නේ නැහැ.

අනිත් අයව පහත් කරලා සලකන්න ඔයාත් පෙලඹෙන්න පුළුවන්ද? තව කෙනෙක් අනිත් අයව පහත් කරලා සලකද්දී අපිට ඒක තේරුණත් අපි කරද්දී අපිට ඒක තේරුම්ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒත් අපි හැමෝගෙම අතින් යම් දුරකට ඒක වෙනවා. ඒක තමයි ඇත්ත. සමාජ විද්‍යාව ගැන මහාචාර්යවරයෙක් වන ඩේවිඩ් විලියම්ස් මෙහෙම කියනවා. යම් කණ්ඩායමක් ගැන නිතර පහත් විදිහට හිතන කෙනෙක්ට ඒ කණ්ඩායමේ කෙනෙක්ව මුණගැහුණාම “ඒ කෙනාට එයා වෙනස් විදිහට සලකනවා. හැබැයි එයා එහෙම කළා කියලා ඇත්තටම එයා දන්නෙත් නෑ.”

උදාහරණයකට තමන් ජීවත් වන යුරෝපීය රටේ ඉන්න ජන පිරිසක් සම්බන්ධයෙන් එයාට හැඟුණු විදිහ ගැන යෝවිට්සා මෙහෙම කියනවා. “ඒ අය අතර හොඳ කෙනෙක් ඉන්න විදිහක් නෑ කියලා මං හිතුවා. ඒත් එහෙම හිතන එකෙන් මං කළේ එයාලව පහත් කරන එකයි කියලා මට තේරුණේ නෑ. මං එයාලා ගැන දැනන් හිටපු දේවල් නිසා එහෙම හිතන එකේ වරදක් නෑ කියලා මට හිතුණා.”

ජාතිවාදය වගේ අනිත් අයව පහත් කරලා සලකන දේවල් නවත්වන්න ආණ්ඩුවලින් විවිධ නීති දානවා. නීති දැම්මාට ඒක සම්පූර්ණයෙන්ම නවත්වන්න පුළුවන් වෙලා නැහැ. ඒ ඇයි? නීතිවලින් පාලනය කරන්න පුළුවන් මිනිසුන්ගේ ක්‍රියාවන් විතරයි. ඒත් අනිත් අයව පහත් කරන සිතුවිලි පටන්ගන්නේ මිනිසුන්ගේ හිත්වල. හිතේ ඇති වෙන සිතුවිලි පාලනය කරන්න නීතිවලට බැහැ. ඒකෙන් අදහස් කරන්නේ කෙනෙක් තවත් කෙනෙක්ව පහත් කරලා සලකන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න බැහැ කියන එකද?

හුඟදෙනෙක්ට අනිත් අයව පහත් කරලා සලකන්න බලපාපු හැඟීම් පරද්දන්න උදව් වුණු දේවල් පහක් ගැන ඊළඟ ලිපියෙන් අපි බලමු.