මාව අත්හැරියේ නැහැ
මම ඉස්සර හරි දරුණුයි. බීමටත් ඇබ්බැහි වෙලා හිටියා. දවසක් මට ලැබුණු ආරංචියක් නිසා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මම ඒ කතාව දැන් කියන්නම්.
මම ඉපදුණේ 1943 ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රදේශයේ. මං පුංචි කාලේ ඉඳන්ම චණ්ඩියෙක්. ඉස්කෝලේ ලොකු පන්තිවල ඉන්න කාලෙදිම බොන්න පටන්ගත්තා. අපේ තාත්තාත් බීමට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. සාමාන්‍යයෙන් තාත්තා කෙනෙකුයි පුතෙකුයි අතර තියෙන බැඳීමට වඩා වෙනස් බැඳීමක් අපිට තිබුණේ. අපි දෙන්නම පාටිවලට ගිහින් හොඳට කාලා බීලා රණ්ඩුත් කරලයි එන්නේ.
වර්ෂ 1966දී මම ෂර්ලි එක්ක විවාහ වුණා. මට දරුවෝ දෙන්නෙක් ලැබිලා මම තාත්තා කෙනෙක් වුණත් මගේ ජීවිතය වෙනස් වුණේ නැහැ. මට අතමිට හිඟ වෙනකොට මම මරිජුවානා වවලා විකුණන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි බොන්න තියෙන ආසාව නිසා බාර් එකේ චණ්ඩියෙක් විදිහට වැඩ කළා. ඒ කියන්නේ බාර් එකේ රණ්ඩුවක් ඇති වුණාම මම තමයි මැද්දට පනින්නේ. ඒ නිසා මට නොමිලේ බොන්න ලැබුණා. ඒ කාලේ මම මොන ජගතෙකුටවත් භය නැහැ. අනිත් මිනිසුන්ගේ හැඟීම් තුට්ටුවකටවත් මායිම් කළෙත් නැහැ.
“මාත් එක්ක කතා කරන්න කාවවත් එක්කන් එන්න එපා”
ෂර්ලිගේ ඥාති මල්ලි කෙනෙක් කැලිෆෝර්නියාවට ගියා. එහෙදි එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරලා සාක්ෂිකරුවෙක් වෙලා. එයා ඔක්ලහෝමාවට ආවට පස්සේ එයා ඉගෙනගත්ත දේවල් ෂර්ලිටත් කිව්වා. ෂර්ලි ඉක්මනින් තේරුම්ගත්තා ඒක තමයි සත්‍ය ආගම කියලා. ෂර්ලිත් බයිබලය හොඳට පාඩම් කරලා 1976දී සාක්ෂිකාරියක් ලෙස බව්තීස්ම වුණා. ඒත් මම වෙනස් වුණේ නැහැ. මම ෂර්ලිට කිව්වා “මාත් එක්ක කතා කරන්න කාවවත් එක්කන් එන්න එපා. ඒකෙන් කිසි වැඩක් වෙන්නෑ” කියලා.
ෂර්ලි කවදාවත් බයිබලයේ තියෙන ප්‍රතිපත්ති කැඩුවේ නැහැ. ඒ වගේම මට තිබුණු ආදරය අඩු කළෙත් නැහැ. හැමදාම එයයි දරුවොයි සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න කලින් හරිම ආදරෙන් එයා මගෙන් අහනවා එනවද කියලා. “තාත්තත් එනවා නම් කොච්චර හොඳද” කියලා දුවත් කියනවා.
මම ගොඩාක් නීති විරෝධී වැඩ කරපු නිසා මං ළඟ හැම තිස්සේම පිස්තෝලයක් තිබුණා. සමහර වෙලාවට දවස් ගණන් මම ගෙදර එන්නේ නැහැ. මේ නිසා අපි දෙන්නා අතර පොඩි පොඩි ප්‍රශ්නත් ඇති වුණා. මම ගෙදර ආවට පස්සේ ෂර්ලිව ෂේප් කරගන්න රැස්වීම් දෙක තුනකට යනවා. ඒ ගිය හැම වෙලාවකම සාක්ෂිකරුවන් මට ආදරයෙන් සැලකුවා. එයාලා උගන්වන දේවල යම් හරයක් තියෙනවා කියලත් මට හිතුණා.
