මම බේරුණේ අනූනවයෙන්!
මම බේරුණේ අනූනවයෙන්!
“එදා සඳුදා දවසක්. තැපැල් කන්තෝරුව පුරාම සෙනඟ. ළඟපාත පාර්සලයක් තිබුණත් මම ඒක එච්චර ගණන්ගත්තේ නැහැ. මගේ ලියුම් ටිකත් අරගෙන වාහනේ නැඟලා වැඩි දුරක් ගියේ නැහැ මුළු පළාතම දෙදරන තරමට විශාල ශබ්දයක් ඇසුණා. පස්සේ මට දැනගන්න ලැබුණා ඒ බෝම්බය පිපිරිලා තියෙන්නේ මම හිටිය තැනමයි කියලා. එදා මම බේරුණේ අනූනවයෙන්.” නැමීබියාවේ ජීවත් වන ඔන්ඩ්රේගේ අද්දැකීම එයයි.
“මම අඳුරන කිහිපදෙනෙක් වගේම, තවත් හුඟක් අය මැරුණා. ඒ සිද්ධිය වෙලා දැන් අවුරුදු 25කටත් වඩා වැඩියි. ඒත් එදා මළ සිරුරු හැම තැනම විසි වෙලා තිබුණ විදිහත් මම බේරුණු විදිහත් මතක් වෙනකොට අදටත් මගේ ඇඟ සීතල වෙනවා.”
ජාත්‍යන්තර ගැටලුවක්
ත්‍රස්තවාදය නිසා ඔබත් පීඩා විඳ ඇති. ත්‍රස්තවාදය අතකොළුවක් කරගෙන තම අරමුණු ඉටු කරගැනීමට උත්සාහ කරන පුද්ගලයන්ගේ හා කණ්ඩායම්වල ගණන දිනෙන් දින ඉහළ යනවා.—“ත්‍රස්තවාදය යනු කුමක්ද?” නමැති කොටුව බලන්න.
එක් වාර්තාකරුවෙක් මෙසේ සඳහන් කළා. වර්ෂ 1997 වන විට “මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ක්‍රියා සිදු වී තිබුණේ ලොව පුරා රටවල් හතරක පමණයි.” නමුත් 2008 වන විට “ඕස්ට්‍රේලියාව හා ඇන්ටාක්ටිකාව හැර අනික් මහද්වීප පහේම විවිධ රටවල් 30කට වඩා වැඩි ප්‍රමාණයක, මරාගෙන මැරෙන ත්‍රස්ත ක්‍රියා සිදු වී තිබෙනවා.” ඔහු තවදුරටත් පැවසුවේ සෑම වසරකම ත්‍රස්තවාදී සංවිධාන වැඩි වන අතර ත්‍රස්තවාදය නිසා මිය යන සංඛ්‍යාවත් ඉහළ යන බවයි.—එම පොත The Globalization of Martyrdom.
සමහර කණ්ඩායම් ප්‍රචණ්ඩකාරී දේවල් කළත් ඔවුන් පවසන්නේ තමන් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වන්නේ තමන්ගේ නිදහස වෙනුවෙන් කියායි. මෙම ලිපියේ කලින් සඳහන් කළ ත්‍රස්තවාදී ක්රියාවේ වගකීම භාරගත් පිරිස පැවසුවේ ඔවුන්ගේ අරමුණ තම රටේ ආණ්ඩුවෙන් නිදහස් වී ස්වාධීනව කටයුතු කිරීම බවයි. නමුත් මෙතරම් අමානුෂික ක්‍රියාවල යෙදෙන්න මේ අය පෙලඹෙන්නේ ඇයි?
දැන් අපි හෆේනිගේ අද්දැකීම සලකා බලමු. ඔහු ඉපදුණේ සැම්බියාවේයි. නමුත් ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවුණේ වෙනත් රටවල තිබූ සරණාගත කඳවුරුවලයි. ඒ ගැන ඔහු පැවසුවේ මෙයයි. “අපේ අය නිතරම අසාධාරණකම්වලට මුහුණ දුන්න නිසා මගේ හිතේ ලොකු වෛරයක් ඇති වුණා.” අවසානයේදී හෆේනි ත්‍රස්තවාදී කණ්ඩායමකට එකතු වුණා.
හෆේනි තවදුරටත් මෙසේ පවසනවා. “මම සරණාගතයෙක් විදිහට ජීවත් වුණ කාලය හුඟක් කටුක එකක්. හුඟක් අයට ආපහු තමන්ගේ දෙමව්පියන්ව සහෝදර සහෝදරියන්ව බලන්න ලැබුණේ නැහැ. මම මගේ තාත්තව කවදාවත් දැකලා නැහැ. තාත්තගේ පින්තූරයක්වත් දැකලා නැහැ. මම දන්නේ තාත්තා සටනකදී මැරුණා කියන එක විතරයි. මේ හැම දෙයක්ම මගේ හිතට ලොකු වේදනාවක්.”
හෆේනිගේ අද්දැකීමෙන් අපට පෙනී යන්නේ කෙනෙකු ත්‍රස්තවාදියෙකු වීමට හේතු වන බොහෝ දේවල් තිබෙන බවයි. ඊළඟ ලිපියෙන් අපි ඉන් කිහිපයක් සලකා බලමු.
[4වන පිටුවේ කොටුව/පින්තූරය]
ත්‍රස්තවාදය යනු කුමක්ද?
පර්යේෂකයෙක් වන මාර්ක් ජර්ගන්ස්මයර්ගේ අදහස බලන්න. “එක් එක් පුද්ගලයා ත්‍රස්තවාදය දිහා බලන්නේ විවිධ කෝණවලින්. සාමාන්‍යයෙන් සාමකාමී වාතාවරණයක් තිබෙන විට ඕනෑම සැහැසික ක්‍රියාවක් සැලකෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසයි. නමුත් යුද්ධ හෝ ගැටුම් තිබෙන කාලවලදී ඇති වන සැහැසික ක්‍රියාවන් ත්‍රස්තවාදී ක්‍රියාවන් ලෙස සැලකෙන්නේ නැහැ.”
ත්රස්තවාදීන් ලෙස හඳුන්වන බොහෝ සංවිධාන පවසන්නේ ඔවුන් ත්රස්තවාදීන් නොව විමුක්තිය උදෙසා පෙරමුණ ගන්නා පිරිසක් කියායි. එක් කර්තෘවරයෙක් ත්‍රස්තවාදය විස්තර කළේ (1) අහිංසක ජනතාවට හානි කිරීම, (2) මිනිසුන්ව බිය ගැන්වීම සඳහා කරන සැහැසික ක්‍රියා ලෙසයි. ඒ අනුව යම් ආණ්ඩුවක් වේවා ආණ්ඩුවකට විරුද්ධව කටයුතු කරන කණ්ඩායමක් වේවා ඉහත සඳහන් කරුණු දෙක ඉටු කරනවා නම් ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියාවල හවුල් වෙනවා කියා පැවසිය හැකියි.