අපේ විත්ති
කිර්ගිස්තානයට යමු
හිමෙන් වැහුණු කඳු වළල්ලකින් වට වුණු කිර්ගිස්තානය හැමෝගෙම නෙත් සිත් ඇද බැඳ ගන්නා රටක්. මධ්‍යම ආසියාවේ පිහිටි කසක්ස්තානය, උස්බෙකිස්තානය, තජිකිස්තානය සහ චීනය යන රටවලට මැදි වෙලා තියෙන ඒ සුන්දර රටේ සියයට 90ක්ම තියෙන්නේ කඳු. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 24, 406ක උසකින් පිහිටි ටියාන් කඳු වැටියේ උසම ස්ථානය තියෙන්නෙත් කිර්ගිස්තානයේ. රටේ ඉතිරි භූමි ප්‍රමාණයෙන් සියයට 4ක්ම වනාන්තර. ලෝකේ තියෙන විශාලතම වෝල්නට් වනාන්තරයට හිමිකම් කියන්නෙත් කිර්ගිස්තානයයි.
ආගන්තුක සත්කාරයටත් නම් දරාපු මේ රටේ පුරවැසියන් අනිත් අයට ගරු කරන අය විදිහටත් ප්‍රසිද්ධයි. වැඩිහිටියන් එක්ක කතාබහ කරද්දී ගෞරවනීය යෙදුම්වලින් ඒ අයව අමතන්නත් අමතක කරන්නේ නැහැ. බස් එකේ, කෝච්චියේ යද්දී වැඩිහිටියෙක් දැක්කොත් ආසනයක් දෙන්නත් ඒ අය පෙලඹෙන්නේ නිතැතින්මයි. පිරිසක් එකතු වෙලා ආහාර වේලක් ගද්දී කෑම මේසේ මුල් තැන වැඩිහිටියන්ට දෙන එකත් එයාලගේ සිරිතක්.
කිර්ගිස්තාන් පවුලක අඩුම තරමේ දරුවෝ තුන්දෙනෙක්වත් ඉන්නවා. සාමාන්‍යයෙන් පවුලේ බාලම පිරිමි දරුවා එක්ක තමයි දෙමාපියන් මහලු වුණාම ඉන්නේ.
පුංචි කාලේ ඉඳන්ම දුවලාට ඉවුම්පිහුම්, මැහුම් ගෙතුම් වගේ ගෙදරදොරේ වැඩ ටික කරගන්න උගන්වන නිසා අවුරුදු පහළොව, දහසය වෙනකොට එයාලට ඒ වැඩ දක්ෂ විදිහට කරන්න පුළුවන් වෙනවා. විවාහ වෙද්දී මනාලියට දෑවැද්දක් විදිහට ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට, ඇඳුම් පැළඳුම්, අතින් වියපු බුමුතුරුණු වගේ දේවල් දෙනවා. අඹුවැද්දක් විදිහට යම් මුදලක් එක්ක සත්තු ටිකක් දෙයි කියලා මනාලයාගෙන් බලාපොරොත්තු වෙනවා.
උත්සවවලදී වගේම අවමංගල්‍යයන්වලදී බැටළුවෙක්ව නැත්නම් අශ්වයෙක්ව මරනවා. ඊටපස්සේ සතාව උයලා ඒ අවස්ථාවට සහභාගි වෙන අයට දෙනවා. එහෙම දෙද්දීත් වයසින් වැඩි අයට නැත්නම් පදවියක් දරන අයට හොඳම කොටස දෙන්නත් එයාලා අමතක කරන්නේ නැහැ. ඊළඟට හැමෝම එකතු වෙලා රටේ ප්‍රධාන ආහාරය (බෙෂ්බාමක්) කන්නේ හරිම සතුටින්.