රෝග හඳුනාගැනීමට උපකාරවත් වන නවීන තාක්ෂණය
රෝග හඳුනාගැනීමට උපකාරවත් වන නවීන තාක්ෂණය
ශල්‍යකර්මයන් නොකර සමහර ලෙඩ රෝග පහසුවෙන්ම හඳුනාගැනීමට මීට අවුරුදු 100කට පමණ කලින් එක්ස් කිරණ පරීක්ෂණ යොදාගත්තා. නමුත් අද විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව නිසා ඊට වඩා නවීන ක්‍රම ඒ සඳහා භාවිත කරනවා. ඒවා නම් පරිලෝකන ප්‍රතිබිම්බ (CT), පෙට් පරිලෝකනය (PET), චුම්බක තරංග ප්‍රතිබිම්බ (MRI) සහ ශබ්ද තරංග (ultrasound) මගින් කරන පරීක්ෂණයි. ඒවායේ ක්‍රියාකාරිත්වය, එයින් ඇති විය හැකි අනතුරු සහ ප්‍රයෝජන ගැන අපි මේ ලිපියේ සලකා බලනවා.
එක්ස් කිරණ ප්‍රතිබිම්බ ලේඛන ක්‍රමය
ක්‍රියාකාරිත්වය: එක්ස් කිරණ පරීක්ෂණයකදී ශරීරයේ පටක විනිවිද දැකගත හැකියි. මෙම පරීක්ෂණයේදී ශරීරයේ යම් කොටසක් එම කිරණවලට නිරාවරණය වූ විට ඝනත්වයෙන් වැඩි අස්ථි හා සමාන කොටස් කිරණ වැඩියෙන් උරාගන්නවා. මේ නිසා ඉන් ලැබෙන ඡායාරූපවලදී එම කොටස් දීප්තිමත්ව දිස් වන අතර ඝනත්වයෙන් අඩු මෘදු පටක දිස් වන්නේ අළු පාටට හුරුවයි. සාමාන්‍යයෙන් දත්වල, අස්ථිවල, පියයුරුවල හා පපු ප්‍රදේශයේ රෝග හඳුනාගැනීම සඳහා එවැනි පරීක්ෂණ සිදු කරනවා. සමහර අවස්ථාවලදී ශරීරයේ යම් නිශ්චිත ප්‍රදේශයක පැහැදිලි ඡායාවක් ලබාගැනීම සඳහා වෛද්‍යවරයා යම් වර්ණක දියරයක් ශරීරගත කරනවා. අද තාක්ෂණයේ දියුණුව නිසා එක්ස් කිරණ පරීක්ෂණවල ප්‍රතිඵල පරිගණකයකින් දැකගත හැකියි.
අනතුරු: මෙහිදී සෛලවලට හා පටකවලට සුළු පරිමාණයෙන් හානි සිදු විය හැකියි. නමුත් ඉන් අත් වන ප්‍රයෝජන සමඟ සසඳද්දී එය එතරම් අනතුරුදායක නොවේ. * එවැනි පරීක්ෂණයකට ගැබිනි කාන්තාවක් මුහුණ දීමට පෙර ඒ බව වෛද්‍යවරයාට දැන්විය යුතුයි. ඊට හේතුව සමහර අවස්ථාවලදී ශරීරගත කිරීමට භාවිත කරන අයඩින් වැනි වර්ණක දියර නිසා ඔවුන්ට අසාත්මිකතා ඇති වීමයි. ඔබට අයඩින්, ඉස්සෝ, කකුළුවෝ වැනි ආහාර නිසා අසාත්මිකතා ඇති වෙනවා නම් ඒ බව කලින්ම වෛද්‍යවරයාට දන්වන්න.
