“කුමක් කමුද?”
“කුමක් කමුද?”
එක් අවස්ථාවකදී යේසුස් මසුන් කිහිපදෙනෙක් සහ රොටි ස්වල්පයකින් දහස්දෙනෙකුට කෑම සැපයුවා. එමෙන්ම යේසුස් පොළොවේ සිටියදී කළ මුල්ම ප්රාතිහාර්යය වුණේ වතුර වයින් බවට පත් කිරීමයි. (මතෙව් 16:7-10; යොහන් 2:3-11) යේසුස් දිලිඳු අය සමඟ මෙන්ම පොහොසත් අය සමඟත් ආහාර ගත්තා. ඒ නිසා ඔහුගේ සතුරන් ඔහුව වයින් බීමට ලොල් වූ කෑදර මිනිසෙක් ලෙස හැඳින්වූවා. (මතෙව් 11:18, 19) නමුත් යේසුස් එවැනි කෙනෙක් නෙවෙයි. ආහාර මිනිසුන්ට අත්‍යවශ්‍ය නිසා යේසුස් ඉතා වැදගත් කාරණා ඉගැන්වීම සඳහා සමහර අවස්ථාවලදී උදාහරණ හැටියට යොදාගත්තේද ආහාරයි.—ලූක් 22:14-20; යොහන් 6:35-40.
ඒ කාලයේදී සුලබව තිබුණු ආහාර මොනවාද? ඒවා පිළියෙල කරනු ලැබුවේ කෙසේද? ඒ සඳහා මොන තරම් වෙහෙසක් දරන්න සිදු වුණාද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සලකා බැලීම ඉතා ප්‍රයෝජනවත්. එසේ කිරීමෙන් යේසුස්ගේ කාලයේ සිදු වූ ඇතැම් සිදුවීම් සහ ඔහු පැවසූ දේවල් වඩාත් හොඳින් තේරුම්ගැනීමට ඔබට හැකි වෙයි.
“අපේ දිනපතා භෝජනය අද අපට දෙන්න”
යාච්ඤා කළ යුතු ආකාරය ගැන යේසුස් තම ගෝලයන්ට කියා දෙන විට දිනපතා අවශ්‍ය ආහාර වෙනුවෙන් යාච්ඤා කරන්න කියාද පැවසුවා. (මතෙව් 6:11) පළමු සියවසේ සිටි යුදෙව්වන්ගේ ප්‍රධාන ආහාරයක් ලෙස රොටි හැඳින්විය හැකියි. එය කොතරම් ජනප්‍රිය ආහාරයක් වූවාද කියනවා නම් හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවෙන් “කෑම කන්න” කියා පවසන විට ඉන් අදහස් වුණේ “රොටි කන්න” කියායි. ඔවුන් පිටි ලබාගත් ධාන්‍ය අතරට තිරිඟු, බාර්ලි, යව, තණ හාල් සහ මෙනේරි ඇතුළත් වුණා. සාමාන්‍යයෙන් එක් යුදෙව්වෙකුට වසරකට ආහාර සඳහා ධාන්‍ය කිලෝග්‍රෑම් 200ක් පමණ අවශ්‍ය වුණ බව පර්යේෂකයන් පවසනවා. ඔවුන්ට අවශ්‍ය කැලරි ප්‍රමාණයෙන් භාගයක්ම ලැබුණේ එම ධාන්‍යවලින් සාදාගත් ආහාරවලිනුයි.
වෙළඳපොළෙන් රොටි මිල දී ගැනීමට අවස්ථාව තිබුණත් බොහෝ අය නිවසේදීම රොටි සාදාගත්තා. ඒ සම්බන්ධයෙන් එක් පොතක මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “පිටි ඉක්මනින්ම නරක් වෙන නිසා ඒවා කල් තබාගන්න බැහැ. ඒ නිසා කෑමට අවශ්‍ය පිටි ලබාගැනීම සඳහා ගෘහණියකට දිනපතාම තිරිඟු ඇඹරීමට සිදු වුණා. තිරිඟු කිලෝ එකක් ඇඹරීමට පැයක කාලයක් ගත වුණත් එයින් ලබාගත හැකි වුණේ පිටි ග්‍රෑම් 800කටත් වඩා අඩු ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් එක් අයෙකුගේ ආහාරය සඳහා පිටි ග්‍රෑම් 500ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ අනුව සාමාජිකයන් පහක් හෝ හයක් සිටින පවුලකට ආහාර පිළියෙල කිරීමට ගෘහණියකට පැය තුනක පමණ කාලයක් තිස්සේ තිරිඟු ඇඹරීමට සිදු වුණා.”—Bread, Wine, Walls and Scrolls.
