නත්තලට මෙතරම් ප්‍රසිද්ධියක් ඇයි?
නත්තලට මෙතරම් ප්‍රසිද්ධියක් ඇයි?
ලෝකයේ බොහෝ අය නත්තල සමරනවා. සමහරවිට ඔබේ ප්‍රදේශයේ අයත් එසේ කරනවා ඇති. කෙසේවෙතත් නත්තල් සමයේදී බොහෝ අය මෙවැනි ප්‍රශ්න ගැන කල්පනා කරනවා. ‘මම තෑගි ගන්නේ කාටද? ගන්නේ මොනවාද? කොච්චර මුදලක් ඕනේ වෙයිද? මට ණයක් ගන්න වෙයිද?’
ක්‍රිස්තියානි නොවන රටවල අය අතර පවා අද නත්තල ඉතා ජනප්‍රියයි. උදාහරණයකට ජපානයේ බොහෝ අය නත්තල සමරනවා. ඔවුන් එය සලකන්නේ ආගමික උත්සවයක් ලෙස නොව නමුත් ඔවුන්ට විනෝද වීමට ඇති අවස්ථාවක් ලෙසයි. ඒ වගේම චීනයේ “නත්තල් සීයාගේ පින්තූර බොහෝ කඩ සාප්පුවල දකින්න තිබෙන අතර එහි සිටින සාමාන්‍ය ජනයා අතරින් බහුතරයක් නත්තල් උත්සවය සලකන්නේ කාලා බීලා විනෝද වෙන්න තිබෙන අවස්ථාවක් ලෙසයි” කියා එක් සඟරාවක සඳහන් වුණා.—The Wall Street Journal.
ඒ වගේම බොහෝ ව්‍යාපාරිකයන් මුදල් ඉපයීමට නත්තල් සමය කදිම අවස්ථාවක් කරගෙන තිබෙනවා. උදාහරණයකට චීනයේ ව්‍යාපාරිකයන් “නත්තල් සැරසිලි විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කර ලොව පුරා බෙදාහරිනවා” කියා ඉහත සඳහන් සඟරාවේ වාර්තා වුණා.
සමහර මුස්ලිම් රටවලත් නත්තල හා බැඳි චාරිත්‍ර ඇති උත්සව පවත්වනවා. නිදසුනකට තුර්කියේ සහ ලෙබනන්වල කඩ සාප්පුවල නත්තල් සැරසිලි දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම ඉන්දුනීසියාවේ වෙළෙඳ සංකීර්ණවලින් හා සුපිරි අවන්හල්වලින් නත්තල් සමයේදී දරුවන්ට නත්තල් සීයා සමඟ ඡායාරූපයක් ගැනීමට හෝ ඔහු සමඟ ආහාරයක් ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
බටහිර රටවලද අද නත්තල් සමය ව්‍යාපාරිකයන්ට ලාභ ලැබීමේ අවස්ථාවක් වී තිබෙන අතර වෙළෙඳ දැන්වීම්වල ප්‍රධාන ඉලක්කය වන්නේ දරුවනුයි කියා එක් පුවත්පතක සඳහන් වුණා. (Royal Bank Letter) ඊට අමතරව නත්තලට සුළු පිරිසක් පල්ලි ගියත් වැඩිදෙනා කරන්නේ සාප්පු සවාරි යෑමයි. ඇත්තටම මෙතරම් වෙනසක් සිදු වී තිබෙන්නේ ඇයි? නත්තල ආරම්භ වුණේ කෙසේද?
බොහෝ අය පවසන්නේ නත්තල හා බැඳි චාරිත්‍රවලට බයිබල් පදනමක් තිබෙන බවයි. ඇත්තටම එය එසේද? දැන් අපි ඒ ගැන සලකා බලමු.
[4වන පිටුවේ කොටුව⁄පින්තූරය]
බයිබලයේ සඳහන් වන දේ
මතෙව් පොතේ වාර්තාව: ‘යේසුස් උපන්නේ හෙරොද් රජුගේ කාලයේදී යුදයට අයත්ව තිබූ බෙත්ලෙහෙම් නම් නුවරෙයි. දිනක් නැඟෙනහිර දෙසින් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ යෙරුසලමට පැමිණ, ඉදිරියේදී යුදෙව්වරුන්ව පාලනය කරන රජෙක් දැන් ඉපදිලා ඉන්නවා. ඔහු ඉන්නේ කොහේද? අපි නැඟෙනහිර දේශවල සිටිද්දී ඔහු වෙනුවෙන් පායා තිබුණු තාරකාවක් දැක්කා. අපි මෙතනට ආවේ ඔහුට ගරුබුහුමන් දක්වන්නයි කියා පැවසුවා. එය ඇසූ හෙරොද් රජ බොහෝ සෙයින් කැලඹී නායක පූජකයන්ව කැඳවා ක්‍රිස්තුස් ඉපදෙන්නේ කොහේද කියා ඔවුන්ගෙන් විමසුවා. ඉන්පසු ක්‍රිස්තුස් ඉපදෙන්නේ බෙත්ලෙහෙම් නගරයේ බව රජ දැනගත් විට, ඔබ ගොස් ඒ දරුවා ගැන හොඳින් සොයා බලා මට දන්වන්න කියා ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට පැවසුවා.’
