Skip to content

පටුනට යන්න

රුසියානුවන් ගැන නොදත් කතාවක්

රුසියානුවන් ගැන නොදත් කතාවක්

රුසියානුවන් ගැන නොදත් කතාවක්

රුසියාව කියන්නේ අතිවිශාල රටක්. එහි වැසියන් කුමන ජාතියට අයත්ද කියා කවුරුන් හෝ ඔබෙන් ඇසුවොත් ඔවුන් රුසියානු ජාතිකයන් කියා ඔබ පිළිතුරු දෙයි. නමුත් රුසියානු වැසියන්ගෙන් විශාල සංඛ්‍යාවක් ටාටා ජාතිකයන්. *

ටාටා ජාතිකයන් සිටින්නේ රුසියාවේ පමණක් නොවෙයි. රුසියාවේ මෙන්ම කලින් සෝවියට් ජනරජයට අයත් රටවල ඔවුන් මිලියන හතක් පමණ සිටිනවා. ඔවුන් අතරින් ලොව ප්‍රසිද්ධ කලාකරුවන්, ක්‍රීඩකයන් වැනි ජනප්‍රිය අයත් සිටිනවා. මුද්‍රා නාට්‍ය කලාවේ ප්‍රවීණයෙක් වන රුඩොල්ෆ් නුර්යෙව් එවැනි කෙනෙක්. ඇත්තටම ටාටා ජාතිකයන් රුසියාවට පැමිණියේ කොහේ සිටද? ඒ ගැන විස්තර ටිකක් දැන් අපි සලකා බලමු.

ටාටාවරුන්ගේ ඉතිහාසය

ටාටාවරුන් ගැන ඉතිහාස පොත්වල සඳහන් වන්නේ මොංගෝලියානුවන් හා තුර්කි ජාතිකයන් ගැන සඳහන් කරන විටයි. උදාහරණයකට මොංගෝලියානු ජාතික රණශූරයෙක් වූ ගෙංගිස් කාන් ගැන සඳහන් කරන විට ටාටාවරුන් ගැනත් සඳහන් කර තිබෙනවා. * වර්ෂ 1236දී ඔහු යුද සෙබළුන් 1,50,000ක් සමඟ රුසියාවේ විවිධ නගරවලට පහර දෙන්න පටන්ගත්තා. ඒ යුද කණ්ඩායමට ටාටාවරුන්ද ඇතුළත්.

මොංගෝලියානුවන්, රුසියාව ආක්‍රමණය කළායින් පසුව ඔවුන් තුර්කි ජාතිකයන් සමඟ එක් ප්‍රදේශයක් හවුලේ පාලනය කරන්න පටන්ගත්තා. එම ප්‍රදේශයේ දේශ සීමාවන් වුණේ නැඟෙනහිර දිශාවෙන් යුරල් කඳු වැටියත්, දකුණු දිශාවෙන් කෝකේසස් කඳු වැටියත්, බටහිර දෙසින් කාර්පේතියන් කඳු වැටියත් ලෙසයි. වොල්ගා ගඟ අසල ඔවුන් ඔවුන්ගේ අගනුවර පිහිටුවා ගත්තා. පසු කාලයේදී දේශපාලනික බෙදීම් හටගත් නිසා ටාටාවරුන්ගේ ප්‍රධාන නගරයක් බවට කසාන් පත් වුණා.

ටාටාස්ටාන් හා කසාන්

අද වන විට ටාටාවරුන්ගෙන් බොහෝදෙනෙක් ජීවත් වන්නේ ටාටාස්ටාන්වලයි. ටාටාස්ටාන් අයත් වන්නේ රුසියානු සමූහාණ්ඩුවටයි. එයට වර්ග කිලෝමීටර් 68,000ක භූමි ප්‍රදේශයක් අයත් වන අතර එහි අගනුවර වන්නේ කසාන් නගරයයි. ටාටාස්ටාන්හි මිලියන හතරක් පමණ සිටිනවා. ඒ වගේම එය රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවලින් දියුණුතම රටක් ලෙස සැලකෙන අතර තෙල් හා ගෑස් නිෂ්පාදනයෙහිදී ප්‍රධාන තැනක් ගන්නවා. ඔවුන් ගුවන් යානා හා වාහන නිෂ්පාදනය කරන අතර එහි ගුවන්තොටුපොළවල් කීපයක්ම තිබෙනවා.

