Skip to content

පටුනට යන්න

සතුන් සමඟ සැමදා සතුටින්

සතුන් සමඟ සැමදා සතුටින්

සතුන් සමඟ සැමදා සතුටින්

සත්ව ලෝකයේ විවිධත්වය කොයි තරම්ද! සෑම සතෙකුටම උන්ටම ආවේණික වූ පෞද්ගලිකත්වයන් හා ගතිගුණ තිබෙන බවක් දකින්න තිබෙනවා. යමෙකු සතුන්ට ආදරය කරුණාව දක්වන විට සතුන්ව මැවූ තැනැත්තා වෙතටත් ඔහුගේ හිත ඇදී යන්න ඉඩ තිබෙනවා. මරියා නමැති කාන්තාවට සිදු වුණේ එයයි.

අවුරුදු තුනකට පමණ පෙර, පෘතුගාලයේ ලිස්බන් නගරයේ පදිංචි වී සිටියදී මරියාගේ ආදරණීය බල්ලා නැති වුණා. ඒ පිළිබඳව ගුවන්විදුලියේ නිවේදනය කරනු ලැබුවා. එම නිවේදනයේ විස්තර කළ ආකාරයේ බල්ලෙක් තමා දුටුවායයි සිතූ යෙහෝවාගේ සාක්ෂිකාරියක් මරියාට ඒ බව දැනුම් දුන් අතර පසුව ඒ දෙදෙනා එකතු වී බල්ලාව සොයාගත්තා. ඉන් අනතුරුව සාක්ෂිකාරිය මරියාට කියා සිටියේ ඇය සතුන්ට ගොඩක් ආදරය කරන නිසා දෙවි පොරොන්දු කර තිබෙන නව ලෝකයේ ජීවත් වීමට ඇය ඇත්තෙන්ම සතුටු වේවි කියායි. ඒ කාලයේදී මිනිසා හා සියලු සතුන් අතර සාමය තිබේවි කියාද සාක්ෂිකාරිය මරියාට පැහැදිලි කළා.

සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට පැමිණෙන්න මරියා එකඟ වුණා. එහිදී ඇසූ දුටු දේ ගැන මරියාට කොයි තරම් පැහැදීමක් ඇති වුණාද කිව්වොත් බයිබල් පාඩමක් කරන්න කැමති බව ඇය කියා සිටියා. පාඩම කරන අතරතුරේදී මරියාගේ සිතට තදින්ම කාවැදුණේ යෙහෝවා දෙවි ගැනත් ධර්මිෂ්ඨ නව ලොවක් තුළ සදාකල් ජීවත් වීම පිළිබඳව ඔහු දී තිබෙන පොරොන්දුව ගැනත් ඇය ඉගෙනගත් කාරණායි. (ගීතාවලිය 37:29; යොහන් 17:3) කල් යත්ම ඇය යෙහෝවාට ඇගේ ජීවිතය කැප කළ අතර එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සඳහා 2002 පෙබරවාරි 16වන දා බව්තීස්ම වුණා.

දෙවිගේ මුල් අරමුණ

දෙවි මුලින් අරමුණු කළ ආකාරයට මනුෂ්‍යයන් අනිවාර්යයෙන්ම පාරාදීස පොළොවක සදාකාල ජීවනය භුක්ති විඳින බවටත් සියලු සතුන්ව රැකබලා ගන්නා බවටත් වූ සාක්ෂි සලකා බැලීමෙන් බොහෝදෙනෙක් මහත් සේ සතුටු වී තිබෙනවා. (උත්පත්ති 1:28) බයිබලයේ පවසන්නේ දෙවි ‘පොළොව මවා සාදා එය පිහිටෙව්වේ හිස්කමට නොව වාසය පිණිස’ කියායි. මෙයින් පෙනී යන්නේ මිනිසා සදහටම පොළොව මත සතුන් සමඟ සතුටින් කල් ගෙවීම දෙවිගේ කැමැත්ත වූ බවයි.—යෙසායා 45:18.

පාරාදීස පොළොවක් බිහි කිරීමට වූ තම මුල් අරමුණ ඉටු කිරීමට දෙවි අදිටන් කරගෙන සිටින බවද බයිබලයේ ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කරන්නේ “මම කියා තිබෙන්නාක් මෙන්ම . . . ඒක කරන්නෙමි” කියායි. නැවතත් යෙහෝවා ස්ථිර වශයෙන්ම සඳහන් කරන්නේ මෙසේයි. “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදු කොට, මා නියම කළ කාරණය සපල කරනවා ඇත.”—යෙසායා 46:11; 55:11.

