Skip to content

පටුනට යන්න

අනාවැකි පහදා දෙන්නේ කවුද?

අනාවැකි පහදා දෙන්නේ කවුද?

අනාවැකි පහදා දෙන්නේ කවුද?

අතීතයේදී බොහෝදෙනා ප්‍රහේලිකා විසඳන්න, තේරවිලි තෝරන්න සහ ගැට ලිහන්න උනන්දු වුණා. ඒ අතර ගෝඩියන් නමැති ගැටය ගොඩක් ප්‍රසිද්ධයි. එය ඉතා සංකීර්ණ ගැටයක්. * බොහෝදෙනෙක් එය ලිහන්න උත්සාහ කළා. ජනයා සිතුවේ එය ලිහන්න හැකියාව තිබෙන්නේ ප්‍රඥාවන්ත කෙනෙකුට බවයි. ඒ වගේම එම තැනැත්තා බොහෝ ජයග්‍රහණ අත් කරගන්න බවත් ඔවුන් විශ්වාස කළා. මහා ඇලෙක්සැන්ඩර් රජු එම ගැටය ලිහුවා. නමුත් ඔහු එය කළේ කඩු පහරකින්.

අතීතයේ සිටි ප්‍රඥාවන්ත මිනිසුන් සංකීර්ණ ගැට ලිහන්න පමණක් නොව තේරවිලි තෝරන්නත් ප්‍රහේලිකා ලෙස ඉදිරිපත් කර ඇති අනාවැකි තේරුම් කරලා දෙන්නත් අනාගතය ගැන පවසන්නත් සමත් වුණා.

කොහොමවුණත් සමහර ගැටලු විසඳන්න ප්‍රඥාවන්තයන්ටවත් හැකි වුණේ නැහැ. උදාහරණයකට, බැබිලෝනියේ රජ කෙනෙක් වූ බෙල්ෂසර්ගේ මාලිගාවේ බිත්තියේ ආශ්චර්යවත් ලෙස ලියූ වචන කිහිපයක තේරුම කුමක්ද කියා පහදා දෙන්න එදා බැබිලෝනියේ සිටි ප්‍රඥාවන්ත මිනිසුන්ට හැකි වුණේ නැහැ. නමුත් ‘සංකීර්ණ ගැටලු විසඳීමට හැකියාවක් තිබූ’ දානියෙල් එම වචනවල තේරුම පහදා දුන්නා. (දානියෙල් 5:12) ඔහු යෙහෝවා දෙවිට සේවය කළ මහලු පුද්ගලයෙක්. එම වචනවල සඳහන්ව තිබුණේ අනාවැකියක්. ඒ අනාවැකියට අනුව එදා රාත්‍රියේදීම බැබිලෝනි අධිරාජ්‍යය බිඳ වැටීමට නියමිතව තිබුණා.—දානියෙල් 5:1, 4-8, 25-30.

අනාවැකියක් යනු කුමක්ද?

අනාවැකියක් යනු යමක් සිදු වීමට පෙර ඒ ගැන පැවසීමයි. බයිබලයේද අනාවැකි සඳහන් වෙනවා. දෙවිගේ කැමැත්ත හා අරමුණ ගැන තොරතුරු එම අනාවැකිවල ඇතුළත් වෙනවා. උදාහරණයකට මෙසියස් හෙවත් ගැලවුම්කරුගේ පැමිණීම හා “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” හඳුනාගත හැකි ආකාරය මෙන්ම දෙවිගේ විනිශ්චය ගැන සඳහන් අනාවැකි බයිබලයේ ඇතුළත් වී තිබෙනවා. (මතෙව් 24:3; දානියෙල් 9:25) කෙසේවෙතත් බයිබලයේ සඳහන් සමහර අනාවැකිවල ගැටයක් හා සමාන තොරතුරුද ඇතුළත් වෙනවා.

