Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සලමොන්ගේ දේවමාලිගාවේ ප්‍රවේශ ශාලාව කොච්චර උසද?

ප්‍රවේශ ශාලාව තිබුණේ ශුද්ධස්ථානයට ඇතුල් වෙන තැන. 2023ට කලින් ප්‍රකාශයට පත් කරපු ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ ප්‍රවේශ ශාලාව ගැන සඳහන් වුණේ මෙහෙමයි. “ගෘහයේ ශුද්ධස්ථානයට ඉදිරියෙන් තිබෙන ප්‍රවේශ ශාලාවේ පළල රියන් විස්සක් විය. එහි පළල ගෘහයේ පළලට සමාන විය. එහි උස රියන් එකසිය විස්සකි.” (2 ලේක. 3:4) වෙන පරිවර්තනවලත් සඳහන් වෙලා තියෙන්නේ ශාලාවේ උස “රියන් 120ක්” කියලා. ඒ කියන්නේ ඒක මීටර් 53ක් (අඩි 175ක්) උස ටැඹක්!

හැබැයි ‘නව ලොව පරිවර්තනය’ 2023 මුද්‍රණයේ තියෙන්නේ ඒකේ උස “රියන් 20ක්” කියලා. ඒ කියන්නේ මීටර් නමයක් (අඩි 30ක්). a ඒ වෙනසට හේතු වුණ දේවල් කීපයක් දැන් අපි බලමු.

ප්‍රවේශ ශාලාවේ උස 1 රාජාවලිය 6:3 සඳහන් වෙන්නේ නැහැ. ඒ පදේ යෙරෙමියා ඒකේ දිග, පළල ගැන කිව්වාට උස ගැන සඳහන් කරන්නේ නැහැ. ඊළඟ පරිච්ඡේදේ එයා වටකුරු තඹ භාජනය, කරත්ත දහය, ශාලාවෙන් එළියේ තිබුණ තඹ කුලුනු දෙක ඇතුළු දේවමාලිගාවේ තිබ්බ කැපී පේන දේවල් ගැන ගොඩක් තොරතුරු කියනවා. (1 රාජා. 7:15-37) ඔය කියන විදිහට ප්‍රවේශ ශාලාව මීටර් 50කටත් වඩා උසයි නම්, ඒක දේවමාලිගාවේ ඉතුරු හරියට වඩා ගොඩක් උසට තිබුණා නම් ඇයි යෙරෙමියා ඒකේ උස ගැන කිව්වේ නැත්තේ? ඊට සියවස් ගාණකට පස්සේ යුදෙව් ඉතිහාසඥයනුත් කිව්වා සලමොන්ගේ දේවමාලිගාවේ තිබුණ ප්‍රවේශ ශාලාව අනිත් ඒවාට වඩා උස නැහැ කියලා.

දේවමාලිගාවේ බිත්තිවලට රියන් 120ක් උස ශාලාවක් දරාගන්න පුළුවන්ද කියලා විශාරදයන් ප්‍රශ්න කරනවා. අතීතයේ ගල්වලින් ගොඩක් උසට තියෙන ගොඩනැඟිලි හදලා තියෙන්නේ වැඩි පළලකින් පටන් අරන් ටික ටික පළල අඩු වෙන විදිහට. හරියට ඊජිප්තුවේ මාලිගාවේ දොරටු හදලා තියෙනවා වගේ. හැබැයි සලමොන්ගේ දේවමාලිගාව ඊට වඩා වෙනස්. විශාරදයන් විශ්වාස කරනවා ඒකේ බිත්තිවල ගනකම රියන් හයකට ඒ කියන්නේ මීටර් 2.7කට (අඩි 9කට) වඩා වැඩි නැහැ කියලා. ඉතිහාසඥ තියඩෝර් බුසින්ක් මෙහෙම කියනවා. “දේවමාලිගාවට ඇතුල් වෙන තැන බිත්තිවල ගනකම දිහා බලද්දී ඒවාට රියන් 120ක් උස ගොඩනැඟිල්ලක් දරන්න පුළුවන් කියලා හිතන්න බැහැ.”

2 ලේකම් 3:4 වැරදියට පිටපත් කරලා වෙන්න පුළුවන්. සමහර පරණ අත්පිටපත්වල මේ පදේ “120ක්” කියලා තිබුණාට තවත් විශ්වාසවන්ත පිටපත්වල සඳහන් වෙන්නේ “20ක්” කියලා. ඒ වගේ ලියවිලි තමයි අවුරුදු 1,500ක් පරණ කෝඩෙක්ස් ඇලෙක්සැන්ඩ්‍රිනස් ලියවිල්ල සහ අවුරුදු 1,400ක් පරණ කෝඩෙක්ස් ඇම්බ්‍රෝසියනස් ලියවිල්ල. එහෙමනම් ඇයි පිටපත්කරුවෙක් වැරදිලා “120ක්” කියලා ලියන්න ඇත්තේ? හෙබ්‍රෙව් භාෂාවෙන් “සීය” කියන වචනේ සහ “රියන්” කියන වචනේ එක වගේ. ඉතින් “රියන්” කියලා ලියනවා වෙනුවට පිටපත්කරුවෙක් “සීය” කියලා ලියන්න ඇති.

සලමොන්ගේ දේවමාලිගාව කොයි වගේද කියලා තේරුම්ගන්න අපි මේ වගේ පුංචි පුංචි තොරතුරු හොයලා බැලුවට වැඩි අවධානයක් දෙන්නේ දේවමාලිගාවෙන් නියෝජනය කරන දේට. ඒ කියන්නේ සංකේතවත් දේවමාලිගාවට. ඒකෙන් අදහස් කරන්නේ යෙහෝවාට නමස්කාර කරන්න ඔහු ඇති කරලා තියෙන සැලැස්ම. ඒ දේවමාලිගාවට ඇවිත් ඔහුට නමස්කාර කරන්න දෙවියන් ඔහුගේ සේවකයන් හැමෝටම ආරාධනා කරලා තියෙනවා. ඒ ගැන අපි ඔහුට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද!—හෙබ්‍රෙ. 9:11-14; එළි. 3:12; 7:9-17.

a පාදසටහනක මෙහෙම සඳහන් වෙනවා. “සමහර පැරණි අත්පිටපත්වල කියන්නේ ‘120ක්’ කියලා. ඒත් තවත් අත්පිටපත්වල සහ පරිවර්තනවල ‘රියන් 20ක්’ කියලා කියනවා.”