‘වේදනාව දරාගන්න දෙවියන් උදව් කරනවා’
තමන්ව වට කරගෙන හිටපු ත්රස්තවාදීන් දිහා දරුවන් හා වැඩිහිටියන් බලාගෙන හිටියේ හරිම බයෙන්. එතන හිටිය දාහකට වඩා වැඩිදෙනා අතරේ නටාල්යා හා ඇගේ පුතා අස්ලාන්ද, සරීනා හා ඇගේ දුව අන්සෙහේලිකාද හිටියා. අස්ලාන්ට අවුරුදු 9යි. අන්සෙහේලිකාට අවුරුදු 12යි.
අලුත් පාසැල් වාරය පටන්ගන්න දවසේ දෙමාපියන් හා දරුවන් රුසියාවේ බෙස්ලාන්වල තිබුණු ඔවුන්ගේ පාසැල් වත්තට ඇතුල් වුණේ දාහක් බලාපොරොත්තු ඇතුවයි. ඒත් එදා, ඒ කියන්නේ 2004 සැප්තැම්බර් 1වෙනිදා මේ තරම් බිහිසුණු අද්දැකීමකට මුහුණ දෙන්න වෙයි කියලා නම් ඒ කවුරුත් හිතන්න නැතුව ඇති. හදිස්සියෙම කඩා වැදුණු ත්රස්තවාදීන් පිරිසක් අහසට වෙඩි තියමින් කෑ ගසමින් එතන හිටපු හැම කෙනෙක්වම පාසැලේ තිබුණු ශාලාවකට අරගෙන ගියා. ඊටපස්සේ ඔවුන් ඒ ශාලාව වටේටම බෝම්බ සවි කළා.
ප්රාණ ඇපකරුවන් ලෙස
ත්රස්තවාදීන් ඔවුන්ව දවස් තුනක් ශාලාවේ හිර කරගෙන හිටියා. “මම ඒ දවස්වල යාච්ඤා කරපු තරම් කවදාවත් යාච්ඤා කරලා නැතුව ඇති” කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගත් නටාල්යා කිව්වා.
ග්රීෂ්ම කාලය නිසා ඒ ශාලාව ඇතුළේ තිබුණේ දරාගන්න බැරි රස්නයක්. දෙවෙනි දවසේදී මේ අයට කිසිම දෙයක් කන්න බොන්න ලැබුණේ නැහැ. තුන්වෙනි දවස වෙද්දී කර කියා ගන්න දෙයක් නැතුව සමහර අය මුත්රා බොන්නත් ගුරුවරුන්ට දෙන්න ගෙනා මල් කන්නත් පටන්ගත්තා. “දරුවෙක් මල් ඉත්තක කොළයක් මටත් දුන්නා. මං ඒක ඉරලා බාගයක් අන්සෙහේලිකාටයි අනිත් බාගේ අස්ලාන්ටයි කන්න දුන්නා” කියලා නටාල්යා කිව්වා.
තුන්වෙනි දවස වෙද්දී හමුදාවේ අය හා ත්රස්තවාදීන් වෙඩි තියාගන්න පටන්ගත්තා. “බෝම්බ පුපුරන්න පටන්ගත්ත නිසා මුළු ශාලාවම
දුමෙන් පිරුණා” කියලා නටාල්යා කිව්වා. මේ වෙඩි හුවමාරුව අතරේ නටාල්යා හා අස්ලාන් බිම දිගේ බඩගාගෙන ඇවිත් එතන හිටපු කෙනෙක්ගේ උදව්වෙන් ආරක්ෂිත තැනකට ගියා.බිහිසුණු අද්දැකීමක ප්රතිඵල
ඒත් අන්සෙහේලිකා ඇතුළු තවත් සිය ගණනකගේ ජීවිත එදා නැති වුණා. සති ගණනක් යන කල් මුළු බෙස්ලාන් නගරයම හඬා වැලපුණා. නටාල්යා ජීවත් වෙන්නේ ඒ පාසැල පේන මානයේයි. ඒ ළඟ දැන් අලුත් පාසැලක් හදලා තිබුණත් අස්ලාන්ට ඒකට යන්න හිත හදාගන්න ලේසි වුණේ නැහැ. ඔහු සෙල්ලම් කරන්නවත් ගියේ නැහැ. “ඔහුට තියෙන මේ බය නැති කරගන්න උදව් කරන්න කියලා අපි නිතරම යෙහෝවා දෙවිට කන්නලව් කළා” කියලා නටාල්යා කිව්වා. ටික කාලෙකට පස්සේ ඔහු නැවතත් පාසැල් යන්න පටන්ගත්තා.
