පොළොව විනාශ වෙයිද?
පාඨකයන් අසයි
පොළොව විනාශ වෙයිද?
පොළොව කිසි දිනක විනාශ වී යන්නේ නැහැ. එයට හේතුව “පොළොව කිසිදා නොසෙල්වෙන ලෙස සාදා ඇත” කියා දෙවිම පවසා තිබීමයි. (ගීතාවලිය 104:5, නව ලොව පරිවර්තනය, NW) එමෙන්ම “එක් පරම්පරාවක් පහව යයි. තවත් පරම්පරාවක් බිහි වෙයි. එහෙත් මේ මහ පොළොව සදහටම පවතියි” කියාද බයිබලයේ සඳහන් වෙනවා.—දේශනාකාරයා 1:4, NW.
පොළොව සදහටම පවතින බවට ගීතාවලිය 104:5හි සඳහන් දෙය අවධාරණය කිරීමට මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් වචන දෙකක් යොදාගෙන තිබෙනවා. ඒවා නම් ‘ඔහ්ලාම්’ සහ ‘ආද්’ යන වචනයි. ‘ඔහ්ලාම්’ යන වචනයෙන් “අසීමිත කාලයක්” යන්න අදහස් වෙනවා. ‘ආද්’ යන්නෙන් “සදාකාලික බව” අදහස් වෙනවා. පොළොව කිසි දිනක විනාශ නොවන බව පෙන්වීමට බයිබලයේ සපයන හේතු තුනක් අපි සලකා බලමු.
පළමුවන හේතුව නම් බයිබලයේ යෙසායා 45:18හි යෙහෝවා දෙවිව “අහස මැවූ පොළොවද මවා එය පාළු ස්ථානයක් වීමට නොව වාසය සඳහා අවශ්‍ය සෑම දෙයකින් පිරෙව්වාවූ” තැනැත්තා ලෙස හඳුන්වා තිබීමයි. මින් පැහැදිලි වන්නේ දෙවි පොළොව නිර්මාණය කළේ එය විනාශ වී යෑමට නොවන බවයි. ඒ වෙනුවට ඔහුගේ අරමුණ වුණේ පොළොව මිනිසුන්ගෙන් පිරි අලංකාරවත් පාරාදීසයක් බවට පත් කිරීමයි.
දෙවන හේතුව නම් තමාට කීකරු වන අයට මේ පොළොව මත සදාකාලයටම ජීවත්වීමට සලස්වන බව දෙවි පොරොන්දු වී තිබීමයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුහු එක් එක්කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුවසේ කල් ගෙවනු ඇත. කිසිවෙකු ඔවුන්ව බිය ගන්වන්නේ නැත. මේ සෑම දෙයක්ම පොරොන්දු වී ඇත්තේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.” (මීකා 4:4, NW) ඒ අනුව පොළොව විනාශ වුණොත් දෙවි දී තිබෙන පොරොන්දුව බොරුවක් වෙනවා.—ගීතාවලිය 119:90; යෙසායා 55:11; 1 යොහන් 2:17.
තුන්වන හේතුව වන්නේ පොළොව බලාගැනීමේ වගකීම දෙවි මිනිසුන්ට පවරා තිබීමයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය. නමුත් පොළොව ඔහු මනුෂ්‍යයන්ට දුන්නේය.” (ගීතාවලිය 115:16, NW) ප්‍රේමණීය පියෙක් ඔහුගේ දරුවාට යම් තෑග්ගක් දී පසුව එම තෑග්ග විනාශ කර දමයි කියා සිතිය හැකිද? කොහෙත්ම බැහැ. ඒ හා සමානව දෙවි මිනිසුන්ට තෑග්ගක් ලෙස දී තිබෙන මේ පොළොව ඔහුම විනාශ කරයි කියා සිතන්නත් බැහැ. ඊට හේතුව “දෙවි ප්‍රේමය” කියා බයිබලයේ සඳහන් වී තිබීමයි.—1 යොහන් 4:8.
‘දෙවිගේ වචනය සත්‍යතාවය’ කියා යේසුස් පැවසුවා. (යොහන් 17:17) එමෙන්ම බොරු කීමට නොහැකි දෙවි මෙවැනි පොරොන්දුවක්ද දී තිබෙනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකාලයටම ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29, NW; තීතස් 1:2.
[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Globe: Based on NASA photo