1 කොරින්ති 15:33) ඒක පෙන්නුවාම මට කේන්ති ගිහින් මම පාඩම නැවැත්තුවා. ඒ විතරක් නෙවෙයි මම වැඩි වැඩියෙන් නරක දේවල් කරන්නත් පටන්ගත්තා. මගේ මෝඩ හැසිරීම නිසා ෂර්ලියි දරුවොයි මොන තරම් දුක් වෙන්න ඇද්ද කියලා මට දැන් හිතෙනවා.
කාලයක් යනකොට සාක්ෂිකරුවන්ගේ සභාවේ වැඩිමහල්ලෙක් බයිබලය පාඩම් කරන්න කැමතිද කියලා ඇහුවාම මම කැමති වුණා. ඒත් මට ගොඩක් නරක යාළුවෝ හිටපු නිසා මම ඉගෙනගත්ත දේවලට එකඟව ජීවත් වෙන්න බැරි වුණා. මේක තේරුම්ගත්ත වැඩිමහල්ලා නරක යාළුවෝ ආශ්‍රය කිරීම මොන තරම් භයානකද කියලා මට බයිබලෙන් පෙන්නුවා. (“අපිට ඔයාව අමතක වෙලා නැහැ”
මගේ ජීවිතය වෙනස් කළ ආරංචිය මට ලැබුණේ 1983දී. ඒ ෂර්ලිගේ නංගිගේ පුතාගේ මරණය. මං ඒ පුතාට ගොඩක් ආදරෙයි. ඒ මරණය මගේ ජීවිතයට ලොකු වේදනාවක් වුණා. මගේ බිරිඳටයි දරුවන්ටයි මීට වඩා ආදරෙන් ඉන්න ඕනේ කියලා මට තේරුණේ එදයි. මළ ගෙදරදී ජෝන් කියන වයසක සාක්ෂිකාර සහෝදරයෙක් මගේ කරට අත දාලා මෙහෙම කිව්වා, “අපිට ඔයාව අමතක වෙලා නැහැ.” ඒ වචන ටික මට ලොකු ශක්තියක් වුණා. මම පහුවෙනිදාම ජෝන්ට කතා කරලා කිව්වා මට ආයෙත් බයිබලය ඉගෙනගන්න ඕනේ කියලා.
අපි මුලින්ම සාකච්ඡා කළේ යාච්ඤාව ගැන. මම ජෝන්ට කිව්වා මම යාච්ඤා කරලා බලන්නම් කියලා. පහුවෙනිදා මම අවංක විදිහට කරන්න පුළුවන් රස්සාවක් හෙව්වා. ඒත් වැඩක් වුණේ නැහැ. මම වාහනේ පදවගෙන යන ගමන් හයියෙන් මේ විදිහට යාච්ඤා කළා. “යෙහෝවා දෙවියනි, ඔබ ආස නම් මම මේ පළාතේ ඉන්නවාට මට මෙහෙන් රස්සාවක් හොයලා දෙන්න.” ඒ විදිහට යාච්ඤා කරන එක මෝඩකමක් කියලා මට හිතුණා. යෙහෝවා දෙවි ‘යාච්ඤා අසන තැනැත්තා’ කියන විශ්වාසය වැඩි වෙන්නත් මගේ යාච්ඤාවේ ගුණය වැඩි වෙන්නත් තව හුඟක් කල් යනවා කියලා මම තේරුම්ගත්තා. (ගීතාවලිය 65:2) ඒත් පුදුමේ කියන්නේ මට පහුවදාම රස්සාවක් ලැබුණා.
යාච්ඤාව කොයි තරම් බලවත්ද කියලා මම අද්දැක්කා. ඒකෙන් යෙහෝවා දෙවියන්ට තියෙන ආදරයත් ඔහුගේ මඟ පෙන්වීම් ජීවිතයට අත්‍යවශ්‍යයි කියලත් මම තේරුම්ගත්තා
ඒකෙන් පස්සේ මම වැඩි වැඩියෙන් යාච්ඤා කළා. දෙවියන්ගේ ආශීර්වාදත් මට ලැබුණා. මට මුල ඉඳන්ම දෙවියන් ගැන විශ්වාසයක් තිබුණත් මේ ලබපු අද්දැකීම්වලින් බයිබලයේ සඳහන් මේ වචන ඇත්ත කියලා මට තේරුණා. බයිබලයේ කියන්නේ ‘දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙනවා’ කියලයි. (1 යොහන් 5:14) යාච්ඤාව කොයි තරම් බලවත්ද කියලා මම අද්දැක්කා. ඒකෙන් යෙහෝවා දෙවියන්ට තියෙන ආදරයත් ඔහුගේ මඟ පෙන්වීම් ජීවිතයට අත්‍යවශ්‍යයි කියලත් මම තේරුම්ගත්තා.—හිතෝපදේශ 3:5, 6.
