Skip to content

පටුනට යන්න

මුහුදු ගමන්වලදී මුහුණ දුන් අභියෝගයක් ජය ගැනීම

මුහුදු ගමන්වලදී මුහුණ දුන් අභියෝගයක් ජය ගැනීම

මුහුදු ගමන්වලදී මුහුණ දුන් අභියෝගයක් ජය ගැනීම

බ්‍රිතාන්‍යයට අයත් යුධ නැව් කිහිපයක් 1707 ඔක්තෝබර් 22වෙනිදා ඉංග්‍රීසි ඕඩය දෙසට ඇදෙමින් තිබුණා. නමුත් ඔවුන් ගමන්ගත් ප්‍රදේශය වරදවා තේරුම්ගැනීම හේතුවෙන් එංගලන්තයේ සිලි දූපත් ආසන්නයේදී නැව් හතරක් මුහුදුබත් වුණා. එපමණක් නොව ඉන් මිනිස් ජීවිත 2,000කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වුණා.

සමකයේ සිට තමන් උතුරු දෙසට හෝ දකුණු දෙසට කොතරම් දුරක් ගමන් කර තිබෙනවාද කියා පහසුවෙන්ම තේරුම්ගැනීමට ඒ කාලයේ සිටි නැවියන් සමත් වුණා. නමුත් අභියෝගය වුණේ තමන් ගමන් කරන්නේ නැඟෙනහිරටද බටහිරටද කියා තේරුම්ගැනීමයි. ඒ වගේම ඒ දෙසට කොතරම් දුරක් ගමන් කර තිබෙනවාද යන්න ගණනය කිරීමත් අපහසු වුණා. එසේ ගමන් මඟ නොදැන යෑම නිසා දහඅටවන සියවසේ මුල් භාගයේදී අත්ලාන්තික් සාගරය හරහා ගමන්ගත් නැව් බොහොමයක් මුහුදුබත් වුණා. නමුත් 1707දී සිදු වූ ඒ ඛේදජනක සිද්ධියත් සමඟ ඉංග්‍රීසි ජාතිකයන්ගේ වැඩි අවධානය ඒ වෙත යොමු වෙන්න පටන්ගත්තා.

ඒ අනුව මුහුදු ගමන්වලදී නැවක් නැඟෙනහිරට හෝ බටහිරට කොතෙක් දුර ගමන් කර තිබෙනවාද කියා නිවැරදිව නිශ්චය කළ හැකි ක්‍රමයක් සොයාගන්නා කෙනෙකුට පවුම් 20,000ක් පිරිනමන බව 1714දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ප්‍රකාශයට පත් කළා.

කුතුහලයෙන් පිරි අභියෝගයක්

මෙම උදාහරණය සලකා බලන්න. ඔබ සිටින්නේ ලන්ඩනයේ. ඔබේ රට පිහිටි අක්ෂාංශ රේඛාවේම පිහිටි රටකින් දහවල් 12ට ඔබට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ ප්‍රදේශයේ වේලාව උදෑසන හය බව ඔබ දැනගන්නවා. ඒ අනුව ඔහු සිටින්නේ ඔබට වඩා පැය හයක් පසුපසින් බවත් ඔහුගේ රට උතුරු ඇමරිකාව බවත් ඔබ නිගමනය කරනවා. ඒ වගේම ඔබ ඔහුගේ වේලාව තත්පරයටම දන්නවා නම් ඔහු සිටින ප්‍රදේශ පවා නිවැරදිව නිශ්චය කරගැනීමට ඔබට හැකියි. නමුත් එදා සිටි නැවියන්ට ඔවුන් ගමන් කරන දිශාව හඳුනාගැනීම දුෂ්කර දෙයක් වුණේ තත්පරයටම වේලාව දැනගැනීමට ක්‍රමයක් නොතිබූ නිසයි.

එදා සිටි යාත්‍රාකරුවෙකුට වුණත් හිරුගේ පිහිටීම බලා දහවල් 12 තීරණය කිරීමට හැකියාවක් තිබුණා. නමුත් ඒ අවස්ථාවේදී ඔහුට තම රටේ වේලාව තත්පරයටම දැනගැනීමේ හැකියාවක් තිබුණා නම් තමා නැඟෙනහිර හෝ බටහිර දෙසට කොතරම් දුරක් ගමන් කර තිබෙනවාද කියා දළ වශයෙන් හෝ දැනගැනීමට හැකියාව තිබුණා. බ්‍රිතාන්‍ය විසින් ත්‍යාගයක් පිරිනමන බව පැවසුවේ සති හයක මුහුදු ගමනකදී තමා සිටින ප්‍රදේශය නිශ්චය කරගත හැකි ක්‍රමයක් සොයාගන්නා කෙනෙකුටයි.

