තීරණය ඔයාගේ අතේ!
ඔයාගේ අනාගතය මොන වගේ එකක් වෙයිද කියලා තීරණය කරන්න ඔයාට පුළුවන්ද? සමහර අය විශ්වාස කරන්නේ ජීවිතයේ හැම දෙයක්ම දෛවයට අනුව කලින්ම නියම කරලා තියෙන නිසා අපේ අනාගතේ වෙනස් කරන්න අපිට බැහැ කියලයි. ඒ නිසයි ජීවිතේ නොහිතන දේවල් වෙද්දී “ඒක අපි ලබා උපන් හැටි” කියලා එයාලා කියන්නේ.
යුද්ධ, අපරාධ, ස්වාභාවික විපත් සහ අසනීප වගේ දේවල් නිසා තවත් අය අනාගතය ගැන බලාපොරොත්තු අත්හැරලා. අනාගතය ගැන හිතන එකේ කිසි තේරුමක් නැහැ කියලයි එයාලා හිතන්නේ.
ඇත්ත, දැන් වෙන දේවල් අපේ ජීවිතයට බලපානවා. ඒවා වෙනස් කරන්න අපිට බැහැ. (දේශනාකාරයා 9:11) ඒත් අනාගතයේදී අපි සදාකාල ජීවිතය ලබාගන්නවාද නැද්ද කියන එක තීරණය කරන්න අපිට පුළුවන්. ඒ තීරණය තියෙන්නේ අපේ අතේ.
පුරාණ ඊශ්‍රායෙල් ජාතියේ නායකයා වුණ මෝසෙස් පොරොන්දු දේශයට ඇතුල් වෙන්න හිටපු සෙනඟට මෙහෙම කිව්වා. “ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තිබෙනවා. එකක් ජීවනයේ මාර්ගය. අනික මරණයේ මාර්ගය. මෙයින් එකක් තෝරාගන්න. ඔබ තෝරාගන්නා මාර්ගය අනුව ඔබට ආශීර්වාද හෝ ශාප හිමි වෙයි. ඔබ තෝරාගත යුත්තේ ඔබටත් ඔබේ දූපුතුන්ටත් දිගු කල් ජීවත් වීමට හැකියාව ලබා දෙන ජීවනයට යන මාර්ගයයි. ඒ සඳහා ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න. ඔහුගේ හඬට සවන් දී ඔහුට ළංව සිටින්න.”—ද්විතීය කතාව 30:15, 19, 20.
‘ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තිබෙනවා. එකක් ජීවනයේ මාර්ගය. අනික මරණයේ මාර්ගය. ඔබ තෝරාගන්නා මාර්ගය අනුව ඔබට ආශීර්වාද හෝ ශාප හිමි වෙයි. ඔබ තෝරාගත යුත්තේ ජීවනයට යන මාර්ගයයි.’—ද්විතීය කතාව 30:19
ඊජිප්තුවේ වහලුන් විදිහට හිටපු ඊශ්‍රායෙල්වරුන්ව දෙවියන් ගලවාගත්තා. දෙවියන් එයාලට පොරොන්දු වුණා සතුටින්, නිදහසේ ජීවත් වෙන්න පුළුවන් දේශයකට එයාලව අරන් යනවා කියලා. හැබැයි ඒ ආශීර්වාද ලබාගන්න නම් එයාලා දෙවියන්ට ප්‍රේම කරලා, ඔහුට සවන් දීලා, ඔහුට ළංව ඉන්න එක අත්‍යවශ්‍ය වුණා.
සදාකාල ජීවිතය කියන තෑග්ග ලබාගන්න නම් අද අපිත් දෙවියන්ට ප්‍රේම කරන්න ඕනේ. ඔහුට සවන් දෙන්න ඕනේ. ඔහුට ළංව ඉන්න ඕනේ. ඒත් ඒක කරන්නේ කොහොමද?
දෙවියන්ට ප්‍රේම කරන්න
දෙවියන්ගේ ප්‍රධානම ගුණාංගය ප්‍රේමයයි. බයිබල් ලේඛකයෙක් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් මෙහෙම ලිව්වා. “ප්‍රේමයේ උල්පත දෙවිය.” (1 යොහන් 4:8, පාදසටහන) දෙවියන් අපිව නිර්මාණය කරලා තියෙන්නෙත් ඒ ගුණාංගය ඇතුවයි. උතුම්ම ආඥාව මොකක්ද කියලා කෙනෙක් යේසුස්ගෙන් ඇහුවාම ඔහු මෙහෙම උත්තර දුන්නා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මතෙව් 22:37) අපිට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති වෙන්නේ අපි මුළු හදවතින්ම ඔහුට ප්‍රේම කරනවා නම් විතරයි. නැතුව දෙවියන්ට තියෙන භය නිසා නෙමෙයි. ඒත් ඇයි අපි මුළු හදවතින්ම දෙවියන්ට ප්‍රේම කරන්න ඕනේ?
ආදරණීය තාත්තා කෙනෙක් ගැන හිතන්න. එයා දරුවන්ට හොඳ නරක කියා දෙනවා, දිරිගන්වනවා, උදව් කරනවා, හික්මවනවා. තාත්තාට ඕනෙ දරුවන් හැමදාම සතුටින් ඉන්නවා දකින්න. දරුවනුත් එයාට ආදරේ කරයි, එයා කියන දේවල් හිතට ගනියි කියලා තාත්තා බලාපොරොත්තු වෙනවා. ස්වර්ගයේ ඉන්න අපේ ආදරණීය දෙවි පියාණන් ගැන හිතන්න. ඔහුත් අපි වෙනුවෙන් මොන තරම් දේවල් කරලා තියෙනවාද? ඒ නිසා අපි ඔහුට ආදරේ කරයි, ඔහු කරලා තියෙන දේවල් අගය කරයි කියලා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන එක සාධාරණ දෙයක් නෙමෙයිද?