වර්තමානයේ විද්‍යාව, ආර්ථිකය, සෞඛ්‍යය, දේශපාලනය, පරිසරය සහ වෙනත් ක්ෂේත්‍රවල සිටින බුද්ධිමතුන් අනාගතය ගැන විවිධ අදහස් පළ කරනවා. එවැනි අදහස්වලට ජනමාධ්‍යවලින් විශාල ප්‍රචාරයක් ලබා දෙන අතර පොදු ජනයාද ඒවා ඉහමුදුණින් පිළිගන්නවා. ඇත්තටම ඔවුන් එලෙස අනාගතය ගැන යම් අදහස් දක්වන්නේ ඔවුන් ලබා තිබෙන දැනුමට අනුවයි. ඒ වගේම තවත් අය ඒවාට විරුද්ධ අදහස්ද දරනවා. අනාගතයේ කුමක් සිදු වෙයිද කියා කිසි මිනිසෙකුට ස්ථිරව පැවසිය නොහැකි නිසා ඒ ගැන අනාවැකි පැවසීම භයානක විය හැකියි.

අනාවැකි පැවසිය හැක්කේ කාටද?

සැබෑ අනාවැකි පැවසීමටත් අනාවැකිවල අඩංගු ගැට හා සමාන කාරණා තේරුම් කර දීමටත් හැක්කේ කාටද? එසේ කළ හැක්කේ යෙහෝවා දෙවිට පමණයි. බයිබලයේ සඳහන් අනාවැකි ගැන යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පේතෘස් මෙසේ පැවසුවා. ‘ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් කිසිම අනාවැකියක් යමෙකුගේ පෞද්ගලික අදහස් පදනම් කරගෙන ලියවී නැහැ.’—2 පේතෘස් 1:20.

අනාගතයේදී සිදු වන්නේ කුමක්ද කියා නිවැරදිව පැවසීමට මිනිසුන්ට හැකියාවක් නැහැ. වර්තමානයේ සිදු වන දේවල් දෙස බලන විට අනාගතයේදී භයානක තත්වයක් උදා වෙයි කියා මිනිසුන් අවබෝධ කරගෙන සිටිනවා. නමුත් එය කෙසේ සිදු වෙයිද කියා ඔවුන්ට නිශ්චිතවම පවසන්න බැහැ.

කෙසේවෙතත් බයිබලයේ ඇති අනාවැකි ඊට වඩා වෙනස්. දෙවිගේ සේවකයන් අනාවැකි පැවසුවේ ඔවුන් සිටි කාලයේ සිදු වූ දේවල් පදනම් කරගෙන නොවෙයි. ඔවුන් එසේ කළා නම් ඒවා ඔවුන්ගේ උපකල්පන මිස සැබෑ අනාවැකි වන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ සඳහන් අනාවැකි ගැන එහිම මෙසේ සඳහන් වෙනවා. “අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ. මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.”—2 පේතෘස් 1:21.

“අර්ථය තෝරා දෙන්න අයිතිය තියෙන්නේ දෙවිටයි”

මීට වසර 3,700කට පමණ පෙර සිදු වූ දෙයක් අපි දැන් සලකා බලමු. පුද්ගලයන් දෙදෙනෙක් ඊජිප්තුවේ සිරභාරයේ සිටියදී අසාමාන්‍ය සිහින දෙකක් දකිනවා. ඒ සිහිනවලට අනාවැකි ඇතුළත් වුණා. නමුත් එහි අර්ථය කුමක්ද කියා දැනගැනීමට ක්‍රමයක් නොමැති නිසා ඔවුන් සමඟ සිරභාරයේ සිටි යෝසෙප් නම් තරුණයාට ඔවුන් ඒ ගැන මෙසේ පැවසුවා. “අපි දෙන්නම හීන දැක්කා. නමුත් ඒ හීනවල අර්ථය තෝරා දෙන්න කවුරුත් නැහැ.” එවිට යෝසෙප් මෙහෙම කිව්වා. “යම් කාරණයක අර්ථය තෝරා දෙන්න අයිතිය තියෙන්නේ දෙවිටයි.” (උත්පත්ති 40:8) ඇත්තෙන්ම අනාවැකිවල හෝ සිහිනවල අර්ථය තෝරා දීමට හැකියාව තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණයි. බයිබලයේ සඳහන් වෙන්නේ යෙහෝවා දෙවි පැවසූ අනාවැකියි. ඒ නිසා ඒවායෙහි නියම අර්ථය දැනගැනීමට ඔහුගේ උපකාරය අත්‍යවශ්‍යයි. “අර්ථය තෝරා දෙන්න අයිතිය තියෙන්නේ දෙවිටයි” කියා යෝසෙප් පැවසුවේ ඒ නිසයි.