මම ආයෙත් රැස්වීම් යන්න පටන්ගත්තාම සහෝදරයෝ ඉස්සර වගේම මාව ආදරයෙන් පිළිගත්තා. ඒ අය “හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම” කරනවා කියන එකත් මම දැක්කා. (1 පේතෘස් 1:22) බයිබලයේ තියෙන මේ උපදෙස පිළිගන්න එක මොන තරම් ඥානවන්ත දෙයක්ද කියලා මට තේරුණා. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.”—හිතෝපදේශ 13:20.
මම කාලයක් මගේ පවුලේ අයට ලොකු දුකක්, වේදනාවක් දුන්නා. ඒත් දැන් මම හොඳ ස්වාමිපුරුෂයෙක්, ආදරණීය පියෙක් වෙන්න උත්සාහ කරනවා. ස්වාමිපුරුෂයන්ට බයිබලයේ කියන්නේ ‘තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කරන්න’ කියලයි. මම ඒක අදාළ කරගත්තා. ඒ වගේම “පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති නොකරන්න. මන්ද එසේ කිරීමෙන් ඔවුන් තුළ කලකිරීමක් ඇති වේ” කියන උපදෙසත් මම පිළිපැද්දා.—එෆීස 5:28; කොලොස්සි 3:21.
මම බයිබලයේ තියෙන ඒ උපදෙස් අදාළ කරගත්ත නිසා අපේ පවුලේ ලොකු වෙනසක් ඇති වුණා. මට එතකොට හිතුණා “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියන යේසුස් කියපු දේ මොන තරම් සත්‍යයද කියලා.—මතෙව් 5:3.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකදී මගේ දුවව සම්මුඛ සාකච්ඡාවකට කැඳවලා තිබුණා. ඒ සමුළුව තිබුණේ 1984 ජූනි මාසයේදී. ඒ වෙලාවෙදි මගේ ඉස්සර ජීවිතයයි දැන් ජීවිතයයි හුඟක් වෙනස් කියලා දුව කිව්වා. දුව අවසානෙට කිව්වේ තාත්තා අද බව්තීස්ම වෙන්න ඉස්සරහ පේළියේ වාඩිවෙලා ඉන්නවා දකින එක තරම් සතුටක් මට තවත් නැහැ කියලයි.
මං වගේ අය ගැනත් දෙවියන් සැලකිලිමත් වෙන එක ගැන මම ඇත්තෙන්ම දෙවිට ණයගැතියි. මම ෂර්ලිටයි මගේ දරුවන්ටයි ස්තුතිවන්ත වෙනවා මම ජීවිතයේ වෙනස්කම් කරනකල් ඉවසීමෙන් බලා හිටියට. ෂර්ලි දෙවිට විශ්වාසවන්ත ක්‍රිස්තියානියෙක්. එයා භාර්යාවන්ට බයිබලයේ දීලා තියෙන මේ උපදෙස අකුරටම පිළිපැද්දා. “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත් ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ.” (1 පේතෘස් 3:1) එයා ඉවසීමෙන් හොඳ භාර්යාවක් විදිහට වැඩ කරපු නිසා තමයි මට පියවි සිහියට එන්නත් සත්‍යය පිළිගන්නත් පුළුවන් වුණේ.
තමන්ගේ ස්වාමිපුරුෂයා හරි භාර්යාව හරි සත්‍යය පිළිගන්නේ නැත්නම් මම ඒ වගේ අයට කියන්නේ “මුලදී බැහැයි කියලා හිතුණත් ඉවසන්න. දෙවිගේ වචනයට තියෙන බලයටත් ඔයගොල්ලන්ගේ හොඳ ආදර්ශයටත් පුළුවන් වෙයි ඒ අයව වෙනස් කරන්න.”