Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

මිනිස්සුන්ට ආගම් එපා වෙලාද?

මිනිස්සුන්ට ආගම් එපා වෙලාද?

තුර්කියේ ඉපදුණු ජාෆාර්ට ආගම එපා වුණේ දෙවියන් පළිගන්න කෙනෙක් කියලා එයාගේ ආගමේ උගන්වපු නිසයි. එයාගේ බිරිඳ හේදියේටත් අවුරුදු 9දී එයාගේ ආගම ගැන සැක ඇති වුණා. එයා මෙහෙම කියනවා. “හැම දෙයක්ම වෙන්නේ දෛවයට අනුව කියලා මගේ ආගමේ ඉගැන්නුවා. කාත් කවුරුත් නැති අනාථයෙක් වෙන්න මං කරපු වරද මොකක්ද කියලා මට නිතරම හිතුණා. ඒ ගැන හිතලා මං අඬපු අවස්ථා අනන්තයි. අවුරුදු 15 වෙනකොට මං ආගම අදහන එක අත්හැරියා.”

ඔයාත් ආගම එපා වුණු කෙනෙක්ද? ඔයාට විතරක් නෙමෙයි අද ඉන්න හුඟක් අයට ආගම එපා වෙලා. ගොඩක් රටවල්වල ‘මට ආගමක් නැහැ’ කියන අයගේ ගාණ දවසින් දවස වැඩි වෙනවා. ඒ නිසා ආගම්වලට මොනවා වෙයිද කියලා ගොඩක් අයට හිතාගන්නවත් බැහැ. රටවල් කිහිපයක සිද්ධ වෙන දේ බලන්න.

ආගම් අත්හැරලා යන්නේ ඇයි?

මිනිසුන්ට ආගම් එපා වෙන්න ගොඩක් හේතු තියෙනවා. ආගමේ නාමයෙන් කරන ත්‍රස්තවාදය හා වෙනත් දරුණු ක්‍රියා වගේම ආගමික නායකයන් ගත කරන දුරාචාර ජීවිත ඒවායින් සමහරක්. මිනිස්සු ආගම් අත්හරින තවත් හේතු තියෙනවා. ඒවා ගොඩක් අයගේ අවධානයට ලක් වෙලා නැහැ. ඒවායින් කිහිපයක් දැන් අපි බලමු.

  • ධනවත් වීම. “අත මිට සරු වෙද්දී මිනිස්සු ආගම්වලින් ඈත් වෙනවා” කියලා සමීක්ෂණ වාර්තාවක සඳහන් වෙනවා. (Global Index of Religion and Atheism) එහෙමනම් අද මිනිසුන් ආගම් අතහැරලා යන එක පුදුමයක් නෙමෙයි. මොකද අද ගොඩක් රටවල් දවසින් දවස පොහොසත් වෙනවා. “අද සමහර මිනිස්සු භුක්ති විඳින සැප පහසු ජීවිතය, මීට අවුරුදු 200ට කලින් හිටපු රජ කෙනෙක් දැක්කා නම් එයාට වුණත් ඊර්ෂ්‍යාවක් ඇති වෙයි” කියලා ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් වන ජෝන් නයි කියනවා.

    බයිබලයේ කියන්නේ මෙහෙමයි. “අවසාන කාලයේදී” මිනිස්සු දෙවියන්ට හා අසල්වැසියන්ට වඩා සල්ලිවලට ආදරේ කරනවා කියලා බයිබලේ සඳහන් වෙනවා. (2 තිමෝති 3:1-5) ධනවත් වෙන්න ආස කළොත් දෙවියන් එක්ක තියෙන බැඳීම පලුදු වෙන්න පුළුවන් කියලා තේරුම්ගත්ත බයිබල් ලේඛකයෙක් මෙහෙම කිව්වා. ‘මට දුප්පත් වීමටවත් පොහොසත් වීමටවත් ඉඩ නොදී, එදිනෙදා අවශ්‍ය ආහාර පාන විතරක් ලබා දෙන්න. නැත්නම් මා ඕනෑවට වඩා තෘප්තියට පත් වී, ඔබව ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබේ.’—හිතෝපදේශ 30:8, 9.