දෙවියන්ට සවන් දෙන්න
බයිබලය මුලින් ලියපු භාෂාවට අනුව “සවන් දෙන්න” කියද්දී ඒකට “කීකරු වෙන්න” කියන අදහසත් 1 යොහන් 5:3.
ඇතුළත් වෙනවා. උදාහරණෙකට “දෙමව්පියන් කියන දේ අහන්න” කියලා දරුවෙක්ට කියද්දී ඒකෙන් අදහස් කරන්නේ දෙමව්පියන්ට කීකරු වෙන්න කියන එකයි. දෙවියන්ට සවන් දෙනවා කියද්දීත් ඒකෙන් අදහස් වෙන්නේ ඔහු කියන දේවල් ඉගෙනගෙන ඒවාට කීකරු වෙන එකයි. ඒත් දෙවියන් අපිට කෙළින්ම කතා කරන්නේ නැහැ. ඒ නිසා ඔහු කියන දේවලට සවන් දෙන්න නම් දෙවියන්ගේ වචනය වන බයිබලය කියවලා ඒ දේවල් පිළිපදින්න ඕනේ.—දෙවියන්ට සවන් දෙන එකේ වැදගත්කම යේසුස් පැහැදිලි කළේ මෙහෙමයි. “මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතයි.” (මතෙව් 4:4) ජීවිතය පවත්වාගන්න ආහාර ඕනේ. ඒත් යේසුස් කිව්වේ දෙවියන් ගැන ඉගෙනගන්න එක ඊටත් වඩා වැදගත් කියලයි. ඒ ඇයි? බයිබලයේ මෙහෙම කියනවා. “මුදල ආරක්ෂාවක් වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි. නමුත් දැනුම සමඟ ප්‍රඥාව අත් කරගැනීම මුදලට වඩා වටින්නේය. මන්ද ප්‍රඥාව නිසා කෙනෙකුගේ ජීවිතය රැකෙයි.” (දේශනාකාරයා 7:12) දෙවියන් දෙන දැනුම සහ ප්‍රඥාව ලබාගෙන ඒ අනුව වැඩ කළොත් දැන් විතරක් නෙමෙයි සදහටම සතුටින් ඉන්න අපිට පුළුවන්.
දෙවියන්ට ළං වෙන්න
යේසුස් කිව්වේ “ජීවනය කරා යන පාරේ අවහිරකම් තිබෙයි. එහි දොරටුවත් පටුයි. එය සොයාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි” කියලා. (මතෙව් 7:13, 14) සදාකාල ජීවනයට යන පාරේ ගමන් කරන එක ලේසි නැති නිසා ඒ පාර ගැන දන්න හොඳ මඟ පෙන්වන්නෙක්ගේ උදව් අපිට අවශ්‍යයි. දෙවියන් තමයි සාදාකාල ජීවනය ලබාගන්න අපිට මඟ පෙන්වන්න පුළුවන් හොඳම කෙනා. ඒ නිසයි අපි ඔහුට ළං වෙලා ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ. (ගීතාවලිය 16:8) ඒත් ඒක කරන්න පුළුවන් කොහොමද?
සමහරු හිතනවා තියෙන වැඩ කන්දරාවත් එක්ක දෙවියන් ගැන ඉගෙනගන්න, ඔහුට ළං වෙන්න කාලය හොයාගන්න එක ගොඩක් අමාරුයි කියලා. ඒ නිසයි බයිබලයේ අපිට මෙහෙම උනන්දු කරලා තියෙන්නේ. “ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න. අප නපුරු කාලයක ජීවත් වන නිසා ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.” (එෆීස 5:15, 16) දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම තමයි අපේ ජීවිතේ වැදගත්ම දේ. ඒ නිසා දෙවියන්ට ළං වෙන්න කාලය හොයාගන්න එක වටිනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?—මතෙව් 6:33.
ඔයාගේ තීරණය මොකක්ද?
ඇත්ත, අතීතය වෙනස් කරන්න ඔයාට බැහැ. හැබැයි ඔයාගෙත් ඔයාගේ පවුලේ අයගෙත් අනාගතය ගැන තීරණයක් ගන්න ඔයාට පුළුවන්. බයිබලයේ කියනවා යෙහෝවා දෙවියන් අපිට මොන තරම් ආදරය කරනවාද කියලා. ඒ වගේම අපේ ජීවිත සාර්ථක කරගන්න මොනවාද අපි කරන්න ඕනෙ කියලත් ඔහු අපිට පෙන්නලා තියෙනවා. අනාගතවක්තෘ මීකා ඒ ගැන පැහැදිලි කරන්නේ මෙහෙමයි.
“යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ. සාධාරණව ක්‍රියා කරන්න. ප්‍රේමයෙන් කටයුතු කරන්න. ඔබේ දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න. යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.”—මීකා 6:8.
යෙහෝවා දෙවියන්ට කීකරු වෙලා ඔහු පොරොන්දු වෙලා තියෙන ආශීර්වාද ලබාගන්න කියලා ඔහු ඔයාටත් ආරාධනා කරනවා. ඒ ආරාධනාව පිළිගන්න ඔයා කැමතිද? තීරණය ඔයාගේ අතේ!