යේසුස්ගේ මව වූ මරියාගේ තත්වය ගැන මදකට සිතන්න. ඇයට පුතුන් පස්දෙනෙක් සිටි අතර අඩුම තරමින් දූවරුන් දෙදෙනෙක්වත් සිටින්න ඇති. (මතෙව් 13:55, 56) ඒ නිසා ඇගේ පුරුෂයා ඇතුළු දරු දැරියන්ට දිනපතා අවශ්‍ය රොටි පිළියෙල කරන්න ඇයට මොන තරම් වෙහෙසක් දරන්න සිදු වන්න ඇද්ද!
“ඇවිත් උදේ ආහාරය ගන්න”
දිනක් ගෝලයන් රැයක් පුරා මසුන් ඇල්ලීමට උත්සාහ කළත් ඔවුන්ට හොඳ ප්‍රතිඵල ලැබී තිබුණේ නැහැ. ඔවුන් නැවතත් වෙරළට පැමිණි විට යේසුස් එහි සිටියා. වෙහෙසට පත්ව සිටි ගෝලයන්ව දුටු ඔහු “ඇවිත් උදේ ආහාරය ගන්න කියා” ඔවුන්ට පැවසුවා. (යොහන් 21:9-13) ඉන්පසු ඔහු රොටි සහ මාළු ගෝලයන්ට දුන්නා. සුවිශේෂ පොත්වල උදේ ආහාර වේලක් ගැන වාර්තා වී ඇති එකම අවස්ථාව එයයි. සාමාන්‍යයෙන් යුදෙව්වන්ගේ උදේ ආහාර වුණේ රොටි, වියළි මිදි, ඔලිව් සහ ධාන්‍ය වර්ගයි.
දිවා ආහාරය ගැන පැවසිය හැක්කේ කුමක්ද? “සාමාන්‍යයෙන් දිවා ආහාරය සරල වූ අතර ඊට රොටි, ධාන්‍ය, ඔලිව් සහ අත්තික්කා ඇතුළත්” වූ බව එක් පොතක සඳහන් වුණා. දිනක් යේසුස් ළිඳක් අසල සමරිතානු ස්ත්‍රියකට දේශනා කරමින් සිටියා. බයිබලයේ පෙන්වන ආකාරයට ඒ වන විට වේලාව දහවල් 12 පමණ වූවා විය හැකියි. ඒ අවස්ථාවේදී ඔහුගේ “ගෝලයන් ආහාර මිල දී ගැනීමට” නුවරට ගොස් සිටියා. (යොහන් 4:5-8) ඔවුන් රැගෙන ආ ආහාරවලට ඉහත සඳහන් කළ ආහාරත් ඇතුළත් වෙන්න ඇති.—එම පොත Life in Biblical Israel.