බයිබලයේ සඳහන් සමහර අනාවැකි ඉක්මනින් තේරුම්ගත හැකියි. ඒ වගේම ඒවා ඉටු වීමට එතරම් කාලයක් ගත වෙන්නේද නැහැ.—උත්පත්ති 18:14; 21:2.

එහි සඳහන් සමහර අනාවැකි අවට පාඨ සලකා බැලීමෙන්ද තේරුම්ගත හැකියි. ඒ සම්බන්ධයෙන් උදාහරණයක් සලකා බලමු. ‘ඇස් දෙක අතරේ විශාල අඟක් තිබුණ එළුවෙක් අං දෙකක් ඇති බැටළුවෙකුට පහර දී’ ඌව බිම දමනවා දානියෙල් දුටුවා. එහි අවට පාඨ සලකා බැලීමෙන් පැහැදිලි වෙන්නේ කුමක්ද? අං දෙකක් ඇති බැටළුවාගෙන් “මේදිය සහ පර්සියානු රජවරුන්” නියෝජනය වන බවත් එළුවාගෙන් “ග්‍රීසියේ රජ” නියෝජනය වන බවත් ඉන් පැහැදිලි වෙනවා. (දානියෙල් 8:3-8, 20-22) අනාවැකිය සඳහන් කර වසර 200කට පමණ පසු එය ඉටු වුණා. මහා ඇලෙක්සැන්ඩර් රජු යෙරුසලම යටත් කරගැනීම සඳහා පැමිණි විට ඔහුට මෙම අනාවැකිය පෙන්වූ බවත් එහි සඳහන් වෙන්නේ තමන් ගැන බව ඔහු අවබෝධ කරගත් බවත් යුදෙව් ඉතිහාසඥයෙක් වන ජොසීෆස් සඳහන් කරනවා.

දෙවිගේ බලයේ උපකාරය තුළින්ද අනාවැකි තේරුම්ගත හැකියි. යෝසෙප්ට ඔහු සමඟ සිරභාරයේ සිටි පුද්ගලයන් දෙදෙනා පැවසූ සිහිනවල අර්ථය පැහැදිලි කිරීමට හැකි වුණේ යෙහෝවා දෙවිගේ බලයේ උපකාරය නිසයි. (උත්පත්ති 41:38) බයිබලයේ සඳහන් අනාවැකියක අර්ථය තේරුම්ගැනීමට අද දින සිටින දෙවිගේ සේවකයන්ට අපහසු අවස්ථාවලදී ඔවුන් දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කරනවා. ඒ වගේම ඔවුන් බයිබලයද අධ්‍යයනය කරනවා. එවිට බයිබලයේ සඳහන් එම අනාවැකිය තේරුම්ගැනීමට උපකාරවත් වන බයිබල් පද පැහැදිලි කරගැනීමට දෙවි ඔහුගේ බලය මගින් උපකාර කරනවා. ඒ නිසා දෙවිගේ සේවකයන් බයිබලයේ ඇති අනාවැකි තේරුම්ගැනීමට එම අනාවැකි ගවේෂණ කළ මිනිසුන්ගේ අදහස් පදනම් කරගන්නේ නැහැ.—ක්‍රියා 15:12-21.

දෙවිගේ සේවකයන් සමහර අනාවැකි තේරුම්ගන්නේ ඒවා ඉටු වූ පසුයි. ඒ වගේම ඉටු වන අතරතුර තේරුම්ගන්නා අනාවැකිද තිබෙනවා. තවත් අනාවැකි තේරුම්ගන්නේ ඒවා ඉටු වීමට පෙරයි. තම සේවකයන් අනාවැකියක් තේරුම්ගත යුත්තේ කුමන කාලයේදීද කියා තීරණය කරන්නේ යෙහෝවා දෙවියි.

