ඉතිහාසය වෙනස් වෙයිද?
ඉතිහාසය වෙනස් වෙයිද?
“මේක නම් පුදුමාකාර සොයාගැනීමක්. මේකෙ ඇති තොරතුරු නිසා බොහෝදෙනෙකු තුළ විවිධ ප්‍රශ්න මතු වෙන්න පුළුවන්.” “මුල් ක්‍රිස්තියානීන් ගැන අපි හිතන් හිටිය විදිහ දැන් වෙනස් කරන්න වෙයි.” එවැනි ප්‍රකාශ සිදු කළේ විශාරදයන් “යූදස්ගේ සුවිශේෂය” කියා පොතක් සොයාගැනීමෙන් පසුවයි. එම ලියවිලි සොයාගැනීමට වසර 1600ක් පමණ ගත වුණා. (පින්තූරයේ පෙන්වා ඇත.)
බයිබලයේ පිළිගත් පොත්වලට ඇතුළත් නැති පැරණි ලියවිලි ගැන තොරතුරු දැනගැනීමට දැන් සමහරුන් උනන්දුවක් දක්වනවා. යේසුස්ගේ ජීවිතයේ අප නොදන්නා බොහෝ කරුණු ඒ ලියවිලිවල ඇතුළත් කියා සමහරු කියනවා. ඒවා ලිව්වේ ඇයි? යේසුස් හා ක්‍රිස්තියානි ආගම ගැන බයිබලයෙන් ඉගෙනගැනීමට නොහැකි තොරතුරු මේ ලියවිලිවලින් ඉගෙනගත හැකිද?
පිළිගත් හා නොපිළිගත් ලියවිලි
ක්‍රිස්තු වර්ෂ 41 සිට 98 දක්වා කාලය අතරතුර මතෙව්, මාක්, ලූක් හා යොහන් යන යේසුස්ගේ ගෝලයන් හතරදෙනා යේසුස් පොළොව මත සිටි කාලය ගැන තොරතුරු වාර්තා කළා. (මතෙව් 1:1) එම වාර්තා ශුභාරංචි පොත් හෝ සුවිශේෂ පොත් ලෙසද හඳුන්වනවා.—මාක් 1:1.
සුවිශේෂ පොත්වලට අමතරව යේසුස්ගේ ජීවිතය ගැන ලියූ වෙනත් ලියවිලි හා විවිධ කතාන්දර තිබිය හැකියි. නමුත් ශුද්ධ බයිබලයට අයිති විය යුතු බවට සැලකුවේ දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියූ මතෙව්, මාක්, ලූක් හා යොහන් යන පොත් හතර පමණයි. යේසුස්ගේ ඉගැන්වීම් හා ජීවිතය ගැන නිවැරදිම තොරතුරු ඇත්තේ එම පොත් හතර තුළ පමණයි. ඒවායේ තොරතුරු වාර්තා කර ඇත්තේ එහි ‘නිවැරදි බව සහතික කරගත්’ පසුවයි. (ලූක් 1:1-4; ක්‍රියා 1:1, 2; 2 තිමෝති 3:16, 17) අලුත් ගිවිසුමට ඇතුළත් පොත් ගැන ඇති සෑම පැරණි වාර්තාවකම එම පොත් හතරේ නම්ද සඳහන් වී තිබෙනවා. එම පොත් පිළිගත් ඒවා බවටත් දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ලියැවුණු බවටත් සැක කිරීමට කිසිදු හේතුවක් නැහැ.
නමුත් කාලයක් ගත වූ පසු යේසුස් ගැන සඳහන් තවත් පැරණි ලියවිලි කිහිපයක් සොයාගත්තා. සමහරුන් සිතුවේ ඒවාද සුවිශේෂ පොත් ලෙස සැලකිය යුතු බවයි.