  • ආගමික වත්පිළිවෙත් හා සදාචාරය. අද ඉන්න හුඟක් තරුණ අය කියන්නේ ආගම අද කාලෙට ගැළපෙන්නේ නැහැ කියලයි. තවත් හුඟදෙනෙක්ට ආගම ගැන තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින්. ඒ ගැන මානව හිතවාදී සංවිධානයක මාධ්‍ය ප්‍රකාශකයෙක් වන ටිම් මැග්වයිර් මෙහෙම කියනවා. “අවුරුදු සිය ගණනක් තිස්සේ පල්ලිවල වෙච්ච දේවල් මිනිස්සු දැකලා තියෙනවා. ඒ නිසා ආගමික නායකයන් තමන්ට උපදෙස් දෙන්න සුදුසු තත්වයක නැහැ කියලා මිනිස්සු තේරුම් අරන් තියෙනවා.”

    බයිබලයේ කියන්නේ මෙහෙමයි. දෙවියන් ගැන බොරු උගන්වන ආගමික නායකයන් ගැන යේසුස් මෙහෙම කිව්වා. ‘ඔවුන්ගේ පලවලින් ඔබට ඔවුන්ව හඳුනාගත හැකියි. සෑම හොඳ ගසකින්ම ලැබෙන්නේ හොඳ පලයි. සෑම නරක ගසකින්ම නෙළාගත හැක්කේ කිසි වැඩකට නැති පලයි.’ (මතෙව් 7:15-18) ආගම් දේශපාලනයට ඇඟිලි ගහන එක, සමලිංගික ක්‍රියා වගේ දෙවියන් අනුමත කරන්නේ නැති දේවල්වලට අනුබල දෙන එක යේසුස් කියපු ‘කිසි වැඩකට නැති පලවලට’ අයිතියි. (යොහන් 15:19; රෝම 1:25-27) ඒ වගේම බයිබලයේ තියෙන දේවල් උගන්වන්නේ නැතුව තේරුමක් නැති වත්පිළිවෙත් කරන්න මිනිසුන්ව පොලඹවන එකත් ඒකට ඇතුළත්. (මතෙව් 15:3, 9) යේසුස් කිව්වේ “මගේ කුඩා බැටළුවන්ව පෝෂණය කරන්න” කියලයි. (යොහන් 21:17) ඒ කියන්නේ මිනිසුන්ට දෙවියන් ගැන උගන්වලා ඔවුන්ව රැක බලාගන්න කියන එක. ඒත් අද ඉන්න ආගමික නායකයන් ඒක කරන්නේ නැති නිසා හුඟක් මිනිසුන් දෙවියන් ගැන දැනුමෙන් පෝෂණය වෙලා නැහැ.

  • ආගම සහ සල්ලි: එක සමීක්ෂණ ආයතනයක් කිව්වේ, ආගම් සල්ලිවලට අවධානය දෙනවා වැඩියි කියලා අද ඉන්න ගොඩක් අය තේරුම් අරන් තියෙනවා කියලයි. (Pew Research Center) ඒ විතරක් නෙමෙයි ඒ ආගම් අදහන මිනිස්සු දුක් විඳිද්දී සමහර ආගමික නායකයන් ගත කරන්නේ සැප පහසු ජීවිත. උදාහරණයකට ජර්මනියේ එක්තරා නගරයක ජීවත් වෙන මිනිස්සු එදා වේල හොයාගන්නෙත් හරිම අමාරුවෙන්. හැබැයි එයාලා යන පල්ලියේ බිෂොප්වරයා අධිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. ඒ නිසා ඒ පල්ලියට යන හුඟක් කතෝලිකයන්ට ආගම එපා වෙලා. නයිජීරියාවේ සිද්ධ වෙන දෙයක් ගැන සඟරාවක මෙහෙම කියනවා. “ඒ රටේ ජීවත් වන අයගේ දවසේ ආදායම යූරෝ එකකටත් වඩා අඩුයි. ඒ වුණාට ඒ රටේ සමහර පාස්ටර්ලා ගත කරන්නේ සැප සම්පත්වලින් පිරුණු ජීවිතයක්.”—GEO.

