Skip to content

පටුනට යන්න

වනයෙන් නගරයට යන පුංචි පොරොප්පය

වනයෙන් නගරයට යන පුංචි පොරොප්පය

වනයෙන් නගරයට යන පුංචි පොරොප්පය

ක්‍රිකට් පන්දු, වයින් බෝතල් හා වාහන ඇන්ජිමේ සිට අභ්‍යවකාශ යානා දක්වාද, ඈත අතීතයේදී ධීවරයාගේ සිට සිටු මැදුරේ කුමාරිකාවන් දක්වාද එක සේ ප්‍රයෝජනවත් වූ ගසක් ගැන ඔබ අසා තිබෙනවාද? එම ගසෙන් මෙතරම් ප්‍රයෝජන ගන්නේ වෙන ගස් මෙන් එය කපා බිම නොදමයි.

අපි මේ කතා කරන්නේ කෝක් ඕක් නමැති ගස ගැනයි. විවිධ නිෂ්පාදන සඳහා මේ ගසේ පොත්ත ඉතාමත් ප්‍රයෝජනවත්. එහි ඇති සැහැල්ලු බව, ගින්නට ඔරොත්තු දීමේ හැකියාව සහ නම්‍යශීලීත්වය විශේෂ ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි.

සාමාන්‍යයෙන් කෝක් ඕක් ගසක පොත්ත අඟල් දහයක් පමණ ගනකමට වැඩෙනවා. ඉන් ගසට ලැබෙන්නේ පුදුමාකාර ආරක්ෂාවක්. අධික උෂ්ණත්වයට, ශීතලට හා ලැව්ගිනිවලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. එහි පොත්ත කපා ඉවත් කළත් වසර දහයක් වැනි කාලයකදී නැවත ගනකම් පොත්තක් දක්වා වැඩෙනවා.

විවිධ නිෂ්පාදන සඳහා කෝක් ඕක් පොතු වෙළඳපොළට වැඩියෙන්ම සපයන්නේ පෘතුගාලයයි. එනම් සියයට 55ක් පමණ. තවත් සියයට 30ක් පමණ ස්පාඤ්ඤයෙන්ද ඉතිරි සියයට 15 ඇල්ජීරියාව, ප්‍රංශය, ඉතාලිය, මොරොක්කෝව සහ ටියුනීසියාවද සපයයි. *

මිනිසුන් ලබන ප්‍රයෝජන

අතීතයේ සිට කෝක් ඕක් පොත්තට තිබෙන්නේ විශාල ඉල්ලුමක්. මාළු දැල් පාවීමට යොදන ඉපිලි සඳහාත් පාවහන්වල අඩි සඳහාත් මෙය කදිම අමුද්‍රව්‍යයක් බව අතීතයේදී රෝමවරුන් සහ ග්‍රීකවරුන් සොයාගත්තා. ඒ වගේම බෝතල්වලට පොරොප්ප සෑදීම සඳහාත් ඔවුන් මේවා භාවිත කළා. මෙම පොත්ත අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන නිසා නවීන දින වාහන ඇන්ජින් නිෂ්පාදනයේදීද භාවිත කරනවා. ඒ විතරක් නොව අභ්‍යවකාශ යානාවල සමහර කොටස් නිෂ්පාදනයේදීත් භාවිත කරනවා.

කෝක් ඕක් පොත්තේ ඇති අලංකාර පෙනුම නිසා නිවෙස්වල බිත්ති සහ බිම සකස් කිරීමට යොදාගන්නා අතර ක්‍රීඩා භාණ්ඩ සෑදීමේදීත් විශාල වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයකට ක්‍රිකට් පන්දුවක මැද කොටස සාදා තිබෙන්නේ කෝක් ඕක් පොත්තෙනුයි. නමුත් කෝක් පොත්ත ලොව පුරා ප්‍රසිද්ධ වී තිබෙන්නේ බෝතල්වලට පොරොප්ප සෑදීම සඳහායි.—“කදිම මූඩිය” නමැති කොටුව බලන්න.

සතුන් ලබන ප්‍රයෝජන

මෙම ගසේ පොත්ත ලබාගැනීමට ගස කපා දැමිය යුතු නැහැ. ඒ නිසා මෙම වටිනා සම්පතෙන් මිනිසුන් ප්‍රයෝජන ගත්තත් එය විනාශ කරන්නේ නැහැ. ඒ වගේම ඉන් ප්‍රයෝජන ලබන්නේ මිනිසා පමණක් නොවෙයි. සතුන්ද ප්‍රයෝජන ලබනවා. මේ විශාල ගස්වලින් සතුන්ට ආහාර මෙන්ම සෙවනක්ද ලැබෙයි.

