මුහුදට වැලි එකතු කරන පැරට් ෆිෂ්
මුහුදේ වැලි හැදෙන්නේ කොහොමද? ඒකට ක්‍රම ගොඩක් තියෙනවා. ඒත් මේ ලිපියෙන් අපි කතා කරන්න යන ක්‍රමය ගැන ඇහුවම නම් ඔබ පුදුම වෙයි. මොකද අපි කතා කරන්න යන්නේ වැලි හදන මාළුවෙක් ගැනයි.
පැරට් ෆිෂ් කියන නමින් හඳුන්වන මේ මාළු වර්ගය ඉන්නේ නිවර්තන කලාපයේ රටවල් අවට මුහුදේ. උගේ කට පෙනුමෙන් ගිරා හොටක් වගෙයි. ඒ වගේම උගේ දත් හරිම ශක්තිමත්. කැඩුණු කොරල් පර කැබලි ආහාරයට ගන්න මේ මාළුවා, ඒවායේ තියෙන ආහාර කොටස් ජීරණය කරගෙන ඉතිරි දේවල් වැලි හැටියට පිට කරනවා. සමහර පැරට් ෆිෂ් විශේෂයන් අවුරුදු 20ක් තරම් කාලයක් ජීවත් වෙනවා. ඒත් උන්ගේ දත් නම් දිරන්නේ නැහැ.
මුහුදේ වැලි හැදෙන ගොඩක් ක්‍රම තියෙනවා කියලා අපි කලින් කිව්වා. ඒත් සමහර ප්‍රදේශවල ඉන්න පැරට් ෆිෂ් මාළු ඒ ක්‍රමවලින් හැදෙන වැලිවලට වඩා වැලි ප්‍රමාණයක් මුහුදට එකතු කරනවා. කොච්චරද කියනවා නම් අවුරුද්දක් තුළ මාළුවෙක් වැලි කිලෝ සීයකට ආසන්න ප්‍රමාණයක් පිට කරනවා කියලා සමහර පර්යේෂකයන් හොයාගෙන තියෙනවා.
ඒ මාළුන්ගෙන් මුහුදට තවත් සේවයක් වෙනවා. මුහුදේ පැරට් ෆිෂ් සහ වෙනත් ශාක භක්ෂක ජීවීන් හිටියේ නැත්නම් කොරල් පර අවට මුහුද ඇල්ගී සහ මුහුදු පැළෑටිවලින් පිරෙයි. එහෙම වුණොත් කොරල් පරවලටත් වෙන්නේ ලොකු හානියක්. ඒත් ඇල්ගී බැඳිලා තියෙන මැරුණු කොරල් කැබලි පැරට් ෆිෂ් මාළුවන් කෑමට ගන්න නිසා කොරල් පර පිරිසිදු වෙනවා. ඒවා ආරක්ෂා වෙලා හැමදාම ලස්සනට තියෙන්නේ ඒ නිසයි. ඒ ගැන එක පොතකත් මෙහෙම කියනවා. “මුහුදේ ශාක භක්ෂක ජීවීන් හිටියේ නැත්නම් මෙච්චර ලස්සන කොරල් පර තියෙන එකක් නැහැ.”—Reef Life.
දවල් කාලයේ ක්‍රියාශීලීව ඉන්න පැරට් ෆිෂ් විවේක ගන්නේ රෑ කාලයේදීයි. ඒ වෙලාවට ඌ ගල් පර අස්සේ නිදාගත්තත් ඌව ගොදුරු කරගන්න එන මෝරුන් වැනි සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න තවත් අමුතු දෙයක් කරනවා.
සමහර පැරට් ෆිෂ් විශේෂයන් රෑට නිදාගනිද්දී කටින් පිට කරන කෙල වැනි දෙයකින් විනිවිද පෙනෙන කෝෂයක් උගේ වටේට හදාගන්නවා. ඌ නිදියන්නේ ඒක ඇතුළෙයි. ඒ කෝෂයෙන් ගඳක් නිකුත් වෙන නිසා ඌව ගොදුරු කරගන්න එන සතුරන්ගෙන් ඌට ආරක්ෂාවක් ලැබෙනවා කියලා සාගර ජීවීන් පිළිබඳව ගවේෂණය කරන විද්‍යාඥයන් කියනවා.
පැරට් ෆිෂ් මාළු ලස්සන පාටවලින් හැඩ ගැන්විලයි ඉන්නේ. උන්ගේ වයසත් එක්ක පාටත් වෙනස් වෙනවා. මිනිස්සු වැඩිය උන්ව අල්ලන්නේ නැති ප්‍රදේශවල ඉන්න පැරට් ෆිෂ් මාළුන් මිනිස්සුන්ට හරිම හීලෑයි. ඒ නිසා ඒ ප්‍රදේශවල කොරල් පර බලන්න යන අයට උන්ව දැකගන්න එක අමාරු දෙයක් නෙමෙයි.
පැරට් ෆිෂ් මාළුන් මැරුණු කොරල් කැබලි කද්දී ඇහෙන හඬත් උන් එහා මෙහා සැරිසරද්දී පෙනෙන අපූරුවත් මුහුදේ කිමිදෙන කෙනෙකුට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. කොරල් පර තියෙන මුහුද ලස්සන කරන මේ මාළුවෝ ඒක පිරිසිදුව තියාගන්නත් උදව් කරනවා. ඒකෙන් අනිත් සතුන්ට වගේම අපිටත් වෙන්නේ ලොකු සේවයක්.