Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

යේසුස් කීකරුකම ඉගෙනගත්තා

යේසුස් කීකරුකම ඉගෙනගත්තා

සමහර අවස්ථාවලදී කීකරුවන එක අමාරුයි කියලා ඔයාට හිතිලා තියෙනවාද?— * එහෙමනම් ඒ ගැන පුදුම වෙන්න එපා. මොකද සමහර වෙලාවට කීකරු වෙන එක අමාරුයි කියලා අපි හැමෝටම සිතෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අපි කීකරුවීමට ඉගෙනගන්න ඕනේ. යේසුස්ටත් කීකරුකම ඉගෙනගන්න වුණා කියලා ඔයා දන්නවාද?—

දරුවන් කීකරු වෙන්න ඕනේ කාටද කියලා ඔයා දන්නවාද?— බයිබලයේ සඳහන් වෙන්නේ “දරුවෙනි, දෙවිගේ කැමැත්තට එකඟව ඔබේ දෙමාපියන්ට කීකරු වන්න” කියලයි. (එෆීස 6:1) ඒ නිසා දරුවන් අම්මටයි තාත්තටයි කීකරු වෙන්න ඕනේ. ඒත් ඔයා දන්නවාද යේසුස්ගේ තාත්තා කවුද කියලා?— ඒ තමයි යෙහෝවා දෙවි. යෙහෝවා දෙවි තමයි අපි හැමෝගේම පියා. (මතෙව් 6:9, 10) හැබැයි යේසුස්ගේ තාත්තා යෝසෙප් කියලත් යේසුස්ගේ අම්මා මරියා කියලත් ඔයා කියයි. ඒක වැරදි නැහැ. ඒත් ඒ අය යේසුස්ගේ දෙමව්පියන් වුණේ කොහොමද කියලා ඔයා දන්නවාද?—

මරියා විවාහ වෙලා හිටියේ නැති වුණත් ඇයට යේසුස්ව ලැබෙන්න යන්නේ කොහොමද කියලා ගාබ්‍රියෙල් දේවදූතයා මෙහෙම පැහැදිලි කළා. “ඔබට මහෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි. දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්. ඔහු දෙවිගේ පුත්‍රයායි.” (ලූක් 1:30-35) ඇත්තටම ස්වර්ගයේ සිටි යේසුස්ගේ ජීවිතය මරියාගේ කුස තුළ වැඩෙන්න සැලැස්වූයේ යෙහෝවා දෙවියි. ඒක යෙහෝවා දෙවි කළ පුදුම ක්‍රියාවක් කියලා කියන්න පුළුවන්.

ඒ අතරතුර කාලයේදී යෝසෙප් මරියාව විවාහ කරගත්තා. මාස නවයකට විතර පස්සේ යේසුස් ඉපදුණාම හුඟක් අය හිතුවේ යේසුස්ගේ තාත්තා යෝසෙප් කියලයි. ඇත්තටම යේසුස්ව බලාගත්තේ යෝසෙප් වුණත් යේසුස්ගේ සැබෑ පියා යෙහෝවා දෙවියි. ඒ නිසා යේසුස්ට තාත්තලා දෙන්නෙක් හිටියා කියලා කියන්න පුළුවන්.

යේසුස්, යෙහෝවා දෙවිට කොච්චර ආදරෙයිද කියලා එයා අවුරුදු 12දී කළ දෙයකින් පැහැදිලි වෙනවා. ඒ කාලයේදී යේසුස්ගේ පවුලේ අය පාස්කු උත්සවය සමරන්න යෙරුසලමට ගියා. ඒ ගමන හුඟක් දුරයි. මේ ගමන ගිහින් ආයෙත් ගෙදර එනකොට යේසුස්ව ඒ අයට මඟහැරුණා. ඒත් මරියාවත් යෝසෙප්වත් ඒක දැනගෙන හිටියේ නැහැ. එහෙම වුණේ ඇයි?—