කසාන් නගරයේ මිලියනයක් පමණ ජීවත් වෙනවා. වොල්ගා ගඟ සහ කසාන්කා ගඟ හමු වන්නේ මෙම නගරයේදියි. එහි තිබෙන එක් විශේෂත්වයක් වන්නේ උමං දුම්රිය මාර්ග පද්ධතියයි. * ඒ වගේම නවීන හා පැරණි මෝස්තරවලට අනුව පොළොව යට නිර්මාණය කර තිබෙන දුම්රිය ස්ථාන කාගෙත් නෙත් සිත් ඇදගනී. එවැනි එක් දුම්රිය ස්ථානයක ඇති බිත්තිවල වෛවර්ණ වීදුරු කැබලිවලින් නිම කළ ටාටාවරුන්ගේ සුරංගනා කතා දැකගන්න පුළුවන්.

වර්ෂ 1804දී, පළමුවෙනි ඇලෙක්සැන්ඩර් විසින් ඉදි කරන ලද, රජයේ විශ්ව විද්‍යාලය කසාන්වල වටිනාකම තවත් වැඩි කරනවා. අධ්‍යාපනය හා සෞන්දර්ය අතින් උසස් මෙම විශ්වවිද්‍යාලයේ පොත් පත් රැසක් ඇති පුස්තකාලයක්ද තිබෙනවා. එහි තිබෙන මිලියන පහක පොත් පත් අතරට, නවවෙනි සියවසට අයත් ඉතා පැරණි ලියවිලි 30,000ක්ද අයත් වෙනවා.

කසාන් නගරයට පැමිණෙන කවුරුත් එහි ඇති ප්‍රධාන වීථිය දිගේ ගමන් කිරීමට අමතක කරන්නේ නැහැ. ඒ නගරයේ කඩපේළි හා ආපන ශාලා බහුලව දැකගත හැකියි. ඒ සියල්ල නගරයට එක් කරන්නේ ඉතා අලංකාර දසුනක්. ඒ වගේම කෙනෙක් කැමති නම් බෝට්ටු සවාරියක්ද යා හැකියි.

කසාන්වල දකින්න තිබෙන තවත් දෙයක් වන්නේ 16වන සියවසේදී ටාටාවරුන් විසින් ඉදි කරන ලද පැරණි බලකොටුවයි. එහි රජයේ ගොඩනැඟිලි, මුස්ලිම් පල්ලියක්, ඔර්තඩොක්ස් පල්ලියක් වගේම උස කුලුනක්ද දැකගන්න ලැබෙනවා.

රාත්‍රී කාලයේදී මෙම බලකොටුවේ දැල්වෙන විදුලි බුබුළුවල ආලෝකය, වොල්ගා ගඟේ දිය මත වැටී නගරයේ අලංකාරය තවත් වැඩි කරනවා. වර්ෂ 2000දී යුනෙස්කෝ සංවිධානය විසින් මෙම බලකොටුව ලෝක උරුමයක් ලෙස නම් කළා.

එහි වැසියන් හා භාෂාව

රුසියාවේ පමණක් ටාටාවරුන් 55,00,000ක් පමණ සිටිනවා. නමුත් රුසියාව ඉතා විශාල රටක් නිසා මෙම සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකියි.

ටාටාවරුන් කතා කරන භාෂාව ඇසබයිජානි, බෂ්කීර්, කසාක්, කිර්ගීස්, නොගායි, තුර්කි, ටර්කොමානු, ටුවීනියානු, උස්බෙක් සහ යාකුට් යන භාෂාවන්ට යම් සමානකම් තිබෙනවා. ඒ වගේම රුසියානු භාෂාවේද ටාටා භාෂාවෙන් එකතු වුණු වචන විශාල ප්‍රමාණයක් තිබෙනවා. මෙසේ සමාන වචන භාවිතය නිසා සෑම කෙනෙකුටම වගේ අනික් භාෂාවෙන් පවසන දේ යම් දුරකට තේරුම්ගත හැකියි.