නැවියෙකුට වේලාව දැනගැනීමට බට්ටෙකු සහිත ඔරලෝසුවක් ගෙන යා හැකි වුණත් නැව පැද්දීම හේතුවෙන් එහි වේලාව නිතරම වෙනස් වුණා. එමෙන්ම උෂ්ණත්වයද ඊට බලපෑවා. ඒ නිසා නිවැරදිව වේලාව දැනගැනීමට ඔහුට හැකි වුණේ නැහැ. ඊට අමතරව දැති සහ දුනු ඔරලෝසුවලින්ද නිවැරදිව වේලාව දැක්වූයේ නැහැ. නමුත් සඳු හා තරුවල පිහිටීම බලා වේලාව තීරණය කිරීම ගැන කුමක් කිව හැකිද?

සංකීර්ණ කාර්යයක්

සඳුගේ පිහිටීම බලා ස්ථානය නිශ්චය කරගැනීමේ ක්‍රමයක් තාරකා විද්‍යාඥයන් විසින් හඳුන්වා දුන්නා. ඒ සඳහා ඔවුන් විශේෂ වගුවක් පිළියෙල කළා. එම වගුවට අනුව යම් තාරකාවල පිහිටීමට සාපේක්ෂව සඳ පිහිටා තිබෙන ස්ථානය අධ්‍යයනය කිරීමෙන් තමන් සිටින ස්ථානය හඳුනාගත හැකි බව ඔවුන් පැවසුවා.

සියවසකට ආසන්න කාලයක් පුරා තාරකා විද්‍යාඥයන්, ගණිතඥයන් හා නැවියන් එම ගැටලුව සමඟ පොර බැදුවත් එය ඉතා සංකීර්ණ වූ නිසා විසඳුමක් සොයාගැනීම පහසු වුණේ නැහැ.

වඩුවෙක් අභියෝගය භාරගනියි

බැරෝ අපෝන් හම්බර් නම් ගමේ ජීවත් වූ ජෝන් හැරිසන් නමැති වඩු කාර්මිකයා එම ගැටලුව විසඳීමට කල්පනා කළා. වර්ෂ 1713දී ඔහුට වයස අවුරුදු 20ක් පිරෙන්නත් කළින් ඔහු බට්ටෙක් සහිත ඔරලෝසුවක් සම්පූර්ණයෙන්ම වගේ ලීවලින් නිම කළා. පසු කාලයේදී බාධාවකින් තොරව ක්‍රියාත්මක වන, උෂ්ණත්වයට ඔරොත්තු දෙන ආකාරයේ ඔරලෝසු නිපදවීමට ක්‍රමයක් ඔහු සොයාගත්තා. ඒ වන විට ලොව බිහි වී තිබූ නවීනතම ඔරලෝසුවේ පවා වේලාව ගමන් කළේ දිනකට විනාඩියක් අඩුවෙනුයි. නමුත් හැරිසන් නිපදවූ ඔරලෝසුවල වෙනස වූයේ මාසයකට තත්පරයක් පමණයි. *

ඉන්පසු ඔහු මුහුදු ගමන්වලදී නිවැරදිවම වේලාව දක්වන ඔරලෝසුවක් නිපදවීමේ අභියෝගය භාරගත්තා. අවුරුදු හතරක් පුරා කළ ගවේෂණවලින් පසු ඔහු ලන්ඩනය බලා ගියේ කලින් සඳහන් කළ ත්‍යාගය පිරිනැමීම සම්බන්ධයෙන් කටයුතු කරන කමිටුව මුණගැසීමටයි. එහිදී ඔවුන් විසින් ඔහුට ඉහළ පෙළේ ඔරලෝසු නිෂ්පාදකයෙක් වන ජෝජ් ග්‍රැහැම්ව හඳුන්වා දුන්නා. පසුව ඔහු හැරිසන්ට ඔහුගේ ඔරලෝසුව නිපදවීම සඳහා පොලී රහිත ණයක් ලබා දීමට තරම් කාරුණික වුණා. පසුව 1735දී හැරිසන් විසින් නිෂ්පාදිත ඉතා නිවැරදි ඔරලෝසුව එදා බ්‍රිතාන්‍යයේ සිටි රාජකීය සමාජයේ ප්‍රසාදයට ලක් වුණා. පිත්තලින් නිම වූ එම ඔරලෝසුව කිලෝග්‍රෑම් 34ක් බරයි.

