Skip to content

පටුනට යන්න

ත්‍රිත්වය බයිබලයේ ඉගැන්වීමක්ද?

ත්‍රිත්වය බයිබලයේ ඉගැන්වීමක්ද?

ලෝක ජනගහනයෙන් බිලියන දෙකකට වඩා වැඩි පිරිසක් ක්‍රිස්තියානීන්. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ත්‍රිත්වය යන ඉගැන්වීම එනම් පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන් යන තිදෙනාම එක්කෙනෙක් කියන ඉගැන්වීම පිළිගන්නවා. ත්‍රිත්වය ක්‍රිස්තියානි පල්ලිවල ප්‍රධාන ඉගැන්වීමක් බවට පත් වුණේ කොහොමද? වැදගත්ම ප්‍රශ්නය නම් එය බයිබලයට එකඟද යන්නයි.

බයිබලය ලියා අවසන් කළේ ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී. ඒත් ත්‍රිත්ව ඉගැන්වීම කරළියට ආවේ ඊට සියවස් දෙකකට පසුව. එනම් ක්‍රි.ව. 325දී කුඩා ආසියාවේ නයිසියා නගරයේ (වර්තමාන තුර්කියේ ඉස්නික්) පැවැත්වූ පළමු කතෝලික ධර්ම මන්ත්‍රණ සභාවේදී. විශ්වකෝෂයකට අනුව එහිදී යේසුස් සහ දෙවියන් පිළිබඳව විග්‍රහයක් ඇතුළත් ‘මුල්ම සම්මත ක්‍රිස්තියානි ඉගැන්වීම්’ ගැන යෝජනා සාකච්ඡා කෙරුණා. (New Catholic Encyclopedia) බයිබලය ලියා සියවස් දෙකකට පසුව දෙවියන් සහ යේසුස් ගැන තවදුරටත් පැහැදිලි කිරීමට අවශ්‍ය වුණේ ඇයි? ඔවුන් දෙදෙනා ගැන එහි සඳහන් දේ අපැහැදිලිද?

යේසුස් යනු දෙවියන්ද?

කොන්ස්ටන්ටයින් රජ අතට රෝම අධිරාජ්‍යය පත් වුණ කාලයේදී දෙවියන් සහ යේසුස් කියන්නේ කවුද කියන කාරණය ගැන ක්‍රිස්තියානීන් අතර බෙදීමක් තිබුණා. යේසුස් දෙවියන්ද නැත්නම් දෙවියන් ඔහුව නිර්මාණය කළාද යන මතභේදය විසඳීමට පල්ලි නායකයන්ව රජු නයිසියාවට කැඳෙව්වා. ඔහුට ඕනෙ වුණේ ඒ ගැන සත්‍යය දැනගැනීම නොව ආගම නිසා අධිරාජ්‍යය තුළ ඇති වී තිබූ බෙදීම වැළැක්වීමයි.

“අපට සිටින්නේ එක දෙවි කෙනෙක්ය. එනම් පියාණන්ය.”—1 කොරින්ති 8:6

නයිසියාවට පැමිණි 100කට අධික බිෂොප්වරුන්ගෙන් රජ ඉල්ලා සිටියේ ඒකමතික තීරණයකට එන්න කියායි. ඉන් පලක් නොවූ නිසා රජ, ග්‍රීක දර්ශනවාදී සංකල්පයකින් ඈඳාගත් යෙදුමක් (හෝමෝඌසිඔස්) යොදාගෙන යේසුස් යනු දෙවියන් සමඟ ‘එකම ස්වභාවය ඇත්තාවූ’ කෙනෙක් යන අපැහැදිලි මතය යෝජනා කළා. පසු කාලයේදී පල්ලිවල ඉගැන්වූ ත්‍රිත්ව ඉගැන්වීමට මුල් වුණේ බයිබලයට පටහැනි ඒ ග්‍රීක දර්ශනවාදී අදහසයි. හතරවන සියවස අවසානයේදී අද පල්ලිවල උගන්වන විදිහටම ත්‍රිත්වය ගැන උගන්වන්න පටන්ගත්තා. එයට ත්‍රිත්වයේ තුන්වන පාර්ශ්වය ලෙස හැඳින්වූ ශුද්ධාත්මයත් එකතු කරගත්තා.

