බයිබලයෙන් පිළිතුරක්
සිහින
දෙවියන් අපට සිහින මාර්ගයෙන් කතා කරනවාද?
“දානියෙල් දර්ශන ඇතුළත් සිහිනයක් දුටුවේය. ඒ සිහිනයේ දුටු සියල්ල ඔහු විස්තර ඇතුව ලියා තැබුවේය.”
—දානියෙල් 7:1.
බයිබලයේ කියන්නේ මෙහෙමයි.
අතීතයේදී දෙවියන් මිනිසුන්ට සමහර පණිවිඩ ලබා දුන්නේ සිහින මාර්ගයෙන්. ඒත් ඒවා අපි දකින සිහින වගේ අපැහැදිලි, අර්ථයක් නැති ඒවා නෙමෙයි. දෙවියන් සිහින දකින්න සැලැස්සුවේ යම් අරමුණක් ඇතුවයි. උදාහරණයකට අනාගතවක්තෘවරයෙක් වූ දානියෙල්, මෘගයන් කිහිපදෙනෙක් ගැන සිහිනයක් දැක්කා. එම මෘගයන්ගෙන් සංකේතවත් වුණේ බැබිලෝනියේ සිට අපේ කාලය දක්වා පවතින ලෝක අධිරාජ්‍යයන්. (දානියෙල් 7:1-3, 17) හෙරොද් රජ කුඩා යේසුස්ව මරන්න උත්සාහ කළ අවස්ථාවේදී දරුවාව සහ බිරිඳව රැගෙන ඊජිප්තුවට පලා යන්න කියලා දෙවියන් යෝසෙප්ට කිව්වේත් සිහිනයකින්. ඒ නිසා යේසුස්ගේ ජීවිතය බේරුණා. හෙරොද් රජ මැරුණට පස්සේ නැවත මව්බිමට යන්න කියලා යෝසෙප්ට දැන්නුවෙත් සිහිනයකින්.
අදත් සිහින මාර්ගයෙන් දෙවියන් අපිට කතා කරනවාද?
“ලියවිලිවල සඳහන් වී ඇති දේ ඉක්මවා යමින් ක්‍රියා නොකරන්න.”
—1 කොරින්ති 4:6.
බයිබලයේ කියන්නේ මෙහෙමයි.
දෙවියන් සිහින මාර්ගයෙන් මිනිසුන්ට කතා කරපු වාර්තා ඇතුළත් වෙලා තියෙන්නේ බයිබලයේ. 2 තිමෝති 3:16, 17 බයිබලය ගැන මෙහෙම සඳහන් වෙනවා. “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්රයෝජනවත්ය. එමගින් දෙවිට විශ්වාසවන්තව සිටින මිනිසා සියලු දේ කිරීමට සමත් කෙනෙක් එනම්, සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක් වනු ඇත.”
දෙවියන් ගැන, ඔහුගේ ගුණාංග ගැන, සදාචාර ප්‍රමිති ගැන සහ මනුෂ්‍යයන් සඳහා ඔහු අරමුණු කරලා තියෙන හැම දෙයක් ගැනම බයිබලයේ සඳහන් වෙනවා. අපිව “සියලු දේ කිරීමට සමත්” කෙනෙක් කරන්න ඒ තොරතුරු ප්‍රමාණවත්. ඒ නිසා දැන් දෙවියන්ට සිහින මාර්ගයෙන් පණිවිඩ ලබා දෙන්න අවශ්‍ය නැහැ. අපේ අනාගතය ගැනත් දෙවියන් අපෙන් බලාපොරොත්තු වන දේ ගැනත් දැනගන්න අපි කරන්න ඕනේ බයිබලය ඉගෙනගැනීමයි. ඒ නිසයි ‘ලියවිලිවල සඳහන් වී ඇති දේ ඉක්මවා යමින් ක්‍රියා කරන්න’ එපා කියලා බයිබලයේ කියන්නේ. ඕනම කෙනෙක්ට දැන් බයිබලය කියවන්න අවස්ථාව තියෙනවා.
බයිබලයේ සඳහන් කරලා තියෙන සිහින සහ දර්ශන විශ්වාස කරන්න පුළුවන්ද?
“මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.”
—2 පේතෘස් 1:21.
බයිබලයේ කියන්නේ මෙහෙමයි.
බයිබලයේ තියෙන බොහෝ සිහින සහ දර්ශන මගින් අනාගතය ගැන හෙළි කරලා තියෙනවා. ඒ අනාවැකි බයිබලය සහ එය ලියූ අය විශ්වාසවන්තද නැද්ද කියලා හොයලා බලන්න උදව් වෙනවා. ඒ සඳහා උදාහරණයක් බලමු. බැබිලෝනි අධිරාජ්‍යය බිඳ වැටෙන්න ආසන්නයේදී ලියූ අනාවැකියක් දානියෙල් 8:1-7 සඳහන් වෙනවා.
එළුවෙක්, බැටළුවෙක්ව බිම දමා පාගා දමන ආකාරය දානියෙල් සිහිනයකින් දැක්කා. ඒකේ තේරුම දේවදූතයෙක් දානියෙල්ට මෙහෙම පැහැදිලි කළා. “අං දෙකක් ඇති බැටළුවාගෙන් නියෝජනය වන්නේ මේදිය සහ පර්සියානු රජවරුන්ය. එළුවා නම් ග්‍රීසියේ රජය.” (දානියෙල් 8:20, 21) බැබිලෝනි අධිරාජ්‍යය පරාජය වුණාට පස්සේ බලයට ආවේ මේද පර්සියාව කියලා ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. සිහිනයෙන් දැක්ක විදිහටම ඉන් අවුරුදු දෙසීයකට විතර පස්සේ ග්‍රීසියේ ඇලෙක්සැන්ඩර් රජ මේද පර්සියාව පරාජය කළා. සිහින ඇතුළු බයිබලයේ තියෙන හැම අනාවැකියකම විශේෂ ලක්ෂණයක් වන්නේ ඒවා අකුරටම ඉටු වීමයි. අනෙකුත් ආගමික පොත්වලට වඩා බයිබලය වෙනස් කියලත් අපිට ඒක විශ්වාස කරන්න පුළුවන් කියලත් එයින් පැහැදිලි වෙනවා.