ටාටාස්ටාන් පුරාම ටාටා භාෂාව වගේම රුසියානු භාෂාවත් කතා කරන අය සිටිනවා. ඒ නිසා පොත් පත් හා පුවත්පත් මෙම භාෂා දෙකෙන්ම ලබාගත හැකියි. එපමණක් නොව ගුවන්විදුලියේ හා රූපවාහිනියේද එම භාෂාදෙකෙන්ම වැඩසටහන් විකාශනය වෙනවා. ඒ වගේම කඩවල නාමපුවරු හා සංඥා පුවරුද රුසියානු භාෂාවෙන් වගේම ටාටා භාෂාවෙන්ද දැක්වෙනවා. ඔවුන්ගේ සංස්කෘතිය හා ඉතිහාසය වටා ගෙතුනු නාට්‍ය එහි ඇති රංගන ශාලාවල රඟ දක්වනවා.

මුල් කාලයේදී ටාටා භාෂාව සඳහා යොදාගැනුණේ අරාබි අක්ෂරයි. නමුත් 1939 සිට ටාටා භාෂාව සඳහා රුසියානු අක්ෂර හා සමාන අක්ෂර භාවිත කිරීමට පටන්ගත්තා.

ඔවුන්ගේ සංස්කෘතිය

පුරාණයේ සිටි ටාටාවරුන් දඩයම් කිරීමට ඉතා දක්ෂයි. ඒ වගේම ඔවුන්ට සත්ව ගොවිපොළවල්ද තිබුණා. ඒ නිසා ඔවුන්ගේ ආහාරවල ප්‍රධාන තැනක් ගත්තේ මස් වර්ගයි. ඒ අතරින් ටාටාවරුන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වන්නේ බෙලෙෂ් නමැති ආහාරයයි. මෙය පිළියෙල කරන්නේ මස්, අල, ලූනු හා කුළු බඩුවලිනුයි. ඒ සියල්ලම පෝරණුවක දමා පුලුස්සාගන්නවා. පසුව උණු උණුවේම සංග්‍රහ කරනවා.

ඔවුන්ට විශේෂ නිවාඩු දිනයක් තිබෙනවා. එය හඳුන්වන්නේ සබන්ටුයි ලෙසයි. එය උත්සවාකාරයෙන් සමරන ඔවුන් එදින පවුලේ සියලුදෙනාම එකතු වී ඔවුන්ගේ මුතුන්මිත්තන්ට මෙන්ම හිරු දෙවියන්ට යාච්ඤා කර පුද පූජා පවත්වනවා. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ නිරෝගී දරුසම්පත් ලබාගැනීමට සහ කෘෂිකර්මාන්ත වැඩකටයුතුවලට ආශීර්වාද ලබාගැනීමයි.

පුරාණයේ සිටි ටාටාවරුන්ට අශ්වයා ඉතා වටිනා සතෙක් වී තිබුණා. අදටත් එය වෙනස් වී නැහැ. අශ්වයන් සඳහා ලෝකයේ තිබෙන හොඳම ගොඩනැඟිලි සංකීර්ණය තිබෙන්නෙත් කසාන්වලයි. එම ගොඩනැඟිලි සංකීර්ණය තුළ අශ්ව ගාල් 12ක්ද පශු වෛද්‍ය ඒකකයක්ද අශ්වයන් සඳහා නාන තටාකයක්ද ඉදි කර තිබෙනවා.