නටාල්යාට තිබුණු ලොකුම ප්රශ්නය තමයි රැස්වීම් යන එක. ඇය ඒ ගැන මෙහෙම කිව්වා. “ශාලාවක කට්ටියක් එකතු වෙලා ඉද්දී මට හැම තිස්සෙම හිතෙන්නේ කවුරු හරි ඇවිල්ලා හානියක් කරයි කියලා. ඒ වෙලාවට එහෙම දෙයක් වෙන්න එපා කියලා මං යාච්ඤා කරනවා. ටික කාලෙකට පස්සේ මං රැස්වීම් යන එක නතර කළා. අපි බේරුණත් අනිත් අය මැරුණා කියලා හිතද්දී මට ඒක දරාගන්න ලේසි නෑ.”
දුක තුනී වෙයි
ඇය තවදුරටත් මෙහෙම කිව්වා. “ඒ තත්වයෙන් ගොඩ එන්න සභාවේ අය මට ගොඩක් උදව් කෙරුවා. ටට්යානා කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරිය මාව බලන්න දවස් තුනකට සැරයක් ආවා. දවසක් එයා උල්යානා කියන සාක්ෂිකාරියවත් එක්කගෙන ආවා. උල්යානා හරිම කරුණාවන්තයි. එයාට බයිබලය ගැන හොඳ දැනුමක් තිබුණා. මම මේ තත්වයෙන් ගොඩ එන්න ගන්න උත්සාහය එයා ගොඩක් අගය කළා. ඒ වගේම එයා හරිම ඉවසීමෙන් මට ඇහුම්කන් දුන්නා.
“මට දැන් එදා සිද්ධ වෙච්ච දේවල් ගැන කතා කරන්න අමාරු නැහැ”
“යේසුස්ගේ අනුගාමිකයෙක් වුණු පාවුල් අසීරුතාවලට මුහුණ දීපු වෙලාවක ඔහුත් කිසිම බලාපොරොත්තුවක් නැති තත්වයකට පත් වුණා කියලා උල්යානා මට බයිබලයෙන් පෙන්නුවා. (2 කොරින්ති 1:9) ඒ වගේම එයා තවත් බයිබල් පදයක් පෙන්නුවා. ඒකේ තිබුණේ ‘යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය. ඔවුහු තම සවිය වැඩි කරගෙන රාජාලීන් මෙන් ඉහළටම පියාඹන්නෝය’ කියලයි. (යෙසායා 40:31) ඒ වගේ බයිබල් පදවලින් හා උල්යානායි අනිත් අය දීපු දිරිගැන්වීම්වලින් මට ආයෙත් දරුවන් එක්ක රැස්වීම් යන්න ශක්තිය ලැබුණා. ඒත් තවමත් මට ශාලාවක ඉන්න එක ටිකක් අමාරුයි.”
සරීනාත් පස්සේ කාලෙකදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වුණා. ඇගේ ආදරණීය දුව, අන්සෙහේලිකා මරණයෙන් නැවත නැඟිටින දවස එන කල් සරීනා ආශාවෙන් බලාගෙන ඉන්නවා. ඇය දන්නවා අන්සෙහේලිකා නැවත නැඟිටිලා එන්නේ දේවරාජ්ය පාලනය යටතේ තියෙන සාමාකාමී, ලස්සන පොළොවක ජීවත් වෙන්න කියලා. (මතෙව් 6:9, 10; ක්රියා 24:15) නටාල්යා හා එයාගේ දරුවෝ 2009දී බව්තීස්ම වුණා. ඒ අය තවමත් ජීවත්වෙන්නේ ඒ පාසැල ළඟ වුණත් ඉස්සර දැනුණු බය දැන් ඔවුන්ට දැනෙන්නේ නැහැ. නටාල්යා ඒ ගැන මෙහෙම කිව්වා. “මට දැන් එදා සිද්ධ වෙච්ච දේවල් ගැන කතා කරන්න අමාරු නැහැ. වේදනාව දරාගන්න දෙවියන් අපිට උදව් කරනවා.”