Skip to content

පටුනට යන්න

ආගම වග කිව යුතුද?

ආගම වග කිව යුතුද?

ආගම වග කිව යුතුද?

දහඅට වන සියවසේ සිටි පූජකයෙක් මෙන්ම කර්තෘවරයෙකු වන ජොනතන් ස්විෆ්ට් මෙසේ පැවසුවා. “වෛරයට දිරිගන්වන ආගම් ඕනේ තරම් තියෙනවා. ඒත් අනික් අයට ප්‍රේම කරන්න දිරිගන්වන ආගම් නැති තරම්.” ඔහුගේ මෙම අදහසට බොහෝදෙනෙක් එකඟ වුණත් ඊට එකඟ නොවන අයද සිටිනවා.

ඇත්තටම ‘ආගම විසින් වැඩි බලපෑමක් කර තිබෙන්නේ සාමයටද නැත්නම් යුද්ධයටද?’ එම ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම සඳහා, BBC ආයතනය එක් විශ්වවිද්‍යාලයක සිටි පර්යේෂණ කණ්ඩායමක් පත් කළා. ඔවුන් වාර්තා කළේ කුමක්ද?

“විවිධ විද්වතුන් සොයාගෙන තිබෙන තොරතුරුවලට අනුව පසුගිය වසර 100 ඇතුළත ආගම් නිසා ඇති වී තිබෙන යුද්ධ ප්‍රමාණය ඉතා අඩුයි. බොහෝ වෙලාවට ආගමික ගැටුම් හෝ ආගමික මතභේද නිසා ඇති වූ බවට වාර්තා වන යුද්ධ ඇත්තටම ඇති වී තිබෙන්නේ ආගම නිසා නොවෙයි. ඒවා ඇති වී තිබෙන්නේ ජාතිවාදය හෝ දේශ සීමාවන් නිසා මතු වූ ගැටලු නිසයි.”

නමුත් තවත් බොහෝ අය ඊට එකඟ වන්නේ නැහැ. ඔවුන් පවසන්නේ විවිධ ආගමික නායකයන් කියන, කරන දේවලින් යුද්ධ හා වෙනත් ගැටුම්වලට ඔවුන් පූර්ණ සහය දෙන බවයි. ඒ ගැන විවිධ පොත් පත්වල පළ වූ අදහස් කිහිපයක් දැන් අපි සලකා බලමු.

● “ලොව පුරා ඇති වන ගැටුම්වලට ආගම සම්බන්ධයි. මෑත කාලවලදී එක්සත් ජනපදයේ සිටින ක්‍රිස්තියානීන් අතරත් ආගමික ගැටුම් ඇති වී තිබෙනවා. මැදපෙරදිග රටවල යුදෙව්වන් හා මුස්ලිම් අය අතර වගේම දකුණු ආසියාවේ හින්දු සහ මුස්ලිම් අය අතරත් යුදමය තත්වයක් පවතිනවා. අප්‍රිකාවේ හා ඉන්දුනීසියාවේ විවිධ ගෝත්‍රිකයන් ආගම මුල් කරගෙන එකිනෙකාට විරුද්ධව සටන් කරනවා. මේ සෑම කෙනෙක්ම එසේ යුද්ධ කරන්නේ තම ආගම්වලින් සහයෝගය ලැබෙන බව දන්නා නිසයි.”—Terror in the Mind of God—The Global Rise of Religious Violence.

● “අපරාධ වැඩියෙන්ම සිදු වන්නේ ආගමට ළැදියි කියා පවසන රටවලයි. ඒක හරිම පුදුමයි. රටක් තුළ සිදු වන අපරාධ නැති කිරීමට ආගමට බැරි වී තිබෙනවා. ඒ නිසා සතුටින් සමාදානයෙන් සුරක්ෂිතව ජීවත් වෙන්න තැනක් සොයනවා නම් යන්න ඕනේ ආගමක් නැති තැනකටයි.”—Holy Hatred.