දවසේ ප්‍රධාන ආහාර වේල ලෙස සැලකුණේ රාත්‍රී ආහාරයයි. ඒ සඳහා පවුලේ සියලුදෙනාම සහභාගි වුණා. එවැනි රාත්‍රී ආහාර වේලක් ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “බොහෝ අය රාත්‍රී ආහාරයට රොටි මෙන්ම බාර්ලි සහ විවිධ ධාන්‍ය වර්ග යොදා සාදාගත් කැඳ ආහාරයට ගනු ලැබුවා. ඉඳ හිට ඒ සඳහා තිරිඟුද යොදාගත්තා. එය තවත් රසවත් කිරීමට ලුණු, තෙල් හෝ ඔලිව් ගෙඩිද එක් කළා. එමෙන්ම සෝස්, පැණි හෝ පලතුරු යුෂද ඒ සඳහා භාවිත කළා.” කිරි, චීස්, එළවළු මෙන්ම නැවුම් හෝ වියළන ලද පලතුරුද රාත්‍රී ආහාරයට ගැනුණා. අතීතයේදී ඊශ්‍රායෙලය අවට එළවළු වර්ග 30ක් පමණ තිබුණු අතර ඊට රාබු, කැරට්, ගෝවා, ලූනු මෙන්ම සුදු ලූනුත් ඇතුළත් වුණා. එමෙන්ම පලතුරු වර්ග 25කට වඩා තිබුණා. ඒ අතර (1) අත්තික්කා, (2) රටඉඳි, (3) දෙළුම් සඳහන් කළ හැකියි.—එම පොත Poverty and Charity in Roman Palestine, First Three Centuries C.E.
ලාසරුස් සහ ඔහුගේ සහෝදරියන් දෙදෙනා වූ මාර්තා හා මරියා සමඟ යේසුස් රාත්‍රී ආහාර වේලකට හවුල් වුණා. ඒ ආහාර වේලට ඉහත සඳහන් කළ ආහාර වර්ගත් ඇතුළත් වෙන්න ඇති. ඒ අවස්ථාවේදී මරියා සුවඳැති “ජටාමාංස තෙල්” යේසුස්ගේ පාදවල ආලේප කළ බවත් එම සුවඳ මුළු නිවස පුරාම විහිදී ගිය බවත් බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන් පිළියෙල කර තිබූ ආහාරවල සුවඳ සමඟ එම තෙල්වල සුවඳ මුසු වීමෙන් කොතරම් ප්‍රසන්න සුවඳක් ඇති වෙන්න ඇද්ද!—යොහන් 12:1-3.
“ඔබ මංගල්‍යයක් පිළියෙල කරන විට”
යේසුස් ‘පරිසිවරුන්ගේ පාලකයෙකුගේ නිවසේ’ ආහාර ගනිමින් සිටි විට එහි සිටි සියලුදෙනාටම ඉතා වැදගත් කාරණයක් උගන්වමින් ඔහු මෙසේ පැවසුවා. “ඔබ මංගල්‍යයක් පිළියෙල කරන විට, දිලිඳු, අබ්බගාත, කොර හා අන්ධ මිනිසුන්ට ආරාධනා කරන්න. එවිට ඒ සඳහා ඔබට ප්‍රතිඵල දීමට ඔවුන්ට හැකියාවක් නොතිබෙන හෙයින් ඔබ සන්තෝෂවත් වන්නෙහිය. මන්ද ධර්මිෂ්ඨයන්ව නැවත නැඟිටුවීමේදී ඔබට ප්‍රතිඵල ලැබෙන්නේය.” (ලූක් ) එම පරිසිවරයා යේසුස්ගේ උපදෙස පිළිගෙන අසරණ අය සඳහා මංගල්‍යයක් පිළියෙල කළා නම් ඔහු කුමන කෑම වර්ග පිළිගන්වයිද? 14:1-14
ධනවතෙක් විශාල භෝජන සංග්‍රහයක් සූදානම් කරන විට වයින්, පැණි, කිරි සහ කුළු බඩු මිශ්‍ර කර විවිධ හැඩයන්ගෙන් සාදාගත් රොටි පිළිගැන්වූවා විය හැකියි. එමෙන්ම බටර්, චීස්, ඔලිව් සහ ඔලිව් තෙල්ද එවන් සංග්රහයක තිබෙන්න ඇති. එක් පොතක සඳහන් කර තිබූ ආකාරයට “සෑම පුද්ගලයෙක්ම වසරකට ඔලිව් තෙල් කිලෝග්‍රෑම් 20ක් ආහාරයට ගත් අතර ඊට අමතරව රූපලාවන්‍ය කටයුතු සඳහාත් පහන් දැල්වීම සඳහාත් ඔලිව් තෙල් විශාල වශයෙන් භාවිත”කර තිබෙනවා.—Food in Antiquity.