ප්‍රයෝජන: එක්ස් කිරණ පරීක්ෂණය වේදනකාරී නොවන, පහසුවෙන් කළ හැකි හා ඉතා වේගවත් පරීක්ෂණයක්. මේ සඳහා එතරම් වියදමක්ද දැරිය යුතු නැහැ. විශේෂයෙන්ම පියයුරු පරීක්ෂා කරගැනීම සඳහාද හදිසි තත්වයන් යටතේදී යම් පරීක්ෂා කිරීම සඳහාද මෙය ඉතා ප්‍රයෝජනවත්. ඒ වගේම පරීක්ෂණයෙන් පසු කිරණ ශරීරයේ තැනපත් නොවන නිසා අතුරු ආබාධ ඇති වන්නේද නැහැ. *
පරිලෝකන ප්‍රතිබිම්බ
ක්‍රියාකාරිත්වය: CT පරීක්ෂණයේදී කිරණ රාශියක් යොදාගනු ලබන නිසා එක්ස් කිරණ පරීක්ෂණවලට වඩා එය සංකීර්ණයි. මෙහිදී රෝගියාව විශාල කුටීරයක් වැනි යන්ත්‍රයක් තුළට ඇතුළු කරනවා. එහිදී රෝගියාගේ ශරීරයේ යම් නිශ්චිත කොටසක් පරීක්ෂා කිරීමට එය වටා (අංශක 360ක්) කිරණ ගමන් කිරීමට සලස්වනවා. එහිදී පරිගණකය මාර්ගයෙන් ශරීරයේ එම කොටසේ සම්පූර්ණ ව්‍යූහය ඡායාරූපගත කර එය සෝදිසි කරනවා. එය හරියට පාන් ගෙඩියක මැද තිබෙන එක් කොටසක් ගැන පැහැදිලි ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය වූ විට පාන් ගෙඩිය මැදින් පෙත්තක් ගෙන සම්පූර්ණයෙන් ඡායාරූපගත කරනවා හා සමානයි. නවීනතම උපකරණවල දඟරයක් ආකාරයට කිරණ යවනු ලබන නිසා පරීක්ෂණය ඉක්මන්. CT පරීක්ෂණය මගින් බොහෝ විස්තර ලබාගත හැකි නිසා එය පපු ප්‍රදේශයේ, උදරයේ හා ඇට සැකිල්ලේ යම් ආබාධ සොයා බැලීමට බෙහෙවින් ප්‍රයෝජනවත්. ඒ වගේම විවිධ පිළිකා රෝග සහ වෙනත් අක්‍රමිකතා සොයා බැලීමටද එය උපකාරවත් වෙනවා.
අනතුරු: CT පරීක්ෂණයකදී සාමාන්‍ය එක්ස් කිරණ පරීක්ෂණයට වඩා වැඩි කිරණ සංඛ්‍යාවක් යොදාගනු ලබන නිසා පිළිකා ඇති වීමේ අවදානම වැඩියි. මේ නිසා මෙම පරීක්ෂණයෙන් අත් වන ප්‍රයෝජන ගැන හොඳින් සිතා බලා තීරණයක් ගැනීම අවශ්‍යයි. සමහර රෝගීන්ට මෙම පරීක්ෂණය සඳහා භාවිත කරනු ලබන අයඩින් වැනි ද්‍රාවණ අසාත්මිකතා ඇති කළ හැකියි. තවත් සමහරුන්ගේ වකුගඩුවලට යම් හානි සිදු වෙන්නත් පුළුවන්. මෙහිදී කිරි දෙන මවුවරුන් සඳහා අයඩින් වැනි ද්‍රාවණයක් භාවිත කරනවා නම් පැය 24ක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගත වන තුරු දරුවාට කිරි දීමෙන් වළකින ලෙස මව්වරුන් දැනුවත් කරන්න.
ප්‍රයෝජන: CT පරීක්ෂණයකදී තොරතුරු ලබාගන්නේ පරිගණකයක් මාර්ගයෙනුයි. එහිදී කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. එමෙන්ම මෙය ඉතා ඉක්මන්, සරල ක්‍රමයක් වන අතර සිරුරේ අභ්‍යන්තරයේ ඇති වෙනස්කම් සොයාගත හැකි නිසා ජීවිත ආරක්ෂා කර දෙනවා. යම් ආබාධයක් නිසා ශරීරගත කර තිබෙන ලෝහමය ද්‍රව්‍යයන් මෙම පරීක්ෂණයට බාධාවක් නොවෙයි.