    බයිබලයේ කියන්නේ මෙහෙමයි. “අපි දෙවිගේ පණිවිඩය විකුණා ජීවත් වන අය නොවන්නෙමු” කියලා බයිබල් ලේඛකයෙක් වුණු පාවුල් කිව්වා. (2 කොරින්ති 2:17) ඔහු මුල් ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ අරං වැඩ කරපු කෙනෙක්. හැබැයි ඔහු අනිත් අයට බරක් වෙන්නේ නැතුව තමන්ගේ වියදම් පිරිමහගන්න මහන්සි වෙලා වැඩ කළා. (ක්‍රියා 20:34) පාවුල් අදාළ කරගත්තේ ‘ඔබට ලැබුණේ නොමිලේ. ඒ නිසා නොමිලේම දෙන්න’ කියලා යේසුස් කියූ දෙයයි.—මතෙව් 10:7, 8.

ඒ බයිබල් උපදෙස්වලට අනුව වැඩ කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශන බෙදා දෙද්දී, බයිබලයේ තියෙන දේවල් කියලා දෙද්දී සල්ලි ගන්නේ නැහැ. එයාලගේ රැස්වීම්වලදී සම්මාදම් එකතු කරන්නේවත් දසයෙන් කොටස ගන්නේවත් නැහැ. ඒ වෙනුවට එයාලගේ වැඩකටයුතුවලට මුදල් ලැබෙන්නේ එක් එක්කෙනා කැමැත්තෙන්ම දෙන සම්මාදම්වලින්.—මතෙව් 6:2, 3.

මිනිස්සු ආගම් අත්හරිනවා කියලා කලින්ම කියලා තිබුණා

ආගම්වලට එහෙම දෙයක් වෙයි කියලා මීට දශක ගණනාවකට කලින් හිටපු අය නම් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. ඒත් ආගම්වලට වෙන දේ දැනගෙන හිටපු දෙවියන් ඒ ගැන බයිබලයේ සඳහන් කළා. දෙවියන්ට විශ්වාසවන්තව වැඩ කරන්නේ නැති හැම ආගමක්ම ඔහු ධනවත් ගණිකාවකට සමාන කරලා තියෙනවා. ඇයව බයිබලයේ හඳුන්වන්නේ “මහ බැබිලෝනිය” කියලයි.—එළිදරව් 17:1, 5.

යෙහෝවා දෙවියන් ඒ ආගම් ගණිකාවක් විදිහට හඳුන්වන එක පුදුමයක් නෙමෙයි. මොකද ආගම් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා කියලා කිව්වත් බලයට හා ධනයට තියෙන කෑදරකම නිසා දේශපාලනයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක හරියට දෙවියන්ට ද්‍රෝහි වෙලා පොළොවේ රජවරුන් එක්ක වේශ්‍යාකම් කරනවා හා සමානයි. (එළිදරව් 18:9) අද්භූත දේවල්, මන්තර ගුරුකම්, ත්‍රිත්වය, අමරණීය ආත්මය වගේ බොරු ඉගැන්වීම් පටන්ගත්තේ පුරාණ බැබිලෝනියෙන්. ඒ නිසා දෙවියන් ගැන බොරු උගන්වන ආගම්වලට “මහ බැබිලෝනිය” කියන නමත් හොඳට ගැළපෙනවා. *යෙසායා 47:1, 8-11.

පුරාණ බැබිලෝනිය යුප්‍රටීස් ගඟෙන් පෝෂණය වුණු දිය අගලකින් වට වෙලා තිබුණු නගරයක්. ඒ නිසා ඒ නගරයට හොඳ ආරක්ෂාවක් තිබුණා. ඒත් මේදිය හා පර්සියානු හමුදාව ඒ දිය අගලේ වතුර ‘සිඳී යන්න’ සලස්වලා එක රැයකින් බැබිලෝනිය යටත් කරගත්තා.—යෙරෙමියා 50:1, 2, 38; දානියෙල් 5:7, 28, 30.

