Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

මරිජුවානාවලට ඇබ්බැහි වූ මැර කල්ලියක සාමාජිකයෙක් තම ජීවිතය වෙනස් කරගත්තේ කෙසේද? හෙවිමෙටල් සංගීත කණ්ඩායමක සිටි කෙනෙක් දිගට වවා තිබූ කොණ්ඩය කැපීමටත් පහත් සංගීතය අත්හැරීමටත් පෙලඹුණේ ඇයි? ආගමික ප්‍රතිපත්තිවලට හෝ ආණ්ඩුවේ නීතිරීතිවලට ගරු නොකළ පුද්ගලයෙක් දේවසේවකයෙක් වීමට පෙලඹුණේ ඇයි? ඒ ගැන ඔවුන්ම පවසන දේවල් දැන් අපි සලකා බලමු.

“නරක පුරුදුවලින් මිදෙන්න මට පුළුවන් වුණා”—පීට කවුසාංගා

වයස: 32

රට: නැමීබියාව

අතීතයේදී: මරිජුවානාවලට ඇබ්බැහි වූ කල්ලි සාමාජිකයෙක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ රූණ්ඩූ කියන නගරයෙයි. මෙහෙ ඉන්න අය මෙනේරි, දර සහ අඟුරු විකුණලා තමයි ජීවත් වුණේ.

මට වයස අවුරුදු දෙකේදී මගේ අම්මා මිය ගියා. ඒ නිසා මාව බලාගත්තේ මගේ ආච්චි. අපි ගත කළේ හරිම සරළ ජීවිතයක්. හැබැයි කාලයත් එක්කම මගේ පාසැලේ යාළුවන්ව ආශ්‍රය කරන්න පටන්ගත්තාට පස්සේ මම හුඟක් දඩබ්බර වුණා. පාසැලේදී මම කල්ලියකටත් බැඳුණා. ඒ නිසා මිනිස්සු එක්ක ගහගන්න, හොරකම් කරන්න, මත්පැන් සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න වගේම දියමන්ති ජාවාරම්වලට හවුල් වෙන්නත් පටන්ගත්තා. මංකොල්ල කෑම් සහ වංචනික ක්‍රියා නිසා මට දෙවතාවක්ම හිර ගෙදරට යන්නත් සිද්ධ වුණා.

මම ඉගෙනගත්තේ 10 වසරට වෙනකල් විතරයි. ඊටපස්සේ මම පදිංචිය මාරු කළා. මට ඕනෙ වුණේ මගේ ජීවිතය මුල ඉඳලා පටන්ගන්න. ඒත් මේ වෙනකොට මරිජුවානා ගන්න එක නතර කරන්න මට පුළුවන් වුණේ නැහැ. සමහර අවස්ථාවලදී මරිජුවානා දුම්වැටියක් ගන්න මම සැතපුම් ගණන් ඇවිදලා තියෙනවා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: වර්ෂ 1999දී මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණා. ඒ අය මට සැලකුවේ හරිම ගෞරවයෙන්. ඒ ගැන මට පුදුම හිතුණා. ඒ අය දුන්න සඟරා කියවනකොට මට හිතුණා ඒ අයගේ ආගම තමයි සැබෑ ආගම කියලා. ඒ නිසා මම ඒ අයත් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා. යෙහෝවා දෙවිව සතුටු කරන්න නම් මගේ ජීවිතයේ වෙනස්කම් කරගන්න ඕනේ කියලා මට තේරුණා.

ඒ නිසා දුම්පානය නතර කරන්න මම නිශ්චිත දවසක් වෙන් කරගත්තා. ඊටපස්සේ මං ළඟ තිබුණ දුම්පානයට සම්බන්ධ හැම දෙයක්ම මම විනාශ කළා. ඒ වගේම මං ඉස්සරහා දුම් පානය කරන්න එපා කියලා මං මගේ යාළුවන්ටත් කිව්වා. ඒත් දුම්පානය නතර කරන එක මම හිතුව තරම් ලෙහෙසි වුණේ නැහැ. අවස්ථා දෙකකදීම මම ආයෙත් මරිජුවානා ගත්තා. කොහොමවුණත් ඒ දේවල් නතර කරන්න ගත්ත උත්සාහය මම අත්හැරියේ නැහැ. මම බයිබලයේ හිතෝපදේශ 24:16හි සඳහන් මේ දේ මතක තියාගත්තා. “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය.” ඒ නිසා කාලයත් එක්කම මට ඒ නරක පුරුදුවලින් මිදෙන්න පුළුවන් වුණා.