PET පරිලෝකනය
ක්‍රියාකාරිත්වය: PET පරීක්ෂණය සිදු කරන්නේද කිරණ භාවිත කිරීමෙනුයි. මේ සඳහා ග්ලූකෝස් වැනි ද්‍රාවණයක් ශරීරගත කරනවා. එහිදී ශරීරයේ පරීක්ෂා කරන කොටසේ පිළිකා සෛල තිබෙනවා නම් අනිත් සෛලවලට වඩා වැඩියෙන් ඊට ග්ලූකෝස් උරාගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී ලබාගන්නා ඡායාරූපයේ එවැනි සෛල දීප්තිමත්ව දැකගත හැකියි.
CT හා MRI පරීක්ෂණවලින් අවයවයක හෝ පටකයක හැඩය දැකගත හැකි වුවද PET පරීක්ෂණයකදී එහි ක්‍රියාකාරිත්වයද දැකගත හැකියි. මේ නිසා යම් රෝගයක් මුල් අවධියේදීම නිර්ණය කිරීමට PET පරීක්ෂණය උපකාරවත් වෙනවා. PET හා CT පරීක්ෂණ දෙකම කිරීමෙන් වඩාත් ප්‍රබල දත්ත ඇතුළත් ඡායාරූප ලබාගත හැකියි. මෙහිදී කිරණ භාවිත කරන්නේ කෙටි වේලාවකට නිසා එම කාලය ඇතුළතදී මෙම පරීක්ෂණය නිම කළ යුතුයි. කොහොමනමුත් PET පරීක්ෂණයකදී වැරදි දත්ත පවා ලැබීමට ඉඩ තිබෙනවා. ඊට බලපාන එක් හේතුවක් වන්නේ රෝගියා නිරාහාරව සිටි කාලය ප්‍රමාණවත් නොවීම හෝ සීනි ප්‍රමාණය වැඩි වීමයි. සමහරවිට එලෙස සීනි ප්‍රමාණය වැඩි වන්නේ දියවැඩියා රෝගය නිසා විය හැකියි.
අනතුරු: PET පරීක්ෂණයේදී ඊට භාවිත කරන ද්‍රාවණය අඩු නිසාත් කිරණ යොදාගන්නේ කෙටි
වේලාවක් නිසාත් එහි අවදානම අඩුයි. කෙසේවෙතත් වැඩෙන කළලයකට මෙය හානිකරයි. ඒ නිසා කාන්තාවක් ගැබ්ගෙන සිටිනවා නම් ඒ බව කලින්ම වෛද්‍යවරයාට පැවසිය යුතුයි. ඒ වගේම දරුවන් ලැබෙන වයසක සිටින කාන්තාවන්ට ඔවුන් ගැබ්ගෙන සිටිනවාද කියා සොයා බැලීම සඳහා PET පරීක්ෂණයට පෙර ලේ හෝ මූත්‍රා පරීක්ෂණයක් කරනු ලබනවා.ප්‍රයෝජන: PET පරීක්ෂණයකින් යම් අවයවයක හෝ පටකයක ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන නිසා යම් පටකයක දෝෂයක් තිබෙනවා නම් එය කලින්ම හඳුනාගත හැකියි. නමුත් CT හා MRI පරීක්ෂණයකින් හඳුනාගත හැක්කේ පටකයක යම් වෙනසක් සිදු වූවාට පසුවයි.
චුම්බක තරංග ප්‍රතිබිම්බ
ක්‍රියාකාරිත්වය: MRI පරීක්ෂණයකදී භාවිත කරන්නේ චුම්බක තරංගයි. මෙහිදී ශරීරයේ අභ්‍යන්තරයේ සම්පූර්ණ ව්‍යූහයක් පරිගණකයක් මාර්ගයෙන් ඡායාරූපගත කළ හැකියි. ඒ ආකාරයට MRI පරීක්ෂණයෙන් සෑම කොටසක් ගැනම තොරතුරු ලබාගැනීමට හැකි නිසා එය වෛද්‍යවරුන්ට මහත් උපකාරයක්. මොළයේ සැකැස්ම හා අස්ථියක් විනිවිද දැකගත හැකි පරීක්ෂණ තිබෙන්නේ කිහිපයක් පමණයි. MRI පරීක්ෂණය ඉන් එකක්.