මහ බැබිලෝනියත් “බොහෝ ජල ධාරා මත ඉඳගෙන” ඉන්නවා කියලා බයිබලයේ කියනවා. මේ ජලධාරාවලින් නියෝජනය වෙන්නේ දෙවියන් ගැන බොරු උගන්වන ආගම්වලට උදව් කරන ‘සමූහයන් හා ජාතීන්වයි.’ (එළිදරව් 17:1, 15) මේ ජලධාරා හිඳෙනවා කියලත් මහ බැබිලෝනිය ක්ෂණිකව විනාශ වෙනවා කියලත් බයිබලයේ කියනවා. (එළිදරව් 16:12; 18:8) කවුද ඒක කරන්නේ? දැන් ඇයත් එක්ක ළඟින් ආශ්‍රය කරන දේශපාලන ආණ්ඩුයි. ඔවුන්ට ඇය ගැන වෛරයක් ඇති වෙලා ඇයව සහමුලින්ම විනාශ කරනවා කියලා බයිබලයේ කියනවා.—එළිදරව් 17:16, 17. *

බැබිලෝනිය වටේ තියෙන ජලය හිඳෙන එකෙන් නියෝජනය වෙන්නේ මිනිසුන් මහ බැබිලෝනියෙන් ඉවත් වීමයි

“ඇයව අත්හැර පිටතට එන්න”

මහ බැබිලෝනිය ළඟදීම විනාශ වෙන නිසා දෙවියන් මේ අනතුරු ඇඟවීම දීලා තියෙනවා. “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න. ඇගේ පාපවලට ඇය සමඟ හවුල් වන්නවත් ඇය මුහුණ දෙන පීඩාවලට හසු වන්නවත් ඔබ කැමති නැත්නම් ඇයව අත්හැර පිටතට එන්න.” (එළිදරව් 18:4) දෙවියන් මේ අනතුරු ඇඟවීම දෙන්නේ මේ ලිපියේ මුලදී සඳහන් කරපු ජාෆාර් හා හේදියේ වගේ, ආගම්වලින් කරන වැරදි ඉගැන්වීම් නිසා කලකිරිලා ඉන්න, දෙවියන්ට ළං වෙන්න කැමති අයටයි.

බයිබලයේ තියෙන දේවල් දැනගන්න කලින් ජාෆාර් දෙවියන්ට කීකරු වුණේ ඔහුට අකීකරු වුණොත් දඬුවම් කරයි කියන බයටයි. ඒත් ඔහු දැන් මෙහෙම කියනවා. “මම දැනගත්තා දෙවියන් අපිට හුඟක් ආදරෙයි කියලා. අපි දෙවියන්ට කීකරු වෙන්න ඕනේ ඔහුට තියෙන ආදරේ නිසයි කියලත් මං ඉගෙනගත්තා. ඒක මට ලොකු සහනයක්.” (1 යොහන් 4:8; 5:3) දෛවය කියලා දෙයක් නැහැ කියලත් තමන් කාත් කවුරුත් නැති කෙනෙක් වුණේ දෙවියන් නිසා නෙමෙයි කියලත් දැනගත්තාම හේදියේට දැනුණෙත් ලොකු සහනයක්. බයිබලයේ යාකොබ් 1:13 කියන විදිහට නපුරු දේවල්වලින් දෙවියන් මිනිසුන්ව පරීක්ෂා කරන්නේ නැහැ කියලත් ඇය තේරුම්ගත්තා. බයිබලයේ තියෙන ඉගැන්වීම් පිළිගත්ත හේදියේ සහ ජාෆාර් දෙවියන් ගැන බොරු උගන්වන ‘මහ බැබිලෝනියෙන්’ සම්පූර්ණයෙන්ම ඈත් වුණා.—යොහන් 17:17.

“දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර” කරන්න ඕන නිසා මහ බැබිලෝනියෙන් අයින් වෙන අයට ඒක විනාශ වෙද්දී කිසිම හානියක් වෙන්නේ නැහැ. (යොහන් 4:23) පොළොවේ ඉන්න හැමෝම දෙවියන් ගැන දැනගන්නවා දකින එකයි ඔවුන්ගේ එකම ආසාව.—යෙසායා 11:9.

යෙහෝවා දෙවියන් “කිසි බොරුවක් නොපවසන දෙවි” කෙනෙක්. (තීතස් 1:2) ඒ නිසා ඔහු කියපු විදිහටම දෙවියන් ගැන බොරු උගන්වන ආගම් ළඟදීම විනාශ වෙනවා. ඒත් දෙවියන්ගේ කැමැත්තට එකඟව ඔහුට නමස්කාර කරන අය මේ පොළොවේ සදහටම ජීවත් වෙනවා.