Skip to content

පටුනට යන්න

දිව පිනවන පැණි ගබඩාවක්

දිව පිනවන පැණි ගබඩාවක්

දිව පිනවන පැණි ගබඩාවක්

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන යෙමීනියා, ආදිවාසී කාන්තාවක්. ඔවුන්ගේ දිව පිනවන ආහාරයක් අපි සමඟ බෙදාගන්න ඇය සතුටු වුණා. ඒ නිසා ඇය අපිව මධ්‍යම ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරයට එක්කගෙන ගියා. පසුව ඇය ඇකේෂියා ගහක් යට මොනවද හොයනවා දැක්කා. ඊටපස්සේ යෙමීනියාට කුහුඹුවෙක් හම්බවුණා. ඒ වෙලාවේ ඇය කිව්වා ‘අපේ දිව පිනවන පැණි අපිට ලබා දෙන්නේ මේගොල්ලන්’ කියලා.

පැණි තිබෙන කූඹින්ව සොයාගැනීමට යෙමීනියාට හොඳ පළපුරුද්දක් තියෙනවා. ඇය මෙසේ පැවසුවා. “මුලින්ම අපි පැණි ගෙනියන කූඹින්ව හඳුනාගන්න ඕනේ.” ඊටපස්සේ ඇය පැණි ගෙනියන කූඹියා යන වේගයෙන්ම වැලි පොළොවත් හාරන්න පටන්ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් ඇය අඩි තුනකටත් වඩා හෑරුවා. ඉන්පසුව ඇය අපට පැවසුවේ මෙයයි. “සාමාන්‍යයෙන් අපි මේ වගේ කූඹි ගුල් හොයන්න පොළොව හාරන්නේ සීතල කාලයේදී. අනික් කාලවලදී හුඟක් රස්නේ නිසා අව්වේ ඉඳන් හාරන්න අමාරුයි.”

යෙමීනියා ඉක්මනින්ම පැණි තියෙන කූඹි 20ක් විතර හොයාගත්තා. මේ කූඹින්ගේ බඩේ පැණි පිරිලා තියෙන නිසා උන් පුංචි මිදි ගෙඩි වගෙයි. උන්ට එහේ මෙහේ ඇවිදින්න බැරි නිසා උන් එක තැනකට වෙලා එල්ලිලා ඉන්නවා. විනාඩි කිහිපයක් ඇතුළතදී යෙමීනියා ඒ වගේ කූඹි 100කටත් වඩා එකතු කරගත්තා. “කාන්තාරේ ජීවත් වන අපිට තියෙන පැණි රසම ආහාරය මේකයි” කියා යෙමීනියා පැවසුවා.

ගබඩාවට පැණි ලැබෙන ආකාරය

දැනට කූඹි වර්ග 10,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් මේ කූඹින් ඉතා විශේෂයි. සාමාන්‍යයෙන් මීමැස්සන්, බඹරුන් හා දෙබරුන් වැනි කෘමීන් උන්ගේ පැණි ගබඩා කරන්නේ වදයකයි. ඒත් මේ කූඹි පැණි ගබඩා කරගන්නේ උන්ගේම ශරීරයේයි. ඊටපස්සේ පැණි හොයාගන්න බැරි කාලයේදී මේ පුංචි පැණි ගබඩා අනික් කූඹින්ව පෝෂණය කරනවා.

පැණි ගබඩා කිරීමටත් නැවත එම පැණි ලබාගැනීමටත් අනික් කූඹින් සංඥා ක්‍රමයක් භාවිත කරනවා. කූඹියෙක් ඇවිත් පැණි ගබඩා කරගෙන සිටින කූඹියාගේ ස්පර්ශකවලට සෙමින් තට්ටු කරනවා. එවිට ඌ පැණි ලබා දෙනවා, නැත්නම් ලබාගන්නවා. එය තීරණය කරන්නේ ලැබෙන සංඥාව අනුවයි.

පැණි ගබඩා කරගෙන සිටින කූඹි පොළොව යට ජීවත් වන නිසාත් උන් එහා මෙහා ඇවිදින්නේ නැති නිසාත් වෙනත් සතුන්ගෙන් උන්ට හානියක් නැහැ. ඒ වගේම අධික රස්නෙන් හා ශීතලෙන්ද උන් ආරක්ෂා වෙනවා. ඊට අමතරව මෙම කූඹින් උන්ගේ ශරීරයෙන්ම නිපදවන ප්‍රතිජීවක දියරයක් ඇඟ පුරාම තවරාගන්නා නිසා උන් බැක්ටීරියා හා දිලීරවලින්ද ආරක්ෂා වෙනවා.

මේ කූඹින්ට පැණි ලැබෙන ආකාරය දැන් අපි බලමු. ඒ සඳහා උන්ට තවත් කුඩා කෘමියෙකුගේ සහය ලැබෙනවා. මුලින්ම ඇකේෂියා ගසේ නිපදවෙන මල් පැණි කූඩිත්තන් බොනවා. ඉන්පසුව කූඩිත්තන් ළඟ තිබෙන වැඩිපුර පැණි ටික කූඹින් ලබාගන්නවා. තවත් සමහර කූඹින් කෙළින්ම ඇකේෂියා ගස්වලින්ම පැණි ලබාගන්නවා. මේ සියලුම පැණි උන් අරන් ගිහින් පැණි ගබඩා කරගන්නා කූඹින්ට දෙනවා. පැණි ගබඩා කරගන්නා කූඹින්ගේ පෝෂණය සඳහා වැය වන්නේ එම පැණිවලින් බිඳක් පමණයි. අනික් සියල්ලම උන් ගබඩා කර තබාගන්නවා.

පැණි ලබා දීමෙන් කූඩිත්තන් කූඹින්ට උපකාර කරන නිසා උන් කූඩිත්තන්ව වෙනත් සතුන්ගෙන් හා පරපෝෂිතයන්ගෙන් ආරක්ෂා කරනවා. මේ දෙගොල්ලන් සහජීවනයට කදිම උදාහරණයක්.

ඇත්තෙන්ම කූඹින් කියන්නේ කඩිසර, සහයෝගයෙන් හා පිළිවෙළකට වැඩ කරන කෘමි විශේෂයක්. උන්ගේ එම හැකියාවන් ගැන බයිබලයේ පවා සඳහන් වෙනවා. “කුහුඹුවා ළඟට ගොස් ඌ වැඩ කරන ආකාරය දෙස බලා ප්‍රඥාවන්ත වන්න. ඌට අණ දෙන්නෙක්වත් වැඩ බලන්නෙක්වත් පාලකයෙක්වත් නැත. එහෙත් ගිම්හාන කාලයේදී ඌ කෑම එකතු කරගනියි. අස්වැන්න නෙළන කාලයේදී ආහාර රැස් කරගනියි.” (හිතෝපදේශ 6:6-8) කාන්තාර ප්‍රදේශවල ජීවත් වන මේ කූඹින් නිපදවන පැණිවල රස බැලීමට ඔබටත් අවස්ථාව ලැබුණා නම් එය මොන තරම් ප්‍රණීත ආහාරයක්ද යන වගට ඔබත් එකඟ වෙනවාට කිසිම සැකයක් නැහැ.

[11වන පිටුවේ පින්තූරය]

පැණි ගබඩා කරගෙන සිටින කූඹියෙක්

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pages 10, 11, top: M Gillam/​photographersdirect.com; page 11: © Wayne Lynch/​age fotostock