Skip to content

පටුනට යන්න

ඔබටත් මෙලෙස හැඟෙනවාද?

ඔබටත් මෙලෙස හැඟෙනවාද?

“එක දවසක් මම උදේ නැඟිටලා මෙහෙම කල්පනා කළා. අද මම ජීවත් වන අන්තිම දවසද? එතකොට මගේ වයස අවුරුදු 12යි.” ජේම්ස් * තම අතීතය සිහි කරමින් පැවසුවේ එලෙසයි. ඔහු දරුණු මානසික අවපීඩනයකින් පෙළුණු කෙනෙක්. අවුරුදු 30කට පසු ජේම්ස් මෙසේ පවසනවා. “මම හැම දවසකම ඒ වගේ මානසික අවපීඩනයකින් පීඩා වින්දා.” කුඩා කාලයේ පටන් ජේම්ස්ට තමන් ගැන කිසිදු වටිනාකමක් දැනුණේ නැහැ. ඔහුගේ ළමා කාලයේ ඡායාරූප පවා ඔහු ඉරා විසි කළා. “මගේ ළමා කාලය මතක් කරන්න තරම්වත් මම වටින්නේ නැහැ” කියා ජේම්ස් පැවසුවා.

අප සෑම කෙනෙක්ම කලින් කලට දුක්ඛදායක සිතුවිලිවලින් යටපත් වෙනවා. එය මානසික අවපීඩනය නොවෙයි. නමුත් මානසික අවපීඩනයට වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත යුතුයි.

එය ඇති වන්නේ නොසිතූ මොහොතකයි

මානසික අවපීඩනය තාවකාලිකව ඇති වන දුකකට වඩා වැඩි දෙයක්. එය කෙනෙකුගේ ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු කරගැනීමට පවා බාධා ඇති කරවන තත්වයක්.

උදාහරණයකට ඇල්බට් අවුරුදු 40කට වඩා වැඩි කාලයක් “බියෙන්, වියවුලෙන්, සිත්තැවුලෙන් හා අධික දුකකින්” කල් ගෙවූ කෙනෙක්. ඔහුගේ තත්වය ගැන ඔහු පවසන්නේ මෙසේයි. “මගේ රෝගී තත්වය නිසා මට අන් අයගේ උපදෙස් වදයක් වුණා. ඕනෑම වරදක් සිදු වුණාම මම හිතුවේ ඒ දේ වුණේ මගේ අතින් කියලයි.” ඔහු මානසික අවපීඩනය ගැන පවසන්නේ මෙවැනි දෙයක්. “ලොකු වේදනාවක් දැනුණත් ශරීරයේ කොතැනද වේදනාව තියෙන්නේ කියලා විස්තර කරන්න බැහැ. බියක් දැනුණත් මොකටද බිය වෙන්නේ කියලා හරියටම දන්නේ නැහැ. මේ ප්‍රශ්න ගැන මම කා එක්කවත් කතා කරන්න අකමැති එක මට ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් වුණා.” ඔහුට එවැනි හැඟීම් ඇති වන්නේ ඇයි කියා ඔහු දැන් දන්නා නිසා එය ඔහුට ලොකු සහනයක්. “මම අද්දකින රෝගී තත්වය වෙනත් අයත් අද්දකිනවා කියා දැනගත්තම මට සැහැල්ලුවක් දැනුණා.”

බ්‍රසීලයේ ජීවත් වන වයස 49ක් වන මරියා මානසික අවපීඩනයෙන් පීඩා විඳි අයෙක්. ඒ නිසා ඇයට නින්ද නොයෑම, නොරුස්සන ස්වභාවය, ඇඟේ පතේ රුදාව හා දිගු කාලයක් පුරා පවතින වේදනාකාරී හැඟීම්වලින් පීඩා වින්දා. ඇගේ මෙම තත්වය රෝගයක් කියා හඳුනාගත් විට ඇය සතුටු වුණා. “නමුත් මේ රෝගී තත්වය තේරුම්ගන්නේ සුළු පිරිසක් කියලා දැනගත්තාම ඒ ගැන මම හුඟක් කනස්සලු වුණා.”

හේතුවක් නොමැතිව දුක් වීම

දකුණු අප්‍රිකාවේ රිචඩ් නම් තැනැත්තෙක් මෙවන් දෙයක් පවසනවා. “කිසිඳු හේතුවක් නැතිව ඔබ දුකින් යටපත් වෙනවා. එහෙම වෙන්නේ ඔබ දැන හඳුනන කෙනෙකුගේ වියෝව නිසාවත් යම් කනස්සලු තත්වයක් ඇති වූ නිසාවත් නොවෙයි. ඒත් ඔබ දරාගත නොහැකි කනස්සල්ලකින් පීඩා විඳිනවා. එම දුකින් මිදීම ඔබට පහසු නැහැ. කිසිඳු හේතුවක් නැතිව ඔබ සිටින්නේ බලාපොරොත්තු සුන් වූ තත්වයකයි.” සමහර අවස්ථාවලදී මානසික අවපීඩනය ඇති වීමට යම් හේතුවක් තිබුණත් එම තත්වය ඇති වන්නේ නොසිතූ මොහොතකයි.

යමෙකු මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම් එය ලජ්ජා වීමට හේතුවක් නොවෙයි. එහෙත් බ්‍රසීලයේ ඇනා තමන්ට මානසික අවපීඩනය තිබෙන බව දැනගත් විට ඒ ගැන ඇය ලැජ්ජාවට පත් වුණා. “රෝගය දැනගෙන අවුරුදු අටක් ගත වෙලත් මට ඒ ගැන තවමත් ලැජ්ජාවක් දැනෙනවා. ඒ ලැජ්ජාව නිසා මට කොයිතරම් දුකක් ඇති වෙනවාද කියනවා නම් සමහරවිට මගේ මුළු ඇඟම රිදෙනවා.” කියා ඇය පවසනවා. එවැනි අවස්ථාවලදී ඇයට ඇඳෙන් නැඟිටින්නවත් හිතෙන්නේ නැහැ. සමහර අවස්ථාවල ඇයට ඇඬීම නතර කරගන්න බැහැ. “මම අඬලා කොයිතරම් වෙහෙසට පත් වෙනවාද කියනවා නම් මට දැනෙන්නේ මුළු ඇඟම ගල් ගැහිලා වගෙයි.”

“කිසිඳු හේතුවක් නැතිව ඔබ දුකින් යටපත් වෙනවා”

සමහර අවස්ථාවලදී යම් අය මුළුමනින්ම මානසිකව වැටිය හැකි බව බයිබලයේ පවසනවා. ඒ බව බයිබලයේ ලේඛකයෙකු වන පාවුල් පැවසුවේ මානසිකව පීඩා විඳින කෙනෙකු “අධික ශෝකයේ ගිලී” යා හැකි බවයි. (2 කොරින්ති 2:7) සමහර පුද්ගලයන් කොතරම් කලකිරෙනවාද යත් ඔවුන්ට මරණය සැපතක් කියා සිතෙන්න පුළුවන්. අනාගතවක්තෘ කෙනෙක් වන යෝනා පැවසුවේ ‘මම තවත් ජීවත් වෙලා වැඩක් තියෙනවාද? මාව මරලා දැම්මා නම් මීට වඩා හොඳයි’ කියායි.—යෝනා 4:3, නව ලොව පරිවර්තනය, NW.

මානසික අවපීඩනයෙන් පෙළෙන අයට එම තත්වයෙන් ගොඩ ඒමට කුමක් කළ හැකිද?

^ 2 ඡේ. මෙම ලිපි මාලාවේ නම් වෙනස් කර ඇත.