සියලු ජාතීන්ට බලාපොරොත්තුවක්

ටාටාවරුන්ගෙන් බහුතරයක් කුරානය ඉතා ශුද්ධ පොතක් ලෙස සලකනවා. එහි මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “නියත වශයෙන්ම භූමිය අපගේ වහලුන්ගෙන් හොඳ ගති පැවතුම් ඇත්තවුන්ම උරුමක්කාරයින් වන්නාහ.” (සූරා 21, අල්-අන්බියා, 105 වගන්තිය) එම වචන උපුටාගෙන තිබෙන්නේ කුරානය ලිවීමට වසර 1,500කට පමණ පෙර දාවිත් විසින් ලියූ මෙම වදන්වලිනුයි. (දාවිත් ලියූ එම කොටස තිබෙන්නේ බයිබලයේයි) “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.

බයිබලයේ හා කුරානයේ සඳහන් වෙන සදාකාලයටම ජීවත් වීමට නියමිත ධර්මිෂ්ඨයන් අයත් වන්නේ කිනම් ජාතියටද? ඉන්ජිල්හි (බයිබලයේ නව ගිවිසුමෙහි) ඒ ගැන මෙවැනි දෙයක් පවසනවා. ‘මහත් සමූහයක් දුටුවෙමි. එම සමූහය කිසිවෙකුට ගණන් කළ නොහැකි විය. සියලු ජාතීහුද ගෝත්‍රද ජනයාද සියලු භාෂා කතා කරන අයද එම සමූහයට අයත් වූහ.’ (එළිදරව් 7:9) විවිධ ජාතීන් සමඟ එකට ජීවත් වීමට ලැබීම මොන තරම් ප්‍රීතිමත් එකක් වෙයිද කියා කල්පනා කර බලන්න. * ඒ වගේම ඒ කාලයේදී ජීවිතයේ කොතරම් අලුත් අද්දැකීම් අපට ලැබෙයිද!

[පාදසටහන්වල]

^ 2 ඡේ. ටාටා ජාතිකයන් විවිධ රටවල සිටියත් ඔවුන්ගෙන් වැඩි කොටසක් ජීවත් වන්නේ රුසියාවෙයි.

^ 5 ඡේ. වර්ෂ 2008 මැයි පිබිදෙව්! කලාපයේ “ලෙයින් නැහැවුණු යුගයක්!” යන ලිපිය බලන්න.

^ 9 ඡේ. රුසියාවේ යෙකටරින්බර්ග්, මොස්කව්, නිෂ්නි නොව්ගොරොද්, නොවොසිම්බිර්ස්ක්, ශාන්ත පීටර්ස්බර්ග් සහ සමාරා යන නගරවලත් උමං දුම්රිය මාර්ග තිබෙනවා.

^ 25 ඡේ. දෙවිගේ අරමුණ ගැන දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති The Guidance of God—Our Way to Paradise නමැති සඟරාව බලන්න.

[25වන පිටුවේ කොටුව]

දෙවිගේ නම සඳහන් වෙයි

බයිබලයේ මුල් පොත් පහ ටාටා භාෂාවට පරිවර්තනය කර තිබෙනවා. එහි උත්පත්ති 2:4 යන බයිබල් පදයට පාදසටහනක් දක්වා තිබෙනවා. හෙබ්‍රෙව්වරුන් දෙවිගේ නම යාහ්වේ ලෙස ශබ්ද කරන්න ඇතැයි කියා එහි පවසනවා. ඒ වගේම ටාටා කර්තෘවරයෙක් වන එම්. කුසායෙව් ලියූ පොතේ ඔහු සඳහන් කරන්නේ ආදම් නමැති මුල් මිනිසාව නිර්මාණය කළේ යාක්වේ අල්ලා හෙවත් යෙහෝවා දෙවි කියායි.—Religions of the World,

[26වන පිටුවේ කොටුව]

ටාටාස්ටාන්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

රුසියාවේ ජීවත් වෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් ඉතා ආසාවෙන් ටාටා භාෂාව ඉගෙනගන්නවා. එයට හේතුව එම භාෂාව කතා කරන අයටත් දෙවිගේ රාජ්‍ය ගැන ශුභාරංචිය පැවසීමට ඔවුන්ට අවශ්‍ය නිසයි. එක් කාන්තාවක් පැවසුවේ “මගේම භාෂාවෙන් දෙවි ගැන ඉගෙනගන්න ලැබුණු නිසා ඒ දේවල් මගේ හිතට හොඳින්ම කාවැදුණා” කියායි.