එහි නිවැරදි ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා ලිස්බන්වලට ගිය මුහුදු ගමනේදී එය භාවිත කළ අතර හැරිසන්ද ඊට එක් වුණා. ගමන අවසානයේදී එහි නිවැරදිභාවය මනාව ඔප්පු වුණා. ඔහුට අවශ්‍ය නම් ඒත් සමඟම අත්ලාන්තික් සාගරය හරහා ගමන් කර ත්‍යාගය දිනාගැනීමේ හැකියාවද තිබුණා. නමුත් ත්‍යාගය ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කළ කමිටුව රැස් වූ ප්‍රථම අවස්ථාවේදී හැරිසන් විසින්ම ඔහුගේ ඔරලෝසුවේ තිබූ අඩුපාඩුකම් විවේචනයට ලක් කළා. ඒ අනුව මීටත් වඩා වැඩි දියුණු කළ ඔරලෝසුවක් නිපදවීම සඳහා සුළු මුදලක් හා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න කියා ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

ඊට අවුරුදු හයකට පසු හැරිසන්, වැඩි දියුණු කළ ඔහුගේ දෙවන ඔරලෝසුව නිර්මාණය කළ අතර එය කිලෝග්‍රෑම් 39ක් බරින් යුක්තයි. ඒ නිසා රාජකීය සමාජයේ සම්පූර්ණ සහයෝගය ඔහුට ලැබුණා. ඒ වුණත් 48වෙනි වියේ පසු වූ ඔහු එම ඔරලෝසුව ගැනද සෑහීමට පත් වුණේ නැහැ. ඒ නිසා ඔහු තම ජීවිතයේ ඊළඟ අවුරුදු 19 ගත කළේ පෙරට වඩා වෙනස් මාදිලියේ ඔරලෝසුවක් නිපදවීමට වෙර දරමිනුයි.

ඒ කාලය අතරතුර අහම්බෙන් වගේ ඔහු යම් දෙයක් සොයාගත්තා. ඒ ඔහුගේ මිත්‍රයෙක් නිර්මාණය කර තිබූ කුඩා ප්‍රමාණයේ ඔරලෝසුවක්. එහි නිවැරදි ක්‍රියාකාරීත්වය ගැන ඔහු තම මවිතය පළ කළා. එය නිපදවා තිබුණේ ඔහුගේම ඔරලෝසුවක් අනුකරණය කරමිනුයි. මුලින් ඔහු සිතුවේ වඩාත් නිවැරදිව වේලාව දක්වන්නේ විශාල ප්‍රමාණයේ ඔරලෝසු කියායි. කෙසේනමුත් ඔහු තම හතරවන නිර්මාණය ලෙස කිලෝග්‍රෑමයක් බර කුඩා ප්‍රමාණයේ ඔරලෝසුවක් නිපදවූවා. ඒ ගැන තම සම්පූර්ණ විශ්වාසය තබමින් ත්‍යාගය ලබාගැනීමේ අරමුණ ඇතුව 1761දී අත්ලාන්තික් සාගරය හරහා මුහුදු ගමන ආරම්භ කළා. ඔහු ඒ ගැන මෙසේ පැවසූ බවට සැලකෙනවා. “මේ වගේ දෙයක් සොයාගන්න තෙක් දිගු කාලයක් ජීවත් වෙන්න ලැබීම ගැන මගේ මුළු හදවතින්ම සියලු බලැති දෙවියන්ට මම ස්තුතිවන්ත වෙනවා.”