MRI පරීක්ෂණය කිරීමේදී රෝගියා නිශ්චලව සිටිය යුතුයි. මෙම පරීක්ෂණයේදී රෝගියාව කුඩා කුටීරයක් තුළට ඇතුල් කරන නිසා බොහෝ රෝගීන් බියට පත් වෙනවා. එවැනි බියක් දක්වන අයට හා ස්ථූලතාවයෙන් පෙළෙන අයට මෑතකදී විවෘත MRI පරීක්ෂණ කිරීමේ උපකරණ සාදා තිබෙනවා. මෙය චුම්බක බලයෙන් ක්‍රියා කරන නිසා මෙම පරීක්ෂණය සිදු කරන විට පෑන්, අත් ඔරලෝසු, ආභරණ, කොණ්ඩ කටු, ක්‍රෙඩිට් කාඩ් හා චුම්බකවලට ආකර්ෂණය වන ඕනෑම දෙයක් ළඟ තබා නොගත යුතුයි.
අනතුරු: මෙම පරීක්ෂණයේදී යම් ද්‍රාවණයක් භාවිත කරනවා නම් එයින් යම් අසාත්මිකතා ඇති විය හැකියි. නමුත් එක්ස් කිරණ හෝ CT පරීක්ෂණයකදී භාවිත කරන අයඩින් ද්‍රාවණයට වඩා මෙහි අවදානම අඩුයි. ඊට අමතරව රෝගියාට වෙනත් කිසිදු හානියක් නැහැ. කෙසේවෙතත් මෙය චුම්බක බලයෙන් ක්‍රියා කරන නිසා වෙනත් රෝගයකට ප්‍රතිකාරයක් වශයෙන් ලෝහමය ද්‍රව්‍යයක් ශරීරගත කර තිබෙනවා නම් මෙම පරීක්ෂණය සිදු කළ නොහැකියි. ඒ නිසා ඒ බව කලින්ම වෛද්‍යවරයාට දැනුම් දෙන්න.
ප්‍රයෝජන: MRI පරීක්ෂණයේදී භාවිත කරන කිරණ එතරම් හානිකර නොවෙයි. මෙමගින්
පටකවල විකෘතිතා විශේෂයෙන්ම අස්ථිවලට ආවරණය වී ඇති පටකවල විකෘතිතා හඳුනාගැනීමට හැකියි.ශබ්ද තරංග මගින් ලබාගන්නා ඡායාරූප
ක්‍රියාකාරිත්වය: ශබ්ද තරංග (Ultrasound Scanning) උපයෝගි කරගනිමින් මෙම පරීක්ෂණය සිදු කරයි. ශරීරයේ යම් කොටසක් පරීක්ෂා කිරීමේදී එම ප්‍රදේශයට ශබ්ද තරංග නිකුත් කර එහි ප්‍රතිනාදය සටහන් කර ගැනීමෙන් මෙය සිදු කරනු ලැබේ. මෙහිදී පරීක්ෂාවට ලක්වන කොටස පිහිටා තිබෙන ගැඹුර, හැඩය සහ ප්‍රමාණය දැනගැනීමට හැකි වෙනවා. අඩු සංඛ්‍යාත තරංග භාවිත කිරීමෙන් ශරීරයේ වඩාත් ගැඹුරු තැන්වල තොරතුරු ලබාගැනීමටත් අධි සංඛ්‍යත තරංගවලින් ශරීරයේ මතුපිට තොරතුරු ලබාගැනීමටත් හැකියි.
බොහෝ අවස්ථාවලදී මෙම පරීක්ෂණය පවත්වන තැනැත්තා ශබ්ද තරංග උපදවන උපකරණයක් (Transducer) භාවිත කරනවා. ශරීරයේ පරීක්ෂා කිරීමට අවශ්‍ය කොටසේ ජෙල් වැනි ද්‍රව්‍යයක් ආලේප කර ඒ ප්‍රදේශය පුරා එම උපකරණය ගෙනයනවා. එවිට ඊට අදාළ දත්ත අඩංගු ඡායාරූප පරිගණකයකින් දැකගැනීමට හැකි වෙනවා. තවත් සමහර අවස්ථාවලදී ඉහත සඳහන් උපකරණයට වඩා ඉතා කුඩා එවැනිම උපකරණයක් ශරීරයට ඇතුළු කර පරිගණකයක් හරහා ඡායාරූප ලබාගන්නවා.