මේ ගැන දැනගත යුත්තේ ඇයි?

‘සැබෑ නමස්කාරකයන් දෙවිට නමස්කාර කරන්නේ දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි’ කියා යේසුස් කිව්වා. (යොහන් 4:23) ඒ සැබෑ දැනුම තියෙන්නේ බයිබලයේ. (යොහන් 17:17) පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන් කියා තිදෙනෙක් එක් කෙනෙක් තුළ වැඩ සිටිනවා කියා බයිබලයේ උගන්වනවද? අපි බලමු.

මුලින්ම “ත්‍රිත්වය” කියන වචනය බයිබලයේ කොහේවත් සඳහන් වී නැති බව මතක තබාගත යුතුයි. දෙවනුව යේසුස් තමන් දෙවිට සමානයි කියා කවදාවත් නොකී බවත් ඒ වෙනුවට ඔහු දෙවියන්ට නමස්කාර කළ බවත් මතක තබාගත යුතුයි. (ලූක් 22:41-44) තුන්වන කාරණය නම් යේසුස්ට ඔහුගේ ගෝලයන් සමඟ තිබුණු  සම්බන්ධයයි. ඔහු නැවත නැඟිටුණාට පසුවත් ගෝලයන්ව හැඳින්නුවේ “මගේ සහෝදරයන්” කියායි. (මතෙව් 28:10) යේසුස් හා දෙවියන් එක් කෙනෙක් නම් ඒ ගෝලයන් සියලු බලැති දෙවියන්ගේ සහෝදරයන් විය යුතුයි. එය කොහෙත්ම විය නොහැකි දෙයක්. එම ගෝලයන් යේසුස්ව ගැලවුම්කරු ලෙස විශ්වාස කළ නිසා දෙවිගේ එකම පුත්‍රයා වන යේසුස් මෙන් දෙවිගේ පුත්‍රයන් වීමට ඔවුන්ටත් අවස්ථාව ලැබුණා. (ගලාති 3:26) දැන් අපි නයිසියා නගරයේ පැවැත්වූ මන්ත්‍රණ සභාවේදී සම්මත කරගත් ඉගැන්වීම බයිබලයට එකඟද නැද්ද කියා බයිබලයෙන්ම බලමු.

නයිසියා නගරයේදී සම්මත කරගත් ඉගැන්වීමේ කියන දේ:

‘දෙවියන්ගෙන් වන දෙවි වූ, ආලෝකයෙන් වන ආලෝකය වූ, සැබෑ දෙවියන්ගෙන් වන සැබෑ දෙවි වූ, පියාණන් හා එකම ස්වභාවය ඇත්තාවූ එකම ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපි අදහමු.’

බයිබලයේ කියන දේ:

  • “පියාණන් වහන්සේ මට [යේසුස්ට] වඩා උතුම්ය.”—ජොහන් 14:28, නව අනුවාදය.

  • “මම [යේසුස්], මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේද වෙතට නඟින්නෙමි.”—ජොහන් 20:17, නව අනුවාදය.

  • “අපට ඇත්තේ එකම දෙවි වන පියාණන් වහන්සේය.”—1 කොරින්ති 8:6, නව අනුවාදය.

  • “අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා!”—1 පේදුරු 1:3, නව අනුවාදය.

  • “ආමෙන් [යේසුස්] නමැත්තාවූ . . . දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මුලවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.”—එළිදරව්ව 3:14, පැරණි අනුවාදය. *

^ par. 17 බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ “සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද?” සහ “යේසුස් ක්‍රිස්තුස් කවුද?” යනුවෙන් පාඩම් දෙකක් තියෙනවා. එම පොත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ලබාගන්න හෝ www.mt1130.com/si යන අපේ වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්.