අසාධාරණ තීන්දුවක්

මේ කාලය අතරතුර තාරකා විද්‍යාඥයන්ද මුහුදු ගමන්වලදී නැව තිබෙන ස්ථානය නිශ්චය කරගැනීම සඳහා ක්‍රමයක් සොයාගැනීමේ ආසන්නයට පැමිණ තිබුණා. ඊට අමතරව එම ත්‍යාගය සඳහා කලින් තරඟ කළ තාරකා විද්‍යාඥයෙක් වන නෙවිල් මැස්කෙලින්ද ඉහත කී කමිටුවේ කටයුතු කළ අතර හැරිසන්ට එම ත්‍යාගය ලබා නොදීමට සෙසු කමිටු සාමාජිකයන්ට බලපෑම් කළා. පසුව හැරිසන්ගේ ඔරලෝසුව දින 81ක මුහුදු ගමනක් සඳහා භාවිත කරමින් එහි නිවැරදිභාවය පරීක්ෂා කළා. එහි ප්‍රතිඵලය කුමක්ද? ඒ මුළු කාලය තුළදී ඔහුගේ ඔරලෝසුවේ අඩු වී තිබුණේ තත්පර පහක් පමණයි. ඒ වුණත් හැරිසන් විසින් යම් නීති උල්ලංගනය කර ඇති බවත් ඔහුගේ ඔරලෝසුව නිවැරදිව ක්‍රියා කළේ වාසනාවට කියාත් පවසමින් විනිසුරු මඩුල්ල විසින් ඔහුට හිමි විය යුතු ත්‍යාගය ලබා දීම ප්‍රමාද කළා. ඒ නිසා ත්‍යාග මුදලින් ඔහුට හිමි වූයේ අඩක් පමණයි. මේ අතර මැස්කෙලින්ද 1766දී නැවියන්ට පැය භාගයක් තුළ තමන් සිටින ස්ථානය නිශ්චය කරගත හැකි සඳේ පිහිටීම ඇතුළත් යම් වගුවක් නිර්මාණය කළා. ඒ හේතුව නිසා මැස්කෙලින්ට ත්‍යාගය හිමි වෙයි කියා හැරිසන් බියෙන් පසු වුණා.

බ්‍රිතාන්‍ය ජාතික දේශ ගවේෂකයෙක් වූ ජේම්ස් කුක් නමැති කපිතාන්වරයා මේ සිද්ධියට මැදි වන්නේ 1772 පමණ කාලයේදීයි. ඔහු තම දෙවන ඓතිහාසික මුහුදු ගමනේදී හැරිසන්ගේ ඔරලෝසුවේ අනුකරණයක් භාවිත කළ අතර එය අන් සියල්ලට වඩා හොඳින් වේලාව දැක්වූ බව පසුව ඔහු පැවසුවා. මේ අතර 79වන වියේ පසු වූ හැරිසන් විනිසුරු මඩුල්ල දුන් තීරණය ගැන කලකිරීමට පත් වී ඒ ගැන එංගලන්තයේ රජුට අභියාචනා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුව ජයග්‍රාහකයා ලෙස ප්‍රසිද්ධ නොකළත් 1773දී ත්‍යාග මුදලේ ඉතුරු කොටස ඔහුට පිරිනැමුවා. ඊට වසර තුනකට පසු එනම් ඔහුගේ 83වන උපන් දින දවසේදී ඔහු තම දිවිය අවසන් කළා.

ඊට අවුරුදු කිහිපයකට පසුව නිවැරදිව වේලාව දක්වන ඔරලෝසු පවුම් 65කට මිල දී ගත හැකි වුණා. වරක් ඉටු කරගත නොහැකි සේ පෙනුණ යමක් යථාර්ථයක් බවට පත් කරගැනීමට හැකි වූයේ ගමක ජීවත් වූ වඩුවෙකුගේ දැඩි කැප වීම හා දස්කම් නිසයි.

[පාදසටහන]

^ 13 ඡේ. හැරිසන් තමාගේ බාල සහෝදරයාගේද සහය ඇතිව තමා නිපදවූ ඔරලෝසුව කොතරම් නිවැරදිව ක්‍රියා කරනවාද කියා පරීක්ෂා කළා. ඔහු එසේ කළේ නිශ්චිත තාරකා තම අසල්වැසි නිවසේ දුම් කුලුනට මුවා වන මොහොත තම ඔරලෝසුවේ වේලාව සමඟ දිනපතා සන්සන්දනය කිරීමෙනුයි.

[21වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

වේලාව භාවිත කරමින් ස්ථානය නිශ්චය කරගැනීම

පෙරවරු 6:00 දහවල් 12

උතුරු ඇමරිකාව බ්‍රිතාන්‍ය

[22වන පිටුවේ පින්තූරය]

ඔරලෝසු නිෂ්පාදක ජෝන් හැරිසන්

[හිමිකම් විස්තර]

SSPL/Getty Images

[22වන පිටුවේ පින්තූරය]

හැරිසන් නිර්මාණය කළ, කිලෝග්‍රෑම් 34ක් බර ඔරලෝසුව

[හිමිකම් විස්තර]

National Maritime Museum, Greenwich, London, Ministry of Defence Art Collection

[22වන පිටුවේ පින්තූරය]

හැරිසන් හතරවන වරට නිර්මාණය කළ කිලෝග්‍රෑමයක් බර ඔරලෝසුව

[හිමිකම් විස්තර]

SSPL/Getty Images

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Ship in distress: © Tate, London/Art Resource, NY; compass: © 1996 Visual Language