රුධිරය ගලා යෑම පිළිබඳව සොයා බැලීමට භාවිත කරන උපකරණයක්ද (Doppler Ultrasound) තිබෙනවා. රුධිරය ගෙන යන නාලවලට බාධා ඇති කරන පටකවල ඉදිමුමක් හෝ එවැනි යමක් තිබෙනවා නම් මෙවැනි පරීක්ෂණයකින් එය සොයාගත හැකියි.
ශබ්ද තරංග මගින් ලබාගන්නා ඡායාරූපවලින් විවිධ රෝග සහ ඒවා ඇති වීමට හේතුව දැනගත හැකියි. එනම් රුධිර නාලිකාවල ඇති විය හැකි ආබාධ, පියයුරුවල ඇති වන ගැටිති සහ කළලයක තත්වයයි. කෙසේවෙතත් ශබ්ද තරංග වායු අතරින් ගමන් නොකරන නිසා උදරයේ යම් ප්‍රදේශවල මෙම පරීක්ෂණය සිදු කළ නොහැකියි. එමෙන්ම මෙයින් ලබාගන්නා ඡායාරූප අපි කලින් සලකා බැලූ පරීක්ෂණවලින් ලබාගන්නා ඡායරූප තරම්ම පැහැදිලි නැහැ.
අනතුරු: ශබ්ද තරංග මගින් සිදු කරන මෙම පරීක්ෂණ යම්තාක් දුරකට ආරක්ෂිත වුවද එයින් යම් ශක්තියක් පිට කරන නිසා පටකවලට හා කළලයට හානි සිදු විය හැකියි. එම නිසා කළලයක් පරීක්ෂා කිරීම සඳහා මෙවැනි පරීක්ෂණයක් කිරීම සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියා නොසිතිය යුතුයි.
ප්‍රයෝජන: මෙම පරීක්ෂණය ඉතා බහුලව කරන අතර ඊට වැඩි වියදමක්ද දැරීමට සිදු වන්නේ නැහැ. ඒ වගේම පරීක්ෂණය කරන අතරතුරේදී එහි ඡායාරූප ඒ අවස්ථාවේදීම දැකගත හැකියි.
තාක්ෂණයේ දියුණුව
මෑතකදී අඩු චුම්බක බලයක් භාවිත කරමින් MRI පරීක්ෂණ තවත් දියුණු තත්වයකට ගෙන ඒමට පරීක්ෂකයන් උත්සාහ දරා තිබෙන අතර ඊට වැය වන්නේ ඉතා අඩු මුදලක් බවද සොයාගෙන තිබෙනවා. අනාගතයේදී මෙම ක්ෂේත්‍රයේ තවත් දියුණුවක් දැකගත හැකියි. පරීක්ෂකයන් දැනටමත් සෛලයක මුල් අවධියේ සිදු වන වෙනස්කම් දැකගත හැකි අණුවක ඡායාරූපයක් (MI) ගැනීමේ ක්‍රමයක් අත්හදා බලමින් සිටිනවා. එමගින් රෝගයක් මුල් අවදියේදීම හඳුනාගත හැකියි.
අප ඉහත සාකච්ඡා කළ පරීක්ෂණවලින් කලින්ම ලෙඩ රෝග හඳුනාගෙන ඊට පහසුවෙන් ප්‍රතිකාර කිරීමට හැකි වී තිබෙනවා. ඒ නිසා වේදනාකාරී, අවදානම් හා අනවශ්‍ය ශල්‍යකර්මවලට භාජනය වීමට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් එම පරීක්ෂණ කරන උපකරණ මිලෙන් ඉතා අධිකයි. සමහර උපකරණ ඩොලර් මිලියනයකට වඩා වැඩියි.