යෙහෝවා දෙවි ගැන වැඩි වැඩියෙන් ඉගෙනගන්නකොට ඔහුව මගේ කිට්ටු මිත්‍රයෙක් කරගන්න ඕනෙ කියලා මම හිතුවා. බයිබලයේ ගීතාවලිය 27:10හි සඳහන් මේ වදන් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. “මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවි වන ඔබ මාව භාරගනු ඇත.” බයිබලයේ සඳහන් දේවල් තවත් හොඳින් ඉගෙනගන්නකොට ඒ බයිබල් පදයේ සඳහන් දේ ඇත්ත කියලා මම අද්දැක්කා. ඇත්තටම යෙහෝවා දෙවි මං ගැන සැලකිලිමත් ප්‍රේමණීය පියෙක් කියලයි මට දැනුණේ.

මම දිගටම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ඇසුරු කළා. ඒ අය සැබෑ මිතුරන් බවත් එකිනෙකාට ප්‍රේමයෙන් සලකන බවත් මම දැක්කා. මීට කලින් කවදාවත් මට ඒ වගේ අයව මුණගැහිලා තිබුණේ නැහැ.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: යෙහෝවා දෙවිගෙන් වගේම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් මට ලැබුණු උපකාරය නිසා මම අඳින විදිහ, හැසිරෙන විදිහ, කතා කරන විදිහ යන මේ හැම දෙයක්ම වෙනස් කරගන්න මට පුළුවන් වුණා. මගේ ජීවිතය ගැන හිතනකොට කලින් දළඹුවෙක් වගේ හිටිය මං දැන් ලස්සන සමනලයෙක් වගේ වෙලා කියලයි මට හිතෙන්නේ. මගේ මේ වෙනස ගැන මගේ නෑදෑයන් හුඟක් සතුටු වෙනවා. ඒ නිසා ඒ අයගේ විශ්වාසය දිනාගන්නත් මට දැන් පුළුවන් වෙලා තියෙනවා. මම දැන් මගේ බිරිඳට ආදරණීය සැමියෙක් වෙන්නත් මගේ දරුවන්ට ආදරණීය තාත්තා කෙනෙක් වෙන්නත් මගේ උපරිමයෙන් වෑයම් කරනවා.

“දැන් මගේ ජීවිතයට සැබෑ අරමුණක් තියෙනවා”—මාකොස් පාවුලු ඩි සොසා

වයස: 29

රට: බ්‍රසීලය

අතීතයේදී: හෙවිමෙට්ල් සංගීත කණ්ඩායමක සාමාජිකයෙක්

මගේ අතීතය: අපි ජීවත් වුණේ සඕ පවුලෝවල. මගේ අම්මයි තාත්තයි තද කතෝලිකයෝ. මමත් පොඩි කාලේ පූජාවට උදව් කරන ළමයෙක් විදිහට වැඩ කළා. ඒ නිසා මගේ යාළුවෝ මට ‘ෆාදර්’ කියලා විහිළු කරන්න පටන්ගත්තා. වයස අවුරුදු 15දී මම හෙවිමෙට්ල් සංගීතය ඉගෙනගන්න පටන්ගත්තා. හෙවිමෙට්ල් සංගීතය හදාරන අයව ආශ්‍රය කරන්න පටන්ගත්තාට පස්සේ මම මගේ කොණ්ඩේ දිගට වැවුවා. මම සංගීතයට හුඟක් කැමති නිසා මගේ තාත්තා 1996දී මට ඩ්‍රම්සෙට් එකකුත් ගෙනත් දුන්නා.

