Skip to content

පටුනට යන්න

3—ව්‍යායාම

3—ව්‍යායාම

“ව්‍යායාමත් ඖෂධයක් වගේ ඔසුහල්වලින් ගන්න තිබුණා නම් ලෝකයේ වැඩියෙන්ම අළෙවි වන්නේ එයයි.” (එමරි වෛද්‍ය විද්‍යාලය) නිරෝගී දිවියකට අවශ්‍ය හොඳම ප්‍රතිකාර අතරින් එකක් ලෙස ‘ව්‍යායාම’ හඳුන්වන්න පුළුවන්.

ශාරීරික ක්‍රියාකාරකම්. පෝෂ්‍යදායි ආහාර වගේම ව්‍යායාම්ද අත්‍යවශ්‍යයි. ව්‍යායාම් කිරීමෙන් ඔබට වැඩි ශක්තියක් ලබාගැනීමටත් සිතීමේ හැකියාව දියුණු කරගැනීමටත් කාර්යක්ෂමව වැඩ කිරීමටත් හැකි වෙනවා. ඊට අමතරව සතුටින් සිටීමට හා බර අඩු කරගැනීමටත් හැකියි. නමුත් හොඳ ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍ය වන්නේ පිළිවෙළකට ව්‍යායාම් කිරීම මිස ඒ සම්බන්ධයෙන් අන්තයකට යෑම නොවෙයි. කෙසේවෙතත් සතියකට වරක් ව්‍යායාම් කිරීම ප්‍රමාණවත් නොවන බව මතක තබාගන්න.

ඇවිදීම, බයිසිකල් පැදීම, ක්‍රීඩා කිරීම වැනි දේවල් කිරීමෙන් ඔබේ ශරීරයට ව්‍යායාම් ලැබෙනවා. ඉන් සිදු වන්නේ කාය ශක්තිය වර්ධනය වීමයි. ඒ වගේම අස්ථි සහ පේශි ශක්තිමත් කරගැනීමටත් අංශභාගයෙන් සහ හෘදයාබාධවලින් ආරක්ෂා වීමටත් එය මහඟු උපකාරයක්. ව්‍යායාම් කිරීමෙන් ශරීරයේ තිබෙන මේදය දහනය වන නිසා එමගින් ඔබේ බර පාලනය කරගැනීමටත් හැකි වෙයි.

ව්‍යායාම් කිරීම ප්‍රීතිමත් අද්දැකීමක් කරගන්න

ඇවිදීම. ඇවිදීම ඔබට කළ හැකි පහසුම හා ලාභදායීම ව්‍යායාමයයි. බාල මහලු ඕනෑම කෙනෙකුට එය කළ හැකියි. කෙටි ගමන් සඳහා බස් එකක හෝ පෞද්ගලික වාහනයක යනවා වෙනුවට පයින් යන්න පුළුවන්ද කියා බලන්න. අනික් අතට ඔබට කුඩා දරුවන් සිටිනවා නම් ඔවුන්ට දුව පැන සෙල්ලම් කිරීමට කාලයක් දෙන්න. එය ඔවුන්ගේ හැදෙන වැඩෙන පුංචි ශරීරවලට හොඳ ව්‍යායාමයක් වන අතර ඔවුන්ගේ මොළය වර්ධනය වීමටත් දායක වෙනවා.

ඔබ වයසක කෙනෙක් වුණත් ඔබටත් ව්‍යායාම අත්‍යවශ්‍යයි. කාය ශක්තිය රැකගන්නත් අස්ථි දිරා යෑම අවම කරගන්නත් සමබරතාව රැකගන්නත් එය ඔබට උපකාර කරයි. නමුත් ව්‍යායාම් කිරීම ඇරඹීමට පෙර ඔබේ වෛද්‍යවරයාව හමු වන්න. එවිට ඔබේ වයසට හා සෞඛ්‍ය තත්වයට ගැළපෙන ව්‍යායාම මොනවාද කියා ඔහු ඔබට පවසයි.

මුල් ලිපියේ සඳහන් කළ රුස්ටම්ව ඔබට මතක ඇති. වසර හතකට පෙර ඔහු සහ ඔහුගේ බිරිඳ ව්‍යායාමයක් ලෙස ඇවිදීමට පටන්ගත්තා. දැන් ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “මුලින් නම් ටිකක් කම්මැළියි තමයි. ඒත් තව කවුරු හරි එකතු වුණාම නම් කම්මැළි නැහැ. දැන් අපි ඇවිදින්න යන්නේ හරිම ආසාවෙන්.”