Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

භාවනා කිරීම හෝ මෙනෙහි කිරීම

භාවනා කිරීම හෝ මෙනෙහි කිරීම

ඉන් අදහස් කරන්නේ මොකක්ද?

“ඔබේ සියලු ක්‍රියා ගැන මම ගැඹුරින් කල්පනා කරමි. ඔබ කළ දේවල් ගැන සිතා බලමි.”ගීතාවලිය 77:12.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

ඒ ගැන මිනිස්සුන්ට විවිධ අදහස් තියෙනවා. ඒවායින් බොහොමයක් පෙරදිග ආගම්වලින් එන අදහස්. එක් ලේඛකයෙක් ඒ ගැන කිව්වේ “පැහැදිලිව දකින්න නම් මනස හිස් කරගන්න ඕනේ” කියලයි. ඔහු අදහස් කළේ වචන කිහිපයක් ගැන දිගටම සිතීමෙන් හෝ යම් දෙයක් දිහා දිගටම බලා සිටීමෙන් මනසේ සිතුවිලි අයින් කිරීමට හැකි වෙන නිසා මනසට සහනයත් පැහැදිලිව හිතන්න හැකියාවත් ලැබෙනවා කියලයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

ගැඹුරින් සිතා බලන්න බයිබලයේත් උනන්දු කරනවා. (1 තිමෝති 4:15) නමුත් ඉන් අදහස් කරන්නේ අරමුණක් ඇතුව දෙවියන්ගේ ගුණාංග, ප්‍රමිති සහ දෙවියන්ගේ නිර්මාණ වැනි යහපත් දේවල් ගැන හොඳින් සිතා බැලීමයි. දෙවිගේ සේවකයෙක් එක් අවස්ථාවක මේ විදිහට යාච්ඤා කළා. “ඔබේ සියලු ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කළෙමි. . . . ඔබ කළ දේවල් ගැන මහත් ආශාවකින් කල්පනා කළෙමි.” (ගීතාවලිය 143:5) ඒ වගේම “මම යහනේ සිටින විට ඔබව සිහි කළෙමි. මැදියම් රැයේ මම ඔබ ගැන ගැඹුරින් කල්පනා කළෙමි” කියාද ඔහු යාච්ඤා කළා.ගීතාවලිය 63:6.

ගැඹුරින් කල්පනා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

“ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි.”හිතෝපදේශ 15:28.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

අපි ගැඹුරින් කල්පනා කරද්දී අපිට අපේ හැඟීම් පාලනය කරගන්නත් යහපත් ගතිගුණ වර්ධනය කරගන්නත් පුළුවන් වෙනවා. එවිට අවබෝධයෙන් කතා කරන සහ ක්‍රියා කරන පුද්ගලයන් වෙන්නත් අපිට පුළුවන්. (හිතෝපදේශ 16:23) ජීවිතය සතුටින් ගත කරන්නත් ඒක අපිට උදව් වෙනවා. දෙවියන් ගැන ගැඹුරින් කල්පනා කරන කෙනෙක් ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “ඔහු දිය දහරා අසල සිටෙව්වාවූ, නියම වාරයට පල හටගන්නාවූ, කොළ මැලවී නොයන්නාවූ ගසක් මෙන් වන්නේය. ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.”ගීතාවලිය 1:3.

ගැඹුරින් කල්පනා කරද්දී දේවල් අවබෝධ කරගැනීමේ හැකියාව සහ මතක ශක්තිය වර්ධනය වෙනවා. උදාහරණයකට අපි යම් බයිබල් විෂයක් හෝ නිර්මාණයක් ගැන අධ්‍යයනය කරද්දී ඒ ගැන ගොඩක් තොරතුරු දැනගන්නවා. අපි ඒ තොරතුරු ගැන ගැඹුරින් කල්පනා කරද්දී ඉගෙනගත්ත කරුණු එකිනෙකට සම්බන්ධ වෙන විදිහත් ඒ ගැන දැනටමත් දන්න තොරතුරුවලට ඒවා සම්බන්ධ වෙන විදිහත් අපිට තේරුම්ගන්න පුළුවන් වෙනවා. එවිට ඒ විෂය ගැන පුළුල් අවබෝධයක් ලබාගන්න හැකි වෙනවා. එය හරියට ලී කඳන් ගෙනල්ලා ඒවා කපලා මැදලා එකිනෙකට සම්බන්ධ කරලා ගෙයක් හදනවා හා සමානයි.

ගැඹුරින් කල්පනා කරන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙද?

“සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය. ඒ රැවටිලිකාර සිත තේරුම්ගත හැක්කේ කාටද?”යෙරෙමියා 17:9.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“මිනිසුන්ගේ සිතින් හානිකර සිතුවිලි නික්මෙයි. උදාහරණයක් වශයෙන් වේශ්‍යාකම, සොරකම, මිනී මැරීම, අනාචාරය, තණ්හාව, දුෂ්ට ක්‍රියා, වංචාව, නින්දිත හැසිරීම, ඊර්ෂ්‍යාවෙන් බැලීම . . . තම මතයේ එල්බගෙන සිටීම යනාදි සියල්ල නික්මෙන්නේ සිතිනුයි.” (මාක් 7:21, 22) ඒ නිසා අපි කල්පනා කරන දේවල් සම්බන්ධයෙන් පරීක්ෂාකාරී වෙන්න ඕනේ. ගින්නක් පාලනය කළේ නැත්නම් ලොකු විනාශයක් සිද්ධ වෙන්න පුළුවන් වගේ නුසුදුසු සිතුවිලි පාලනය කළේ නැත්නම් වැරදි දේවල් කරන්න අපි පෙලඹෙන්න පුළුවන්.යාකොබ් 1:14, 15.

බයිබලයේ අපිව උනන්දු කරන්නේ ‘සැබෑ, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට’ මනස යොමු කරන්න කියායි. (ෆිලිප්පි 4:8, 9) ඒ වගේ යහපත් දේවල් ගැන අපි ගැඹුරින් කල්පනා කරනවා නම් අපේ ජීවිතය තුළ හොඳ ගුණාංග වර්ධනය වෙයි. අපේ කතාබහ ප්‍රියමනාප වෙයි. අනිත් අයව කිට්ටු මිතුරන් කරගන්නත් අපට පුළුවන් වෙයි.කොලොස්සි 4:6.