යෝසෙප් සමඟ සිටි සිරකරුවන් දෙදෙනා යෝසෙප්ට පැවසූ සිහිනවල ඇතුළත්ව තිබූ අනාවැකිය ඉටු වුණේ යෝසෙප් එය පහදා දී දින තුනකට පසුවයි. (උත්පත්ති 40:13, 19) ඊජිප්තුවේ පාරාවෝ රජුද සිහින දෙකක් දුටුවා. ඒවායෙහි තේරුම පැහැදිලි කර දීමට ඔහු යෝසෙප්ව කැඳෙව්වා. එම සිහිනවලට අනාවැකියක් ඇතුළත් වුණා. ඒ අනාවැකියට අනුව ඉදිරියේදී සරු අස්වැන්නක් පවතින වසර හතක් සහ සාගතය පවතින වසර හතක් පැමිණීමට නියමිතව තිබුණා. දෙවිගේ උපකාරය ඇතුව යෝසෙප් පාරාවෝගේ සිහිනයේ අර්ථය තේරුම් කර දුන් නිසා එහි සඳහන් අනාවැකිය ඉටු වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පාරාවෝට හැකි වුණා.—උත්පත්ති 41:29, 39, 40.

අනාවැකියක් ඉටු වූ පසු එය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් අවස්ථාවක් ගැන උදාහරණයක් දැන් අපි බලමු. යේසුස්ගේ ජීවිතයේ බොහෝ සිදුවීම් ඔහු ඉපදීමට සියවස් ගණනාවකට කලින් වාර්තා කර තිබුණා. නමුත් ඔහුගේ ගෝලයන් එම අනාවැකිය වටහාගත්තේ යේසුස් නැවත නැඟිටීමෙන් පසුවයි. (ගීතාවලිය 22:18; 34:20; යොහන් 19:24, 36) දානියෙල් 12:4ට අනුව ඉදිරියේදී ඉටු වීමට නියමිත අනාවැකිද තිබෙනවා. සමහර අනාවැකි ‘අවසාන කාලය දක්වා වසා මුද්‍රා කර තබන’ බවත් නියමිත කාලයේදී දෙවි ඒවා අවබෝධ කර දෙන බවත් එහි සඳහන් වෙනවා. අප දැන් ජීවත් වෙන්නේ එම අනාවැකි ඉටු වන කාලයේයි. *

බයිබලයේ සඳහන් අනාවැකි ඔබට බලපාන ආකාරය

යෝසෙප් සහ දානියෙල් විවිධ ජාතීන් ගැන හා පාලන ක්‍රම ගැන සඳහන් අනාවැකි පැවසුවා. ඔවුන් එසේ පැවසුවේ රජවරුන් ඉදිරියේ සිටයි. පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්ද ජනයාට යෙහෝවා දෙවි පැවසූ පණිවිඩ ප්‍රකාශ කළා. ඔවුන් පැවසූ දේවල් පිළිගත් අයට බොහෝ ප්‍රයෝජන ලැබුණා.

අද දිනත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරනවා. “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” ගැන යේසුස් පැවසූ අනාවැකිය දැන් ඉටු වෙමින් පවතින බව ඔවුන් ජනයාට පවසනවා. (මතෙව් 24:3, 14) ඒ අනාවැකියට ඇතුළත් වෙන්නේ මොනවාද කියා ඔබ දන්නවාද? එය ඔබට බලපාන ආකාරය ඔබ අවබෝධ කරගෙන සිටිනවාද? ඒ ගැන ඔබට අවබෝධ කර දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

[පාදසටහන්වල]

^ 2 ඡේ. ෆ්‍රිජියේ අගනුවර වූ ගෝඩියම් නගරය හා සම්බන්ධ පැරණි ග්‍රීක කතන්දරයක් තිබෙනවා. එම නගරයේ නිර්මාතෘ, ගෝඩියස්. ඔහුගේ රථය පොල්ලක ගැටගැසූ බව එම කතන්දරයේ සඳහන් වෙනවා. ඒ සඳහා යොදාගත්තේ ඉතා සංකීර්ණ ගැටයක්. එය ලිහන්න හැකි තැනැත්තා ආසියාව ජය ගන්නා බව එහි සඳහන් වෙනවා.

^ 19 ඡේ. වර්ෂ 2011 මැයි 1 මුරටැඹ කලාපයේ “දැන් ඉටු වෙන අනාවැකි හයක්” නමැති ලිපි පෙළ බලන්න.

[12, 13වන පිටුවල පින්තූර]

අනාවැකි තේරුම් කර දීමේ හැකියාව තිබෙන්නේ දෙවිට බව යෝසෙප් සහ දානියෙල් අවබෝධ කරගෙන සිටියා