සාක්ෂිකරුවන්, මුල් වතාවට ටාටා බසින් රැස්වීම් පවත්වන්න පටන්ගත්තේ 1973දීයි. ටාටා භාෂාවෙන් විවිධ පොත් පත් හා සඟරා මුද්‍රණය කරන්න පටන්ගත්තේ 1990 ගණන්වලයි. * පසුව 2003දී මුල් වතාවට ටාටා භාෂාවෙන් සභාවක් පිහිටෙව්වා. දැන් රුසියාව පුරා ටාටා බසින් රැස්වීම් පවත්වන සභා අටක් සහ තවත් කණ්ඩායම් 20ක්ද තිබෙනවා.

වර්ෂ 2008දී ටාටා භාෂාවෙන් පැවැත්වූ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවට රුසියාවේ විවිධ ප්‍රදේශවලින් බොහෝදෙනෙක් පැමිණියා. මේ වන විට ටාටාස්ටාන්හි ටාටා, රුසියානු හා රුසියානු සංඥා භාෂාවෙන් පැවැත්වෙන සභාවන් හා කණ්ඩායම් 36ක් තිබෙනවා. ඒ වගේම ටාටාස්ටාන්හි සාක්ෂිකරුවන් 2,300කට වඩා වැඩි පිරිසක් යෙහෝවා දෙවි ගැන අන් අයට කියා දෙනවා.

[පාදසටහන]

^ 37 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය හා ඒ මත පදනම් ප්‍රකාශන භාෂා 560කටත් වඩා වැඩි ප්‍රමාණයකින් මුද්‍රණය කරනවා.

[27වන පිටුවේ කොටුව/පින්තූරය]

ක්‍රීඩකයෙක් දේවසේවකයෙක් වෙයි

ටාටා ජාතිකයෙක් වන පියෝටර් මාකොව්, අවුරුදු 30ක් පුරා බර ඉසිලීමේ හා මල්ලව පොර ක්‍රීඩාවේ යෙදුණු කෙනෙක්. වර්ෂ 1948 ඉපදුණු ඔහු ටාටාස්ටානය පුරාම ඉතා ජනප්‍රියයි. එක් අවස්ථාවකදී රාත්තල් 70ක බරක් ඔහු 130වතාවක්ම ඉසිලුවා. නමුත් ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වූ පසු ඔහුව හැමෝම හඳුන්වන්නේ බයිබලය ගැන කියා දෙන ගුරුවරයෙක් ලෙසයි.

බයිබලයේ දෙවි ගැන මෙසේ පවසනවා. “එඬේරෙකු තම රැළ බලාගන්නාක් මෙන් දෙවි තම සෙනඟව රැකබලා ගන්නේය. ඔහු බැටළු පැටවුන්ව වඩාගෙන තම තුරුලට ගන්නේය. කිරි දෙන බැටළුදෙනුන්ව මහත් සැලකිල්ලකින් දක්කගෙන යන්නේය.” (යෙසායා 40:11) පියෝටර්ද දෙවිගේ ආදර්ශය අනුගමනය කරමින් දේවසේවකයෙක් ලෙස කටයුතු කරයි.

[පින්තූරය]

පියෝටර් දැන් දෙවි ගැන කියා දෙයි

[24වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

රුසියාව

යුරල් කඳු

මොස්කව්

ශා. පීටර්ස්බර්ග්

ටාටාස්ටාන් ජනරජය

කසාන්

වොල්ගා ගඟ

[25වන පිටුවේ පින්තූරය]

කසාන්කා ගඟ අසල තිබෙන ඉපැරණි කසාන් බලකොටුව

[හිමිකම් විස්තර]

© Michel Setboun/​CORBIS

[26වන පිටුවේ පින්තූරය]

ටාටාවරුන්ගේ ප්‍රියතම ආහාරයක් වන බෙලෙෂ්