ඒ වගේම කුරුලු විශේෂයන්ටත් මෙම ගස නිවහනක් වගෙයි. උදාහරණයකට වඳ වී ගෙන යන සමහර රාජාලීන් සහ ගිජුලිහිණින් වගේම කලු මානාවන් කූඩු තනන්නේ මේ ගස්වලයි. ඒ වගේම අයිබීරියානු ලින්ක්ස් නමැති බළලා ජීවත් වෙන්නේද මෙම ගස් ආශ්‍රිතවයි. ඒ නිසා ලෝක වන සත්ව අරමුදල පවසන්නේ එවැනි වඳ වී ගෙන යන සතුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ වගා කරන කෝක් ඕක් ගස් කොතරම්දුරට ආරක්ෂා කරනවාද යන්න මත බවයි.

ඊළඟ වතාවේදී ඔබ වයින් බෝතලයක් විවෘත කරන විට මේ පුංචි පොරොප්පය වනයේ සිට නගරයට ආ ඒ ගමන ඔබට මතක් වෙයි.

[පාදසටහන]

^ 5 ඡේ. මෙම ගස් ලෝකයේ වෙනත් රටවල වැඩුණත් ඒවා ඉතා හොඳින්වැඩෙන්නේ මධ්‍යධරණී මුහුද අවට රටවලයි.

[20වන පිටුවේ කොටුව/පින්තූරය]

කදිම මූඩිය

මිගෙල් එලේනා ස්පාඤ්ඤයේ පිහිටා තිබෙන කෝක්, දැව හා ගල් අඟුරු පිළිබඳ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක්. කෝක් ඕක්වලින් කරන නිෂ්පාදන ගැන ඇසූ ප්‍රශ්න කිහිපයකට ඔහු දුන් පිළිතුරු පහත දැක්වෙයි.

කෝක් ඕක්වලින් පොරොප්ප සෑදීම සාර්ථකද?

ඔව්. අවුරුදු 100කටත් වඩා පැරණි වයින් බෝතල් විවෘත කර බලන විට ඒවායේ තිබෙන වයින් තාමත් හොඳ තත්වයේ තිබෙනවා. ඒ කියන්නේ කෝක්වලින් සාදා තිබෙන පොරොප්ප ඉතා විශිෂ්ට බවයි.

ගසකින් පොත්ත කපන්න කොතරම් කාලයක් බලා සිටින්න අවශ්‍යද?

සාමාන්‍යයෙන් ගසක් අවුරුදු 50ක්වත් පරණ වෙන්න ඕනේ. සමහර අවස්ථාවලදී අවුරුදු 25කින් වුණත් කපන්න පුළුවන්. නමුත් මුදල් වැය කරලා ලාභයක් ලැබීම සඳහා අවුරුදු 50ක් බලාගෙන ඉන්න හුඟක් අය කැමති නැහැ.

කෝක් ඕක් ගසක් කොතරම් කාලයක් පවතිනවාද?

වසර 200ක් විතර පවතිනවා. සමහර ගස් ඊට වඩා වැඩි කාලයකුත් තියෙනවා. ඒ කාලය පුරාම අස්වැන්න ගන්න පුළුවන්. සෑම වසර නවයකට වතාවක් නැවත නැවත ගසකින් පොත්ත කපාගන්නවා.

කෝක් ඕක් වගාව වෙනුවෙන් කර තිබෙන්නේ මොනවාද?

වගාව සඳහා අවශ්‍ය සහනාධාර යුරෝපා සංගමය හා පළාත් සභාව විසින් ලබා දෙනවා. ඒ වගේම අලුත් පැළ විශාල වශයෙන් වගා කර තිබෙනවා පමණක් නෙවෙයි, දැනට තිබෙන වගාවන් දියුණු කිරීමටත් උපකාර කරනවා.

කෝක් ඕක්වලින් කරන නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා ගෙන තිබෙන පියවර මොනවාද?

පසුගිය දශක දෙක පුරාම අපි හොඳම බීජ හඳුනාගැනීමට පර්යේෂණ පවත්වා තිබෙනවා. ඒ වගේම කෝක් ඕක්වලින් කරන නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා වෙනත් රටවල් සමඟ තාක්ෂණික ක්‍රම අපි බෙදාගන්නවා. මෙතෙක් කල් වගාකරුවන් පොත්ත ගැලවීම සඳහා භාවිත කළ පොරොව වෙනුවට අපි ඔවුන්ට විශේෂිත කියතක් හඳුන්වා දී තිබෙනවා.

[19වන පිටුවේ පින්තූරය]

වරක් පොත්ත ගැලවූ පසු එය නැවත වැඩෙනවා

[19වන පිටුවේ පින්තූරය]

වගාකරුවන් පොත්ත කපාගන්නා ආකාරය

[19වන පිටුවේ පින්තූරය]

ඊළඟ පියවර සඳහා පොතු ටික සූදානම් කර තිබෙනවා

[19වන පිටුවේ පින්තූරය]

අදටත් හොඳම පොරොප්ප කපන්නේ අතින්

[18වන, 19වන පිටුවේ පින්තූර]

ඉතුරු වන කැබලිවලින් තවත් වර්ගයේ පොරොප්ප සහ වෙනත් නිෂ්පාදන කරනවා