● “බැප්ටිස්ට් සභාව ප්‍රසිද්ධ වී තිබෙන්නේ යුද්ධ කිරීමට මිස සාමය ඇති කිරීමට නොවෙයි. දහනව වන සියවසේදී ඇමරිකාවේ ඇති වූ සිවිල් ගැටුම්වලදී උතුරේ සිටි බැප්ටිස්ට් අය දකුණේ සිටි බැප්ටිස්ට් අයට විරුද්ධව සටන් කළා. ඔවුන් දෙපිරිසම විශ්වාස කළේ දෙවි ඔවුන්ට ජයග්‍රහණය ලබා දෙයි කියලයි. පසු කාලවලදී ඇමරිකාව එංගලන්තයටත් (1812), මෙක්සිකෝවටත් (1845), ස්පාඤ්ඤයටත් (1898), විරුද්ධව යුද්ධ කරන විට ඔවුන් පූර්ණ සහයෝගය ලබා දුන්නා. නමුත් ඔවුන් පැවසුවේ එසේ යුද්ධ කරන්නේ එම රටවල සිටින අයට ආගමික නිදහස ලබා දීම සඳහා කියායි. මේ සියල්ලෙන්ම එක දෙයක් පැහැදිලි වෙනවා. එනම් බැප්ටිස්ට් සභාවේ බැතිමතුන් යුද්ධ ඇති නොකළත් යුද්ධයක් ඇති වූ විට ඒ වෙනුවෙන් සම්පූර්ණ සහයෝගය දී තිබෙනවා.”—Review and Expositor—A Baptist Theological Journal.

● “ලෝකයේ සෑම රටකම වගේ විවිධ සංස්කෘතීන් අතරත් විවිධ කාලවකවානුවලදීත් බොහෝ යුද්ධවලට දිරි දී තිබෙන්නේ ආගමයි කියා ඉතිහාසඥයන් පවසනවා. ඕනෑම යුද්ධයකදී දෙපැත්තේම සිටි සොල්දාදුවන් යුධ පිටියට පැමිණියේ ‘දෙවියන්ගේ නාමයෙන් ජය ලැබේවා’ කියා මොරගසමිනුයි.”—The Age of Wars of Religion, 1000-1650—An Encyclopedia of Global Warfare and Civilization.

● “ආගමික නායකයන් බැතිමතුන්ට නිසි මඟ පෙන්වීම් දී නැති බවත් ආගමික ප්‍රතිපත්ති උගන්වන්න අසමත් වී ඇති බවත් ආගමික නායකයන් පිළිගත යුතුයි. සෑම ආගමක්ම සාමය ගැන කතා කළත් කනගාටුවට කරුණක් වන්නේ ඒ වෙනුවෙන් කිසිවක් නොකිරීමයි.”—Violence in God’s Name—Religion in an Age of Conflict.

ඉතිහාසයේ සිටම ක්‍රිස්තියානීන්යැයි කියාගන්නා ආගම්වල සිටින පූජකයන් යුද්ධවලදී සෙබළුන්ට ආශීර්වාද කරනවා. ඊට අමතරව යුද්ධය නිසා තුවාල වූ හෝ මිය ගිය අය වෙනුවෙන්ද යාච්ඤා කරනවා. ඔවුන් එසේ කිරීමෙන් පැහැදිලි වන්නේ, සිදු වන ලේ වැගිරීමට තමන්ගේ කිසි විරුද්ධත්වයක් නැති බව සහ යුද්ධයට තම ආශීර්වාදය ලබා දෙන බවයි.

කොහොමවුණත් සිදු වී තිබෙන සෑම යුද්ධයකටම වග කිව යුත්තේ ආගම නොවෙයි කියා සමහර අය තර්ක කරනවා. නමුත් ප්‍රශ්නය වන්නේ ‘මිනිසාව එකමුතු කිරීමටත් සාමය ඇති කිරීමටත් ආගම්වලට හැකි වී තිබෙනවාද’ යන්නයි.

[5වන පිටුවේ කොටුව]

“මැඩිසන් වීථියේ බැප්ටිස්ට් පල්ලියේ පූජකයා වන චාල්ස් ඒ. ඊටන් පසුගිය දින පැවසුවේ, හමුදා සේවයට බඳවාගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ඔහුගේ නිල නිවාසය භාවිත කළ හැකි බවයි.

“ඔහු සති පතා ඉරිදා දේවමෙහෙයේදී සියලුදෙනාටම දිරිගැන්වූයේ තම රට ජාතිය වෙනුවෙන් හැකි ඉක්මනින් හමුදාවට බැඳෙන්න කියායි. එම නගරයේ ඔහු මෙන් කටයුතු කළ තවත් පූජකයන් සිටියා. එමෙන්ම බොහෝ පල්ලිද ජාතික කොඩිවලින් සරසා තිබුණා.”—“The New York Times,” 1917 අප්‍රියෙල් 16.