යේසුස්ට සංග්‍රහ කළ පරිසිවරයා ජීවත් වූයේ මුහුද අසල නම් ඔහු සූදානම් කළ භෝජන සංග්‍රහයට අලුත් මාළු පවා ඇතුළත් වෙන්න ඇති. මුහුද ආශ්‍රිතව ජීවත් නොවූ අය ලුණු දමා කල් තබාගත් මාළු ආහාරයට ගත්තා. අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා මස්ද පිළියෙල කරනු ලැබුවා. සාමාන්‍යයෙන් දිලිඳු අයට එවන් ආහාරයක් ගැනීමට ලැබෙන්නේ කලාතුරකින්. බොහෝවිට භෝජන සංග්රහයන්වල බිත්තර ව්‍යඤ්ජන තිබුණා කියා සිතිය හැකියි. (ලූක් 11:12) ආහාර රසගැන්වීමට මින්චි, සූදුරු සහ අබ වැනි දෑ යොදාගන්න ඇති. (මතෙව් 13:31; 23:23; ලූක් 11:42) ආහාර ගැනීමෙන් පසුව බැදගත් තිරිඟු, ආමන්ඩ්, පැණි සහ කුළු බඩු එක්කර සාදාගත් අතුරුපසක් අමුත්තන් භුක්ති විඳින්න ඇති.
භෝජන සංග්‍රහයකට පැමිණෙන අයට වියළි හෝ නැවුම් මිදි මෙන්ම මිදි වයින් පිළිගන්වන්න ඇති. වයින් සාදාගැනීමට භාවිත කළ මිදි යන්ත්‍ර බොහොමයක් සහ වයින් ගබඩා කිරීමට ගල්වල හෑරූ වළවල් 63ක් පලස්තීනය අවට ප්‍රදේශවලින් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකි වුණා. ඒවායේ වයින් ලීටර් 1,00,000ක් පමණ ගබඩා කිරීමට හැකියාව තිබූ බවත් ඔවුන් පවසනවා. අතීතයේදී වයින් ඉතා ජනප්‍රිය පානයක්ව තිබූ බව එයින් පැහැදිලි වෙනවා.
“කනස්සලු නොවන්න”
ඉතා වැදගත් කාරණා ඉගැන්වීම සඳහා යේසුස් ආහාර පාන උදාහරණ ලෙස යොදාගත් අවස්ථා කොතරම් තිබෙනවාද කියා ඔබ බයිබලය කියවන විට සලකා බලන්න. ඇත්තෙන්ම යේසුස් සහ ඔහුගේ ගෝලයන් තම කිට්ටු මිත්‍රයන් සමඟ එකතු වී ආහාර ගත් අවස්ථාවලදී විශාල සතුටක් ලබන්න ඇති. නමුත් ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධාන තැන හිමි වුණේ ආහාරවලට නොවෙයි.
ආහාර සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කනස්සලු නොවී සිටීම සඳහා යේසුස් තම අනුගාමිකයන්ට මෙවැනි උපදෙසක් දුන්නා. “‘කුමක් කමුද?’ කියාවත් ‘කුමක් බොමුද?’ කියාවත් ‘කුමක් අඳිමුද?’ කියාවත් කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද අන්‍යජාතීන් මහත් උනන්දුවකින් හඹා යන්නේ මේ සියල්ල පසුපසය. නමුත් මේ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නේය.” (මතෙව් 6:31, 32) යේසුස්ගේ අනුගාමිකයන් එම උපදෙස පිළිගෙන ඒ අනුව කටයුතු කළ විට දෙවි ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටු කළා. (2 කොරින්ති 9:8) අතීතයේ සිටි යුදෙව්වන් ගත් ආහාර සහ අපි අද ගන්නා ආහාර වෙනස් විය හැකියි. නමුත් වඩා වැදගත් වන්නේ අපි යෙහෝවා දෙවිගේ සේවයට මුල් තැන දීමයි. අපි එසේ කරනවා නම් දෙවි අපේ එදිනෙදා අවශ්‍යතා සපුරාලන බවට කිසිම සැකයක් නැහැ.—මතෙව් 6:33, 34.