වර්ෂ 1998දී මම හෙවිමෙට්ල් සංගීත කණ්ඩායමකට බැඳුණා. ඒ සංගීතයෙන් යක්ෂයාවත් ඔහුගේ කුරිරු ක්‍රියාවනුත් අගය කළා. මේ නිසා කාලයත් එක්කම මං හිතන විදිහ සහ හැසිරෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මං හැම දෙයක් ගැනම වැරදි විදිහට හිතන්නත් කේන්තියෙන් කටයුතු කරන්නත් පෙලඹුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: වර්ෂ 1999දී තමයි මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුල් වතාවට මුණගැහුණේ. බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කැමතිද කියලා ඒ අය මගෙන් ඇහුවම මම ඒකට කැමති වුණා. ඒත් ඇත්තටම ඒ වෙනකොට බයිබලය ගැන ඉගෙනගන්න මට ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. ඒ කොහොමවුණත් බයිබලය ඉගෙනගන්නකොට මගේ ජීවිතය ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්ගත්තා.

මිනිස්සු මාව “කොණ්ඩේ දිග හාදයා,” “ඩ්‍රම්ස් වාදකයා” වගේ නම්වලින් තමයි හැඳින්නුවේ. හැබැයි මේ සංගීත කණ්ඩායමට බැඳුණට පස්සේ මම ආත්මාර්ථකාමී, තරඟකාරී පුද්ගලයෙක් වෙලා කියලා මට තේරුණා. ඒ සංගීතයට බැඳිලා ඉන්න අයව මම හුඟක් භක්තියෙන් සැලකුවත් ඒ අයගේ ජීවිතයට සැබෑ අරමුණක් නැති බව මට තේරුණා. ඒ වගේම යෙහෝවා දෙවිගේ සේවකයෙක් වෙන්න නම් හෙවිමෙට්ල් සංගීතයෙනුත් මම ගත කරමින් හිටිය දුරාචාර ජීවිතයෙනුත් රූප වන්දනාවෙනුත් ඉවත් වෙන්න ඕනේ කියලා මම තේරුම්ගත්තා.

මම ඇත්තටම හෙවිමෙට්ල් සංගීතයටත් දිගට වවලා තිබුණ මගේ කොණ්ඩෙටත් හුඟක් ආස කළ නිසා ඒ දේවල් නැතුව මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා මම කල්පනා කළා. ඒ වගේම මට හරිම ඉක්මනට කේන්ති යන නිසා ඒක පාලනය කරගන්න ඕනේ කියලාත් මම තේරුම්ගත්තා. කොහොමවුණත් මම යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්නකොට දෙවි ඉතාමත් ප්‍රේමණීය, ඉවසිලිවන්ත සහ කාරුණික කෙනෙක් බව මම දැනගත්තා. ඒ නිසා යෙහෝවා දෙවිට තව තවත් ප්‍රේම කරන්න මම පෙලඹුණා. ඒ වගේම මගේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කරන්න මට උදව් කරන්න කියලා මම දෙවිට යාච්ඤා කළා. ඇත්තටම දෙවි මට උදව් කළා. ඒකෙන් මම දැනගත්තා බයිබලයේ හෙබ්‍රෙව් 4:12හි සඳහන් ආකාරයට “දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය” කියලා.

සාක්ෂිකරුවන්ව ඇසුරු කරනකොට ඒ අය එකිනෙකා ආදරයෙන් සලකන සෙනඟක් කියලා මට තේරුණා. විශේෂයෙන්ම ඔවුන් පවත්වන සමුළුවලදී ඒක කැපිලා පෙනුණා. අන් අයගේ යහපත වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා ස්වේච්ඡාවෙන් වැඩ කරන අයව දැක්කම මට පුදුම හිතුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: යෙහෝවා දෙවිගේ උදව්වෙන් මට පුළුවන් වුණා මගේ කේන්තිය පාලනය කරගන්න. ඒ වගේම දැන් මම ආත්මාර්ථකාමී විදිහට හැසිරෙන උඩඟු පුද්ගලයෙක් නෙවෙයි කියලත් මට තේරෙනවා.

