නිර්මාණයක්ද?
රංචු පිටින් ගියත් ඇඟේ නොවදී
වාහන අනතුරු නිසා වසරකට මිය යන සංඛ්‍යාව මිලියනයකටත් වඩා අධිකයි. මිලියන 50ක් පමණ තුවාල ලබනවා. එහෙත් මිලියන ගණන් මාළු, රංචු පිටින් පිහිණුවත් උන්ට නම් කිසිම අනතුරක් වෙන්නේ නැහැ. උන්ට එසේ පිහිනා යෑමට හැකි වී තිබෙන්නේ කෙසේද? වාහන අනතුරු වළක්වාගැනීමට උන්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
මේ ගැන සිතන්න: රංචු පිටින් යන මසුන් අවට සිදු වන දේ දැනගන්නේ උන්ගේ ඇස්වලින් සහ උන්ගේ ශරීරයේ පිහිටා තිබෙන අංශ රේඛාවලිනුයි. මෙම සංවේදක ඉන්ද්‍රියන් මාර්ගයෙන් උන් අවට සිටින මාළු කොතරම් දුරකින්ද සිටින්නේ කියා උන්ට දැනගත හැකියි. එම දුර දැනගැනීමෙන් උන් ලබන ප්‍රයෝජන පහත දැක්වෙයි.
-
සමගාමීව යෑම. පරතරයක් තබාගෙන සමාන වේගයකින් පිහිනා යයි.
-
ළඟා වීම. අනික් මාළුවා සිටින්නේ ඈතින් කියා දැනුණොත් වේගය වැඩි කර ඌට ළං වෙයි.
-
ගැටීම් වළක්වාගැනීම. අනික් මාළුන් සමඟ ගැටීම වළක්වාගැනීමට මාර්ගය වෙනස් කරගනියි.
මාළුන්ගේ එම හැකියාවන් තුන අධ්‍යයනය කළ ජපානයේ වාහන නිෂ්පාදකවරයෙක් එකිනෙකට නොගැටී ධාවනය වන කුඩා රොබෝ කාර් කිහිපයක් නිපදවා තිබෙනවා. මාළුවා ඇස යොදාගෙන කරන ක්‍රියාව සඳහා කාර් එකේ තිබෙන්නේ සංනිවේදන තාක්ෂණික ක්‍රමයයි. මාළුවාගේ අංශ රේඛාව වෙනුවට රොබෝ කාර් එකේ තිබෙන්නේ ලේසර් කිරණ මගින් දුර ප්‍රමාණය මැනගැනීමේ ක්‍රමයයි. සමාගම විසින් බලාපොරොත්තු වන්නේ එම තාක්ෂණික ක්‍රමය යොදාගෙන ගැටීම් ඇති නොවන වාහන නිපදවීමටයි. එමගින් “පරිසරයට හිතකර මෙන්ම වාහන තදබදයක් ඇති නොවන ආකාරයෙන් වාහන ධාවනය කිරීමට හැකියාවක් ලැබෙයි.”
“මාළුන් සතු මෙම අතිවිශිෂ්ට හැකියාව අපගේ නිෂ්පාදනවලට යොදාගෙන තිබෙනවා. වාහන සෑදීමේදී මාළුන්ගෙන් අපට තවත් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්.” එසේ පැවසුවේ ඉහත සඳහන් කළ වාහන නිපදවීමේ සමාගමේ ප්‍රධාන ඉන්ජිනේරුවරයා වන ටොෂියූකි ආන්ඩො විසිනුයි.
ඔබේ නිගමනය කුමක්ද? මාළුන්ට එසේ පිහිනා යෑමේ හැකියාව ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය බුද්ධිමත් තැනැත්තෙකුගේ නිර්මාණයක්ද?