Skip to content

පටුනට යන්න

 පිළිසඳරක් | එල්ඩා නෙබොල්සින්

පියානෝ වාදන ශිල්පියෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

පියානෝ වාදන ශිල්පියෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

එල්ඩා නෙබොල්සින් උස්බෙකිස්තානයේ ජාත්‍යන්තරව පිළිගත් පියානෝ වාදන ශිල්පියෙක්. ඔහු ලන්ඩන්, මොස්කව්, ශාන්ත පීටර්ස්බර්ග්, නිව් යෝර්ක්, පැරිස්, රෝමය, සිඩ්නි, ටෝකියෝ සහ වියානා වැනි සුප්‍රසිද්ධ නගරවල සංගීත වාද්‍ය කණ්ඩායම්වල ප්‍රධාන පියානෝ වාදන ශිල්පියා හැටියට කටයුතු කර තිබෙනවා. සෝවියට් දේශයේ හැදුණු ඔහු කුඩා කාලයේදී දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. නමුත් පසු කාලයේදී මිනිසුන් දෙවියන්ගේ නිර්මාණයක් කියලා ඔහු විශ්වාස කළා. අපි ඔහු ගැනත් ඔහුගේ විශ්වාසය ගැනත් අහලා බලමු.

සංගීතයට යොමු වුණේ කොහොමද?

මගේ දෙමව්පියෝ පියානෝ වාදන ශිල්පීන්. එයාලා මට අවුරුදු පහේදිම පියානෝව වාදනය කරන්න ඉගැන්නුවා. පස්සෙ මම සහජ දක්ෂතා තියෙන ශිෂ්‍යයන් වෙනුවෙන් ඇති සංගීත විද්‍යාලයකට ඇතුල් වුණා.

විශාල සංගීත කණ්ඩායමක් සමඟ වාදනය කරද්දී මුහුණ දෙන අභියෝග මොනවාද?

සංගීත කණ්ඩායම් එකිනෙකට වෙනස්. නිර්මාණය වෙන සංගීතයත් මෙහෙයවන්නාට අනුව වෙනස් වෙනවා. වාදන ශිල්පියෙක්ට තියෙන අභියෝගය තමයි මෙහෙයවන්නාගේ විධානයට අනුව වාදනය කරන එක. ඒක හරියට මිතුරන් කණ්ඩායමක් සංවාදයක යෙදෙනවා වගෙයි. එක්කෙනෙක්ම මූලිකත්වය ගන්නේ නැතුව හැමෝටම අවස්ථාවක් දෙන්න ඕනේ. අපි පෙරහුරු කරන්නෙත් එකපාරයි නැත්නම් දෙපාරයි. ඉතිං ලේසි නැහැ.

පුහුණු වෙන්න කොච්චර කාලයක් වැය කරනවාද?

සාමාන්‍යයෙන් දවසට පැය තුනක් විතර මං පුහුණු වෙනවා. ඒ වගේම මම වාදනය කරන කොටස අධ්‍යයනය කරනවා. තව දෙයක් තමයි මම ඒ සංගීතඥයාගේ වෙනත් නිර්මාණවලටත් ඇහුම්කන් දෙනවා. ඒකෙන් මට වාදනය කරන්න යන සංගීතය ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා.

හොඳ පියානෝ වාදකයෙක්ව හඳුනගන්නේ කොහොමද?

ඔහුට පුළුවන් වෙන්න ඕනේ පියානෝවට පණ දෙන්න. හරියට දක්ෂ ගායකයෙක් ගීතයක් ගායනා කරනවා වගේ. ඒක මේ විදිහට පැහැදිලි කරමු. බටනළාවෙන් හා අපේ කටහඬෙන් නිකුත් වෙන නාදය ඉහළ යවන්න පුළුවන්. ඒත් පියානෝවෙන් ශබ්දය නිපදවෙන්නේ එහි ඇතුලේ තියෙන තත්වලට වදින පහරකින් නිසා නාදය වැඩි කරන්න බැහැ. ඒ නිසා නාදය අඩු නොවී තියාගන්න ඇඟිලි, මැණික් කටුව සහ පියානෝවේ දකුණු පැඩලය දක්ෂ විදිහට යොදාගන්න ඕනේ. එහෙම කරද්දී වාදනය කළ ස්වරයේ හඬ අඩු නොවී තියාගන්නත් හඬේ විවිධත්වයක්  ඇති කරන්නත් පුළුවන්. පියානෝ වාදන ශිල්පියෙක් දක්ෂ නම් එයාට පුළුවන් වෙනවා පියානෝවෙන් ඕනෑම සංගීත භාණ්ඩයක් අනුකරණය කරන්න. මේ ලෝකෙ තියෙන ලස්සනම හඬ තමයි මිනිස් කටහඬ. ඒ හා සමාන හඬක් පියානෝවෙනුත් ඉදිරිපත් කරන්න පුළුවන්.

පේන විදිහට ඔයා සංගීතයට ගොඩක් ලැදියි වගේ.

මට නම් සංගීතය කියන්නේ වචනයෙන් කියාගන්න බැරි හැඟීම්, ප්‍රකාශ කරන්න පුළුවන් හොඳම මාධ්‍යය.

දෙවියන් ගැන උනන්දුවක් ඇති වුණේ කොහොමද?