මම කලින් ගත කළ ජීවිතය අතහැරිය එක ගැන මම මුල් කාලයේදී දුක් වුණත් දැන් නම් මට එහෙම හැඟෙන්නේ නැහැ. දැන් මගේ ජීවිතයට සැබෑ අරමුණක් තියෙනවා. ඒ වගේම ඉස්සරට වඩා වෙනස්ව දැන් අනික් අයගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙන්න ඉගෙනගන්න එක ගැනත් මට හුඟක් සතුටුයි.

“මම අනික් අය ගැන සැලකිලිමත් වෙන්න පුරුදු වුණා”—ජෙෆ්රි නෝබල්

වයස: 59

රට: එක්සත් ජනපදය

අතීතයේදී: ආගමික ප්‍රතිපත්තිවලටවත් රජයේ නීතිවලටවත් ගරු නොකළ කෙනෙක්

මගේ අතීතය: මම හැදුණේ ඉප්ස්විච්, මැසචුසෙට්ස්වලයි. මම වැඩිහිටියෙක් වුණාට පස්සේ වර්මොන්ට් කියන ඈත ප්‍රදේශයට පදිංචියට ගියා. එහෙදී මමයි මම යාළුවෙලා හිටිය ගෑනු ළමයයි ගත කළේ අමුතුම විදිහේ ජීවිතයක්. අපිට විදුලි පහසුකම් තිබුණේ නැහැ. ඒ නිසා අපි දර ලිපක තමයි ඉව්වේ. අවුරුද්දේ වැඩි කාලයක් අපිට වතුර තිබුණෙත් නැහැ. අපි සාමාන්‍යයෙන් සමාජය පිළිගත් පුරුදු හැම දෙයක්ම ප්‍රතික්ෂේප කළා. අපි ඒ බව අපේ පෙනුමෙනුත් පෙනෙන්න සැලැස්සුවා. උදාහරණයකට මාස හයක් යන තුරුම මම මගේ කොණ්ඩෙවත් පීරුවේ නැහැ. ඇත්තටම කියනවා නම් මට ඒ ගැන ලොකු සතුටක් දැනුණා.

ඒ කාලයේදී එක්සත් ජනපදයත් වියට්නාමයත් අතර යුද්ධයක් පැවතුණා. මම දැක්කා රජයෙන් සහ ආගම්වලින් කොයි තරම් කුහක විදිහට වැඩ කරනවාද කියලා. ඒ නිසා එවැනි අයගෙන් කිසිම මඟ පෙන්වීමක් ලබාගැනීම සුදුසු නැහැ කියලත් හරි වැරැද්ද මොකක්ද කියලා අපිම තීරණය කරන්න ඕනෙ කියලත් මම හිතුවා. ඒ නිසා අපේ අවශ්‍යතා සපුරාගන්න සොරකම් කරන එක වැරදි නැහැ කියලයි මම හිතුවේ.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මමයි මම යාළු වෙලා හිටිය ගෑනු ළමයයි බයිබලය කියවන්න පටන්ගත්තා. ඒත් ඒ කිසිම දෙයක් අපිට තේරුණේ නැහැ. මම මත්ද්‍රව්‍ය පාවිච්චි කළ නිසා ඒක නතර කරන්න කොච්චර උත්සාහ කළත් ඒක කරන්න පුළුවන් වුණේ නැහැ. මම යාළු වෙලා හිටිය ගෑනු ළමයට ඕනෙ වුණේ විවාහ වෙලා දරුවන් හදන්න. ඒ කාලයේදීම වගේ අපේ ගෙදරට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආවා. ඒ නිසා ඒ අය එක්ක බයිබලය ගැන ඉගෙනගන්න අපි කැමති වුණා.

වැඩි කල් යන්න කලින් මගේ නරක පුරුදු අතහරින්න මට පුළුවන් වුණා. ඒ වුණත් නීතිවලට යටත් වෙලා ජීවත් වෙන එක මට ලේසි වුණේ නැහැ. මම පුරුදු වෙලා හිටියේ හැම දෙයක් ගැනම ප්‍රශ්න කරලා මට ඕනෙ විදිහට දේවල් කරන්නයි. මම ගත කළේ හරිම නිදහස් ජීවිතයක්. ඒ නිසා තවත් කෙනෙක් කියන විදිහට ජීවත් වෙන එක මට ලේසි වුණේ නැහැ.

