Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

අතීතයේදී නිවස භාර සේවකයාට තිබුණ වැඩ කොටස මොකක්ද?

අතීතයේදී කෙනෙක්ගේ නිවසක වැඩකටයුතු හෝ කෙනෙක්ගේ දේපළ වතුපිටි බලා කියා ගන්න විශේෂ සේවකයෙක් හිටියා. එයාව හැඳින්නුවේ නිවස භාර සේවකයා හැටියට. නිවස භාර සේවකයා කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් සහ ග්‍රීක වචන “අධීක්ෂණය කරන කෙනාට” හෝ “ගෙදර කළමනාකරුට” යොමු දක්වනවා.

යාකොබ්ගේ පුතා වන යෝසෙප් ඊජිප්තුවේ වහලෙක් විදිහට හිටපු කාලේ එයාව එයාගේ ස්වාමියාගේ නිවස භාර සේවකයා විදිහට පත් කළා. ඊජිප්තු ජාතික එයාගේ ස්වාමියා එයාට තිබුණ “සියල්ල යෝසෙප්ගේ අතට භාර දුන්නා.” (උත්. 39:2-6) පස්සේ කාලෙකදී යෝසෙප් ඊජිප්තුවේ බලවත් පාලකයෙක් වුණාම එයාත් එයාගේ නිවසේ වැඩකටයුතු බලාගන්න සේවකයෙක්ව පත් කළා.—උත්. 44:4.

යේසුස්ගේ කාලේ වෙද්දී හුඟක් ඉඩම් හිමියන් ජීවත් වුණේ එයාලගේ වතුපිටිවලින් ඈතට වෙන්න තිබුණ නගරවල. ඒ නිසා තමන්ගේ වතුවල වැඩ කරන කුලීකරුවන්ගේ එදිනෙදා වැඩ බලා කියා ගන්න එයාලා සේවකයෙක්ව පත් කළා.

නිවස භාර සේවකයෙකුට තියෙන්න ඕනෙ සුදුසුකම් මොනවාද? ඒ ගැන මුල් සියවසේ හිටපු රෝම ලේඛකයෙක් වන කොල්ලුමෙල්ලා මෙහෙම කිව්වා. “කෙනෙක්ව නිවස භාර සේවකයා විදිහට පත් කරන්න නම් එයාට වැඩ පළ කරලා හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනේ. වැඩකරුවන්ට පැවරිලා තිබුණ වැඩ කොටස එයාලා ලවා කරවගන්න ඒ කෙනාට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒත් ඒක කරවගන්න ඕනෙ එයාලට කෲර විදිහට සලකලා නෙමෙයි. නිවස භාර සේවකයෙක්ට තියෙන්න ඕනෙ වැදගත්ම සුදුසුකම තමයි එයා හිතන්න හොඳ නැහැ එයා හැම දේම දන්නවා කියලා. ඒ වෙනුවට අලුත් දේවල් ඉගෙනගන්න එයාට ආසාවක් තියෙන්න ඕනේ.”

ක්‍රිස්තියානි සභාවේ සිද්ධ වෙන යම් කාර්යයන් පැහැදිලි කරන්න බයිබලේ නිවස භාර සේවකයෙකුගේ වගකීම් උදාහරණෙට අරන් තියෙනවා. දෙවියන් දීලා තියෙන හැකියාවන් ගැන කතා කරද්දී පේතෘස් ක්‍රිස්තියානීන්ට කිව්වා “දෙවිගේ මහත් කරුණාව ලබා ඇති යහපත් භාරකරුවන් [හෝ නිවස භාර සේවකයන්] ලෙස එම දීමනා එකිනෙකාට සේවය කිරීම සඳහා භාවිත කරන්න” කියලා.—1 පේතෘ. 4:10, පාදසටහන.

ලූක් 16:1-8 දක්වා සඳහන් වෙලා තියෙන උපමාව කියද්දී යේසුත් නිවස භාර සේවකයෙක් ගැන කතා කළා. රජ විදිහට යේසුස් පැමිණ සිටින කාලය හඳුනගන්න ලකුණ ගැන කියද්දීත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා ඔහු “විශ්වාසවන්ත නුවණ ඇති දාසයෙක්ව” නැත්නම් “විශ්වාසවන්ත හා නුවණ ඇති සේවකයෙක්ව” පත් කරනවා කියලා. (මතෙ. 24:45-47; ලූක් 12:42) ඒ සේවකයාට පැවරෙන ප්‍රධානම කාර්යය අවසාන කාලේ ජීවත් වෙන යේසුස්ගේ අනුගාමිකයන්ට එයාලගේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න උදව් වෙන පෝෂණය නොඅඩුව ලබා දෙන එකයි. විශ්වාසවන්ත සේවකයා ලබා දෙන පෝෂණයෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන් වුණ එක අපි ගොඩක් අගය කරනවා.