ඒ වෙනකොට යෝසෙප්ටයි මරියාටයි තවත් දරුවන් හිටියා. (මතෙව් 13:55, 56) ඒ වගේම ඒ අයගේ නෑදෑයන් වන යාකොබ්, යොහන් සහ ඒ දෙන්නගේ අම්මයි තාත්තයි ඒ කියන්නේ සලෝමියි සෙබදීයිත් ඒගොල්ලන් එක්ක ඉන්න ඇති. සමහරවිට සලෝමි මරියාගේ සහෝදරියක් වෙන්න පුළුවන්. ඒ නිසා යේසුස් ඒ අයත් එක්ක ඉන්නවා ඇති කියලා මරියා හිතන්න ඇති.—මතෙව් 27:56; මාක් 15:40; යොහන් 19:25.

කොහොමවුණත් යේසුස් ඒගොල්ලොත් එක්ක හිටියේ නැහැ කියලා දැනගත්ත ගමන්ම මරියා යෝසෙප් එක්ක ආයෙත් යෙරුසලමට ගියා. ඒ දෙන්නා හැම තැනම යේසුස්ව හෙව්වා. තුන්වෙනි දවසේදී ඒ දෙන්නා දැක්කා යේසුස් දේවමාලිගාවේ ඉන්නවා. ඒ වෙලාවේ මරියා යේසුස්ට මෙහෙම කිව්වා. “පුතේ, ඇයි ඔයා අපිට මේ වගේ දෙයක් කළේ? තාත්තයි මමයි ඔයාව හොයන්න කොයි තරම් මහන්සි වුණාද! අපි හිටියේ ලොකු භයකින්.” එතකොට යේසුස් මෙහෙම ඇහුවා. “මාව හොයන්න මේ තරම් මහන්සි වුණේ ඇයි? මගේ පියාණන්ගේ ගෘහයේ මා සිටිය යුතුයි කියා ඔබ දැනගෙන සිටියේ නැද්ද?”—ලූක් 2:45-50.

යේසුස් අම්මාගෙන් එහෙම ඇහුව එක වැරදියි කියලා ඔයා හිතනවාද?— දේවමාලිගාවට ගිහින් දෙවිට නමස්කාර කරන්න යේසුස් කැමතියි කියලා ඔහුගේ දෙමව්පියන් දැනගෙන හිටියා. (ගීතාවලිය 122:1) ඒ නිසා මුලින්ම මාව දේවමාලිගාවේ හොයන්න තිබුණානේ කියලා යේසුස් කිව්ව දේ සාධාරණයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?— කොහොමවුණත් යේසුස් කිව්ව දේවල් මරියා සිතේ තියාගත්තා.

යේසුස් එයාගේ අම්මාටයි තාත්තාටයි කීකරු වුණාද?— ඒ ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “යේසුස් ඔවුන් සමඟ නාසරෙත් නුවර බලා පිටත් විය. ඔහු දිගටම ඔවුන්ට කීකරු වී සිටියේය.” (ලූක් 2:51, 52) යේසුස්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?— අපිත් යේසුස් වගේ දෙමව්පියන්ට කීකරු වෙන්න ඕනේ.

කොහොමවුණත් නිතරම යෙහෝවා දෙවිට කීකරු වෙන එක යේසුස්ට ලෙහෙසි වුණේ නැහැ. අපරාධකරුවෙක් විදිහට යේසුස්ට මිය යන්න යෙහෝවා දෙවි ඉඩහැරියත් ඒකට කීකරුවෙන එක යේසුස්ට අභියෝගයක් වුණා. (ලූක් 22:42) ඒ වුණත් යේසුස්, යෙහෝවා දෙවිට කීකරු වෙලා ඒ අභියෝගයට මුහුණ දුන්නා. ‘විවිධාකාර දුක් පීඩා විඳ’ යේසුස් ‘කීකරුකම ඉගෙනගත්තා’ කියලා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 5:8) කීකරුකම ගැන අපිට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?—

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.