මේ විශ්වය නිර්මාණය කරන්න දෙවි කෙනෙක් ඉන්න ඕනේ කියලා මම විශ්වාස කළත් ඒ නිර්මාණකරු ගැන වැඩි විස්තර මම දැනගෙන හිටියේ නැහැ. මම බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තාම විශ්වය නිර්මාණය කළ යෙහෝවා දෙවි මොන වගේ දෙවි කෙනෙක්ද කියලා මම දැනගත්තා. දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ඔහු ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අනාගතයේදී මුළු පොළොවම පාරාදීසයක් කිරීමට ඔහු අරමුණු කරලා තියෙනවා කියලත් මම දැනගත්තා. (2 පේතෘස් 3:13) දෙවිගේ සේවකයෙක් වෙලා ඔහුට සේවය කරන්න නම් මගේ ජීවිතයේ වෙනස්කම් කරන්න ඕනෙ කියලා මට තේරුණ නිසා මම ඒ වෙනස්කම් කළා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට කිසිම ආකාරයකින්වත් සහභාගි වෙන්නේ නැහැ. ඒක දැක්කම මට පුදුම හිතුණා. ලෝකයේ වෙන කිසිම ආගමක් ඒ විදිහට කටයුතු කරනවා මම දැකලා නැහැ.

යෙහෝවා දෙවිට සේවය කරන්න නම් මගේ පෙනුම වෙනස් කරගන්න ඕනෙ කියලා මට තේරුණා. ඒත් මුලින්ම සාක්ෂිකරුවන් වගේ පිළිවෙළට අඳින එක මට ලෙහෙසි වුණේ නැහැ. මටවත් මගේ යාළුවන්ටවත් පිළිවෙළක් ඇති කමිසයක්වත් කලිසමක්වත් සපත්තු කුට්ටමක්වත් තිබුණේ නැහැ. අඩුම තරමේ මටම කියලා ටයිපටියක්වත් තිබුණේ නැහැ. හැබැයි මම මගේ කොණ්ඩෙ කපලා පිළිවෙළට ඉන්න උත්සාහ කළා. මට තාම මතකයි මම දේශනා සේවයේ ගිය මුල්ම දවස. මම ගිය ගෙදර තිබුණ වීදුරුවකින් මාව දැක්කම මටම පුදුම හිතුණා. ඒ වෙලාවේ මට හිතුණා ‘මම මොනවද මේ කරගෙන තියෙන්නේ’ කියලා. හැබැයි කාලයත් එක්කම මම මගේ අලුත් පෙනුම ගැන සතුටු වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: මමයි මම යාළු වෙලා හිටිය ගෑනු ළමයයි විවාහ වුණා. දැන් අපි හුඟක් සතුටින් ජීවත් වෙනවා. යෙහෝවා දෙවි සතුටු වෙන ආකාරයෙන් ජීවත් වෙන්න අපි අපේ දරුවෝ තුන්දෙනාවත් පුහුණු කරනවා. ඒ වගේම මගේ ජීවිතය වෙනස් කරගන්න උපකාරවත් වුණ බයිබල් ප්‍රතිපත්ති අනික් අයට කියා දීමෙනුත් මම ලොකු සතුටක් අද්දකිනවා.

ඉස්සර මම අනික් අය ගැන පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. ඒත් දැන් මම අනික් අය ගැන සැලකිලිමත් නිසා ඒ අයත් මං ගැන සැලකිලිමත් වෙනවා. ඒ ගැන මට හුඟක් සතුටුයි.

[26වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සමහර අවස්ථාවලදී මරිජුවානා දුම්වැටියක් ගන්න මම සැතපුම් ගණන් ඇවිදලා තියෙනවා”

[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“බයිබලය ඉගෙනගන්නකොට මගේ ජීවිතය ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්ගත්තා”

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සාක්ෂිකරුවන් වගේ පිළිවෙළට අඳින එක මට ලෙහෙසි වුණේ නැහැ”