එමනිසා රෝග තත්වයන් සොයා ඒවා සුව කරගැනීමට වඩා ඒවා වළක්වාගැනීමට හැකි උපරිමය කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා සමබර ආහාර වේලක් ගැනීම, නිතිපතා ව්‍යායාම් කිරීම, අවශ්‍ය තරම් විවේකයක් ගැනීම හා සන්සුන් මනසක් ඇතුව සිටීම අවශ්‍යයි. ‘ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයක්’ කියා බයිබලයේ පවසා තිබෙන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 17:22, නව ලොව පරිවර්තනය.
[පාදසටහන්වල]
^ 5 ඡේ. මේ සම්බන්ධයෙන් තවත් දැනගැනීම සඳහා “කිරණවලට නිරාවරණය වීම“ නැමැති කොටුව බලන්න.
^ 6 ඡේ. මෙම ලිපියේ අරමුණ නම් එවැනි විවිධ පරීක්ෂා ගැන දළ අදහසක් මෙන්ම එහි ඇති ප්‍රයෝජන හා අනතුරුදායක පැත්ත පෙන්වා දීමයි. මේ ගැන සවිස්තරාත්මකව දැනගැනීමට විෂය ගැන පූර්ණ දැනුමක් ඇති කෙනෙක්ව හමුවන්න හෝ ඒ ගැන ලියා තිබෙන පොත් පත් කියවා බැලිය හැකියි.
[13වන පිටුවේ කොටුව]
කිරණවලට නිරාවරණය වීම
අපි සෑම දවසකම කිරණවලට නිරාවරණය වෙනවා. අප කොතරම් ප්‍රමාණයක් කිරණවලට නිරාවරණය වෙනවාද කියා පහත සඳහන් දත්තවලින් ඔබට දැනගත හැකියි. එම දත්ත ප්‍රයෝජනයට ගෙන ඔබ යම් කිරණවලින් කරන පරීක්ෂණ කොතරම් හානිදායකද කියා ඔබටම සිතා බැලිය හැකියි. කිරණ ධාරිතාව ගණනය කරන්නේ සිවට් (mSv) ඒකකය මගිනුයි.
පැය පහක ගුවන් ගමනක යෙදෙන කෙනෙකු කිරණවලට නිරාවරණය වන ප්‍රමාණය සිවට් 0.03
දවස් දහයක් තුළදී පරිසරයෙන් ලැබෙන විකිරණ ප්‍රමාණය සිවට් 0.1
එක් වරක් දත් එක්ස් කිරණ පරීක්ෂණයට භාජනය කිරීමේදී කිරණවලට නිරාවරණය වන ප්‍රමාණය සිවට් 0.04-0.15
සාමාන්‍යයෙන් කරනු ලබන ළය එක්ස් කිරණ පරීක්ෂණයේදී කෙනෙකු කිරණවලට නිරාවරණය වන ප්‍රමාණය 0.1
පියයුරු පරීක්ෂා කිරීමේදී කෙනෙකු කිරණවලට නිරාවරණය වන ප්‍රමාණය සිවට් 0.7
CT පරීක්ෂණයකින් ළය පරීක්ෂා කිරීමේදී කෙනෙකු කිරණවලට නිරාවරණය වන ප්‍රමාණය සිවට් 8.0
කිරණ භාවිත කරන යම් පරීක්ෂණයකට මුහුණ දීමට ඔබට සිදු වූවොත් එම පරීක්ෂණයේදී ඔබ කොතරම් ප්‍රමාණයක් කිරණවලට නිරාවරණය වෙනවාද යන්න ගැනත් වෙනත් තොරතුරු ගැනත් වෛද්‍යවරයාගෙන් දැනගැනීමට පසුබට නොවන්න.
[11වන පිටුවේ පින්තූරය]
එක්ස් කිරණ
[12වන පිටුවේ පින්තූරය]
CT
[හිමිකම් විස්තර]
© Philips
[12වන පිටුවේ පින්තූරය]
PET
[හිමිකම් විස්තර]
Courtesy Alzheimer’s Disease Education and Referral Center, a service of the National Institute on Aging
[13වන පිටුවේ පින්තූරය]
MRI
[14වන පිටුවේ පින්තූරය]
ශබ්ද තරංග (Ultrasound)