‘ඔවුන් රජුට කීකරු වෙමින් පිටත්ව ගියා. ඔවුන් නැඟෙනහිර දේශවල සිටියදී දුටු ඒ තාරකාව ඔවුන්ට ඉදිරියෙන් ගොස් කුඩා දරුවා සිටි ස්ථානයට ඉහළින් නැවතුණා. පසුව දරුවා සිටි නිවසට ඇතුල් වූ ඔවුන් කුඩා දරුවා සිය මව වූ මරියා සමඟ සිටිනවා දුටුවා. තමන් ගෙනා තෑගි දරුවාට දුන් ඔවුන් ආපසු හෙරොද් වෙතට නොගොස් වෙනත් මඟකින් තම රට බලා ගියා. එසේ කළේ එහි නොයන්න කියා දෙවි ඔවුන්ට සිහිනයකින් අනතුරු ඇඟ වූ නිසයි.’
“ඔවුන් එතැනින් පිටත්ව ගිය සැණින් යෙහෝවා දෙවිගේ දූතයා සිහිනයකින් යෝසෙප්ට පෙනී, ‘නැඟිටින්න, කුඩා දරුවාද ඔහුගේ මවද රැගෙන ඊජිප්තුවට පලා යන්න’” කියා පැවසුවා. ‘ඔහු කුඩා දරුවාද දරුවාගේ මවද රැගෙන රාත්‍රියේදීම ඊජිප්තුවට ගියා. කෙසේවෙතත් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් තමාව රැවටූ බව තේරුම්ගත් හෙරොද් රජ බොහෝ සෙයින් කෝප වුණා. ඉන්පසු ඔහු බෙත්ලෙහෙමට සහ ඒ අවට සියලු ප්‍රදේශවලට මිනිසුන්ව යවා, ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගෙන් නිවැරදිව දැනගෙන තිබූ කාලයට අනුව අවුරුදු දෙකක් හෝ ඊට වඩා බාල සියලුම පිරිමි දරුවන්ව මරා දමන්න කියා අණ කළා.’—මතෙව් 2:1-16.
ලූක් පොතේ වාර්තාව: ‘යෝසෙප් ගලීලයේ පිහිටි නාසරෙත් නුවරින් පිටත් වී යුදයේ පිහිටි දාවිත්ගේ නුවරට ගියේය. එම නුවර හඳුන්වන්නේ බෙත්ලෙහෙම ලෙසයි. මරියා සමඟ ඔහු එහි ගියේ ලියාපදිංචි වීම සඳහායි. ඔවුන් එහි සිටියදී මරියා තම කුලුඳුල් පුත්‍රයාව බිහි කළා. ඇය දරුවාව රෙදි පටිවලින් ඔතා ගවමඩුවක තිබූ ගවඔරුවක තැබුවා. එසේ කළේ නවාතැන්වල කිසිම ඉඩක් නොතිබුණු නිසයි.’
‘මේ අතර එම ප්‍රදේශයේම එඬේරු රාත්‍රියේ එළිමහනේ තම බැටළු රැළවල් රැකබලා ගනිමින් සිටියා. යෙහෝවා දෙවිගේ දූතයෙක් එකවරම ඔවුන් ළඟ සිටගත් නිසා ඔවුන් තුළ මහත් බියක් ඇති විය. නමුත් ඒ දේවදූතයා ඔවුන්ට මෙසේ පැවසුවා. බිය නොවන්න. මම ආවේ ඔබට ශුභාරංචියක් කියන්නයි. ඒ ශුභාරංචිය සියලු ජාතීන්ට මහත් ප්‍රීතියක් ගෙන දෙයි. මන්ද අද දාවිත්ගේ නුවරෙහි ඔබට ගැලවුම්කරුවෙක් ඉපදී සිටිනවා. ස්වාමීන් වන ක්‍රිස්තුස් කියන්නේ ඔහුටයි. ඉන්පසු ඔවුන් විගස මරියාවත් යෝසෙප්වත් ගවඔරුවේ නිදා සිටි ළදරුවාවත් බලන්න ගියා.’—ලූක් 2:4-16.