Skip to content

පටුනට යන්න

‘හෙට දවස ගැන කනස්සලු නොවන්න’

‘හෙට දවස ගැන කනස්සලු නොවන්න’

‘හෙට දවස ගැන කනස්සලු නොවන්න’

අවුරුදු තුනක් පුරා මැතිව්ට ස්ථිර රැකියාවක් සොයාගැනීමට නොහැකි වීම, මිෂෙල්ට තවදුරටත් දරාගැනීමට හැකි වුණේ නැහැ. “ඉස්සරහට මොනවා කරන්නද කියලා දන්නේ නැතුව මට දැනුණ ඒ පීඩනය වචනවලින් විස්තර කරන්න අමාරුයි” කියා ඇය පැවසුවා. තමන්ට අත්‍යවශ්‍ය දේවල් කෙසේ හෝ ලැබෙන බව පවසමින් මැතිව් ඇයව සනසන්න උත්සාහ කළත් ඇය මෙසේ පැවසුවා. “ඔයාට තාම හරි හමන් රස්සාවක් නැතුව අපි ජීවත් වෙන්නේ කොහොමද?”

රැකියාව අහිමි වන ඕනෑම කෙනෙකුට මෙසේ සිතෙන්න ඉඩ තිබෙනවා.‘රස්සාවක් නැතුව මම තව කොච්චර කල් මෙහෙම ඉන්නද,’ ‘ඒ වෙන කල් කන්නේ බොන්නේ කොහොමද?’

එවැනි කනස්සල්ලක් ඇති වීම සාමාන්‍යයි. ඒ බව තේරුම්ගත් යේසුස්ද එය අඩු කරගැනීම සඳහා මෙවැනි උපදෙසක් දුන්නා. ‘හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න.’—මතෙව් 6:34.

අනවශ්‍ය ලෙස බිය නොවන්න

යේසුස් ඉන් අදහස් කළේ කිසි ප්‍රශ්නයක් නොවුණු ගාණට ඉන්න කියා නොවෙයි. කෙසේනමුත් හෙට දිනයේ කුමක් සිදු වෙයිද කියා කනස්සලු වීමෙන් සිදු වන්නේ අද දවසේ තිබෙන කනස්සල්ල තවත් වැඩි වීම පමණයි. හෙට දිනයේ සිදු වන දේවල් පාලනය කිරීමට අපිට හැකියාවක් නැති වුණත් අද දවසේ තිබෙන ගැටලු නිරාකරණය කිරීමට අපට හැකියාවක් තිබෙනවා.

යමක් කිරීමට වඩා කීම පහසු බව ඇත්තයි. අවුරුදු 12ක් පුරා රැකියාව අහිමිව සිටි කෙනෙකුගේ භාර්යාවක් වන රෙබේකා මෙසේ පවසනවා. “මනස හොඳටම අවුල් වෙලා තියෙන වෙලාවක පැහැදිලිව හිතන්න අමාරුයි. ඒත් අපිට එහෙම කරන්න වුණා. ඒ වගේ වෙලාවට මම මාවම පාලනය කරගන්නවා. ඉස්සරහට වෙයි කියලා මම කනස්සල්ලෙන් ඉන්න ගොඩක් දේවල් ඇත්තටම වෙන දේවල් නෙවෙයි. ඒ නිසා ඒ ගැන කනස්සලු වෙන එකෙන් කිසිම පලක් නැහැ.”

මෙසේ සිතන්න: ‘මට අනාගතය ගැන වැඩියෙන්ම භය හිතෙන්නේ මොනවා ගැනද? ඇත්තටම එහෙම වෙයිද? අවිනිශ්චිත දේවල් ගැන සිතා ළත වීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?’

සෑහීමට පත් වීමට ඉගෙනගන්න

අපගේ ආකල්ප අප සිතන ආකාරයට විශාල බලපෑමක් කරනවා. එමනිසා බයිබලයේ අපට උනන්දු කරන්නේ මෙවැනි ආකල්පයක් වර්ධනය කරගන්න කියායි. “කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.” (1 තිමෝති 6:8) සෑහීමට පත් වෙනවා කීමෙන් අදහස් කරන්නේ අපට අත්‍යවශ්‍ය නොවන දේවල් සීමා කර එදිනෙදාට අවශ්‍ය දේවල් ලැබුණු විට ඒ ගැන සතුටු වීමයි. අනික් අතට තව තවත් දේවල් ලබාගැනීමට යෑමෙන් සිදු වන්නේ වියදම් අඩු කරගෙන සරල වීමට දරන උත්සාහය අසාර්ථක වීමයි.—මාක් 4:19.