මගේ තාත්තා මොස්කව්වලින් ගෙනාපු පොත්වලින් ගේ පිරිලා තිබුණා. මගේ ගොඩක්ම හිත ගියේ ඉතිහාසය සහ ඊශ්‍රායෙල් ජාතිය ගැන සඳහන් බයිබල් කතන්දර පොතට. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පොතක් වන ‘පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක’ කියන පොතටත් මං ආසයි. * ඒ පොතේ බයිබල් ඉගැන්වීම් පැහැදිලි කරලා තිබුණු විදිහ මගේ හිතට කාවැදුණා. මං සංගීතය වැඩි දුර හදාරන්න 1991දී ස්පාඤ්ඤයට යද්දී ඒ පොතත් අරගෙන ගිහින් කිහිප වතාවක්ම කියෙව්වා. ඒ පොතේ සාක්ෂි ඉදිරිපත් කරලා තිබුණේ තර්කාණුකූල විදිහට මිසක් හැඟීම් මත නෙමෙයි කියලා මට හොඳින් තහවුරු වුණා.

මිනිසුන්ට සදාකාලයටම ජීවත් වෙන්න පුළුවන් කියලා බයිබලයේ දීලා තියෙන පොරොන්දුව මගේ කුතුහලය ඇවිස්සුවා. මං ඒ ගැන ගොඩක් හිතුවා. ඒ වෙද්දිත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මට මුණගැහිලා තිබුණේ නැහැ. ඒත් මං හිතාගත්තා එයාලව මුණගැහුණොත් එයාලත් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන සාකච්ඡා කරනවා කියලා.

සාක්ෂිකරුවන්ව මුණගැහුණේ කොහොමද?

ටික දවසකට පස්සේ මම දැක්කා කාන්තාවන් දෙන්නෙක් බයිබලය අතේ තියාගෙන ඉන්නවා. එයාලා දේශනා සේවය කළේ හරියට බයිබල් කාලේ හිටපු ක්‍රිස්තියානීන් වගේ. මේ අය මං කියවපු පොතේ විස්තර කරලා තිබුණු අය වගේ කියලා මට හිතුණා. වැඩි කල් යන්න කලින් මම සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා. අද මම නිර්මාතෘ ගැන අනිත් අයට උගන්වලා ලොකු සතුටක් ලබනවා.

කලින් ඔයා දෙවියන්ව විශ්වාස කළේ නැහැනේ, කොහොමද වෙනස් වුණේ?

සංගීතයම තමයි හේතුව. මිනිස්සුන්ට සංගීතය රස විඳින්න හැකියාවක් තිබුණට සතුන්ට ඒක නැහැ. අපේ හිතට දැනෙන දුක, වේදනාව, සතුට වගේ ඕනෑම හැඟීමක් සංගීතය හරහා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. සංගීතයක් ඇහෙද්දි අපි ඉබේටම නැටවෙන්නේ ඒ නිසයි. මට ප්‍රශ්නයක් තිබුණා. “බේරී ජීවත් වන්නේ ශක්තිමත්ම සතාය” යන පරිණාමවාදීන්ගේ සංකල්පයට සංගීත හැකියාව කොහොමද ගැළපෙන්නේ? අපිට ජීවත් වෙන්න සංගීතය අත්‍යවශ්‍යද? නැහැනේ. අනික මොසාර්ට් සහ බේතෝවන් වගේ ශ්‍රේෂ්ඨ සංගීතඥයන්ගේ හැකියාවන් දිහා බලද්දී මිනිස් මොළය ඉබේ ආවා කියලා හිතන්න බැහැ. මිනිස් මොළය බුද්ධිමත් සහ ප්‍රේමණීය නිර්මාතෘවරයෙක් සෑදු දෙයක් කියලා හිතන එක සාධාරණයි.

බයිබලය ලස්සනට ලියැවුණු විශිෂ්ට සංගීත නිර්මාණයක් වගෙයි. හැම අදහසක්ම ලස්සනට පෙළගස්වලා තියෙනවා. ඒ තුළින් දෙන්න හදන පණිවිඩය හැම කෙනෙක්ගෙම හිතට කාවදිනවා

බයිබලය දෙවියන්ගේ වචනය කියලා විශ්වාස කරන්න ඔයාට හේතු වුණේ මොකක්ද?

බයිබලයට පොත් 66ක් ඇතුළත් වුණත් ඒක ලියන්න අවුරුදු 1600ක් ගියත් ලේඛකයන් 40 දෙනෙක් හිටියත් ඒකේ මුල ඉඳන් අගට එකඟතාවක් තියෙනවා. මං කල්පනා කළා ඒ වගේ පොතක් ලියන්න පුළුවන් කාටද කියලා. උත්තරේ දෙවියන්ට විතරයි. මට හිතෙන්නේ බයිබලය ලස්සනට ලියැවුණු විශිෂ්ට සංගීත නිර්මාණයක් වගෙයි. හැම අදහසක්ම ලස්සනට පෙළගස්වලා තියෙනවා. ඒ තුළින් දෙන්න හදන පණිවිඩය හැම කෙනෙක්ගෙම හිතට කාවදිනවා.

^ par. 15 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් ඉගැන්වීම් පැහැදිලි කිරීමට දැන් යොදාගන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතයි. එය www.mt1130.com/si වෙබ් අඩවියෙන්ද ලබාගන්න පුළුවන්.