මිනිසා භූමික පාරාදීසයක සදාකල් ජීවත් වීම දෙවිගේ මුල් අරමුණ වූ බව පැහැදිලියි. අනාගතයේදී එම අරමුණ ඉටු වෙන බවට අපට පූර්ණ නිසැකකමක් තබාගත හැකියි. දෙවිගේ නව ලොවේදී කෙබඳු ආකාරයේ ජීවිතයක් ගත කළ හැකිදැයි පෙන්වන බයිබල් පද කිහිපයක් දැන් සලකා බලමු. ඒ කාලයේදී ගෘහ ආශ්‍රිත සතුන් විතරක් නොවෙයි වනසතුන් ඇතුළු සෑම සතෙකුම එකිනෙකා සමඟද මිනිස් වර්ගයා සමඟද සමාදානයෙන් සිටින බව අපට පෙනේවි.—යෙසායා 65:17, 21-25; 2 පේතෘස් 3:13.

දෙවිගේ නව ලොව සහ සතුන්

යෙහෝවා ගෙන එන නව ලොවේදී සිංහයෙකුගේ සිනිඳු කේසර ඇල්ලීමටත් කොටියෙකුගේ ඉරි වැටුණු සම අත ගා බැලීමටත් කිසිම සතෙකුගෙන් හානියක් නොලැබ කැලෑවේ නිදාගැනීමටත් මිනිසුන්ට පුළුවන්. දෙවි දුන් මෙම පොරොන්දුව සිතට ගන්න. “ඔවුන්ට [මිනිසාට] සුව සේ කාන්තාරයෙහි වසන්ටත් කැලෑවල නිදාගන්ටත් පුළුවන් වන ලෙස මම චණ්ඩ මෘගයන් දේශයෙන් පහ කරන්නෙමි.”—එසකියෙල් 34:25; හොෂෙයා 2:18.

ඒ කාලයේදී වනසතුන් මිනිසාට හා දරුවන්ට පවා සම්පූර්ණයෙන්ම යටත් වී සිටීවි! බයිබලයේ පවසන්නේ, “වෘකයා බැටළු පැටවා සමඟ වාසය කරන්නේය. දිවියාද එළු පැටවා සමඟ ලගින්නේය. වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය. කුඩා දරුවෙක් උන් ගෙන යන්නේය” කියායි.

ඒ විතරක් නොවෙයි, බයිබලයේ තවදුරටත් මෙසේ විස්තර කරනවා. “එළදෙනත් වලසාත් එක්ව තෘණ කන්නෝය. උන්ගේ පැටවුද එක්ව ලගින්නෝය. සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය. කිරි වැරූ දරුවා පොළඟාගේ ගුල පිට තමාගේ අත තබන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන් යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරී යන්නේය.”—යෙසායා 11:6-9.

යෙහෝවා ගෙන එන නව ලොවේදී විශාල නගරවල එක පොදියට ජීවත් වීමට මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ටත් ඔවුන්ගේ සුරතලුන්ටත් අපහසුතාවක් නොමැතිව ජීවත් වෙන්නට පුළුවන්. අදත් බොහෝදෙනෙක් සමබර ආකල්පයක් ඇතුව තම සතුන්ට නිසි සැලකිල්ල දෙමින් උන් සමඟ සතුටින් කල් ගෙවන බව ඇත්තයි. එහෙත් ධර්මිෂ්ඨ නව ලෝකයක් තුළ සතුන් සමඟ සැමදා සතුටින් ජීවත් වීමේ අපේක්ෂාව ගැන සිතා බලන්න! එදාට සෑම ජීවියෙකුටම ජීවය දුන් උදාර මැවුම්කරුව සැබවින්ම මහිමයට පත් වෙන අයුරින් සතුන්ට ආදරය සැලකිල්ල දැක්වීමට පුළුවන් වේවි.

මෑතක් වෙනකම් දෙවිගේ අරමුණු නොදැන සිටි, සතුන්ට ප්‍රිය කරන මරියා මෙන් ඔබත් දෙවිගේ අරමුණ පිළිබඳව මෙතෙක් ඉගෙනගෙන නැත්නම් මෙම සඟරාවේ ප්‍රකාශිතයන්ට ලිවීමට හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුව හමුවීමට අපි ඔබව උණුසුම් ලෙස දිරිගන්වන්නෙමු. ඔබට උපකාර කිරීමට ඔවුන් ඉතා සතුටු වෙන බව නම් නිසැකයි.

[20වන පිටුවේ පින්තූරය]

දෙවිගේ නව ලොවේදී සතුන් සමඟ සදහටම සතුටින් සිටිය හැකියි