ඒ අනුව මිෂෙල්ද ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගත්තා. ඇය ඒ ගැන මෙසේ සිහිපත් කරනවා. “ඉස්සර අපිට කිසිම දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. කවදාවත් ගෙයක් නැතුව ඉඳලත් නැහැ. ඒත් මගේ මහත්තයාගේ රස්සාව නැති වුණාට පස්සේ මට තිබුණ ලොකුම ප්‍රශ්නේ වුණේ අතේ තියෙන මුදලින් ජීවත් වෙන්න පුරුදු වෙන එකයි. අපේ අතේ සල්ලි නැති වුණත් මම ජීවත් වෙන්න උත්සාහ කළේ පරණ විදිහටමයි. ඒ නිසා මගේ කනස්සල්ල තවත් වැඩි වුණා.”

ඇය පත් වී සිටින තත්වයට මූලික හේතුව ඇය සිතන ආකාරය බව ඇය විගස වටහාගත්තා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “අපි කලින් ජීවත් වුණ විදිහ ගැන කල්පනා කරන එක නතර කරලා අපි දැන් ඉන්න තත්වයට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. ඒ විදිහට හැම දවසකම යෙහෝවා දෙවි සපයන දේවලින් සෑහීමට පත් වෙන්න මම ඉගෙනගත්තා. ඒකෙන් මගේ ප්‍රීතිය ගොඩක් වැඩි වුණා.”

මෙසේ සිතන්න: ‘අදට අවශ්‍ය දේවල් මට ලැබිලා තියෙනවාද? එහෙමනම් අද වගේම හෙටත් අවශ්‍ය දේවල් මට ලැබෙයි කියලා විශ්වාස කරන්න බැරිද?’

අතේ ඇති සුළු මුදලින් ජීවත් වීමේ අභියෝගයට මුහුණ දීම සඳහා පළමු පියවර වන්නේ නිසි ආකල්පයක් ඇතුව සිටීමයි. * නමුත් එම අභියෝගයට මුහුණ දීමේදී කළ හැකි සමහර දේවල් මොනවාද?

[පාදසටහන]

^ 14 ඡේ. රැකියාවක් සොයාගැනීම පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා 2005 ජූලි 8 පිබිදෙව්! කලාපයේ 3-11 දක්වා පිටු බලන්න.

[5වන පිටුවේ කොටුව]

උත්සාහයේ තරමට ප්‍රතිඵල

සති ගාණක් පුරා රැකියාවක් සොයා යෑමෙන් පසු කෙවින් හොඳටම හෙම්බත් වුණා. ඔහුට හැඟුණේ තමන්ට නම් නැවත කවදාවත් රැකියාවක් ලැබෙන එකක් නැහැ කියායි. නමුත් පසුව ඔහු තමන්ට කළ හැකි දේ උපරිමයෙන් කළා. එනම් තමාට රැකියාවක් ලැබෙයි කියා සිතූ සෑම සමාගමකට ඔහු ඉල්ලුම්පත් යැව්වා. ඊට ලැබුණ ප්‍රතිචාර අනුව සම්මුඛ සාකච්ඡාවන්ට සහභාගි වීම සඳහා ඔහු හොඳින් සූදානම් වුණේ “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි” යන විශ්වාසය ඇතුවයි. (හිතෝපදේශ 21:5) ඔහුට ප්‍රමාණවත් සුදුසුකම් තිබුණත් එක් අවස්ථාවකදී සම්මුඛ සාකච්ඡා වට දෙකකට සහභාගි වෙන්නත් සිදු වුණා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “එදා මගෙන් ප්‍රශ්න දාහක් විතර ඇහුවා. කොහොමවුණත් අන්තිමට මට රස්සාවක් ලැබුණා.”

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වැටුපට වඩා වටිනා දෙයක්

වඩා වටින්නේ ඔබේ හොඳ ගතිගුණද නැත්නම් ඔබේ වැටුපද? ඒ සම්බන්ධයෙන් ශුද්ධ බයිබලයේ සඳහන් මෙම කදිම අදහස් සලකා බලන්න.

“වැඩි වත්කමක් නොතිබුණත් දෙවිට විශ්වාසවන්ත ජීවිතයක් ගත කරන මිනිසා වංචනික ජීවිතයක් ගත කරන පොහොසතෙකුට වඩා හොඳය.”—හිතෝපදේශ 28:6.

“වෛරයෙන් යුතුව ගව මස් කනවාට වඩා ප්‍රේමය ඇතුව එළවළු ටිකක් කෑම හොඳය.”—හිතෝපදේශ 15:17.

මිෂෙල්ගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව අහිමි වූ විට ඇය තම දරුවන්ට මෙවැනි දෙයක් පැවසුවා. “සමහර තාත්තලා ළමයින්ව දාලා යනවා. ඒ වුණත් බලන්න ඔයාලගේ තාත්තා කොච්චර ප්‍රශ්න ආවත් එයා තාමත් අපිත් එක්ක ඉන්නවා. එයා ඔයාලට කොච්චර ආදරේද කියලා ඔයාලට තේරෙනවා නේද? එයා කොච්චර හොඳ කෙනෙක්ද!” ඉන් පෙනෙන්නේ කෙනෙකුට තම රැකියාව අහිමි වූ පමණින් ඔහුගේ හොඳ ගතිගුණ ඔහුට අහිමි නොවන බවයි.