ක්‍රි.ව. දෙවෙනි සියවස අග භාගයේ සිටි ලේඛකයෙක් වන අයිරිනියස් සඳහන් කරන ආකාරයට ක්‍රිස්තියානි ආගමට විරුද්ධව ක්‍රියා කළ අය ළඟ ක්‍රිස්තුස් හා ක්‍රිස්තියානි ආගම ගැන ලියැවුණු අසත්‍ය තොරතුරු ඇතුළත් ලියවිලි බොහොමයක් තිබුණා. ඒ අතර ඔවුන් විසින්ම ලියූ ඒවාද තිබුණා. ඒ නිසා එම ලියවිලි කියවීම පමණක් නොව ඒවා ළඟ තබාගැනීම පවා ඉතා භයානක බව බොහෝදෙනා සැලකුවා.
කෙසේවෙතත් ක්‍රි.ව. 500ත් 1500ත්අතර කාලයේ සිටි පූජකයන් සහ පිටපත්කරුවන් එම ලියවිලි ආරක්ෂා කළා. දහනවවන සියවස වන විට එම ලියවිලි ගැන දැනගැනීමට මිනිසුන් තුළ තිබූ උනන්දුව වැඩි වුණා. පසුව එවැනි ලියවිලි බොහොමයක්
සොයාගනු ලැබූ අතර ඒවා වර්තමානයේ විවිධ භාෂාවලින් මුද්‍රණය කරනවා.ඒවායේ අඩංගු වන්නේ සත්‍ය තොරතුරුද?
සුවිශේෂ පොත් හතරේ නිතරම සඳහන් නොකළ හෝ කිසිසේත් සඳහන් නොකළ පුද්ගලයන් ගැන එම ලියවිලිවල තොරතුරු ඇතුළත් වෙනවා. ඊට අමතරව යේසුස් බිලිඳෙකුව සිටි කාලයේ සිදු වූ සිදුවීම්ද ඒවායෙහි වාර්තා වෙනවා. අපි උදාහරණ කිහිපයක් බලමු.
▪ “යාකොබ්ගේ ශුභාරංචිය” එසේත් නැත්නම් “මරියාගේ උපත” ලෙස හඳුන්වන ලියවිල්ලේ මරියාගේ උපත, ළමා කාලය සහ යෝසෙප් සමඟ විවාහ වීම වැනි තොරතුරු ඇතුළත් වෙනවා. මරියා සැමදා කන්‍යාවක් ලෙස සිටි බව ඉන් පැහැදිලි කරන අතර එය ලියා ඇත්තේ ඇයව ගෞරවයට පත් කිරීම සඳහායි. ඒ හේතු නිසා බොහෝදෙනා එය හඳුන්වන්නේ ආගමික ප්‍රබන්ධ කතාවක් ලෙසයි.—මතෙව් 1:24, 25; 13:55, 56.
▪ “තෝමස්ගේ සුවිශේෂය” ලෙස හඳුන්වන ලියවිල්ලේ යේසුස් අවුරුදු පහේ සිට අවුරුදු 12 දක්වා කළ දේවල් ගැන සඳහන් වෙනවා. ඔහු එම වයසේදී ආශ්චර්යයන් කළ බව එහි වාර්තා වෙනවා. (යොහන් 2:11 බලන්න.) යේසුස් අකීකරු, ඉක්මනින් කෝප වන, පළිගන්න දරුවෙක් ලෙසත් තමන් සතු බලය යොදාගෙන ගුරුවරුන්, අසල්වාසීන් හා අනික් ළමුන්ගෙන් පළිගත් කෙනෙකු ලෙසත් එහි විස්තර කර තිබෙනවා. ඔහු සමහරුන්ව අන්ධ කළ බවත් අබ්බගාතයන් බවට පත් කළ බවත් ඝාතනය කළ බවත් එහි සඳහන් වෙනවා.
▪ “පේතෘස්ගේ සුවිශේෂය” ලෙස හඳුන්වන ලියවිල්ලේ යේසුස්ගේ නඩු විභාගය, මරණය සහ නැවත නැඟිටීම ගැන තොරතුරු ඇතුළත් වී තිබෙනවා. එම සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් ගැන විස්තර “පිලාත්ගේ ක්‍රියා” ලෙස හඳුන්වන ලියවිල්ලේ විස්තර කරනවා. එම ලියවිලිවල ඇතුළත් තොරතුරු සත්‍යය නොවන නිසාත් ඒවායේ සඳහන් පුද්ගලයන් සැබෑ අය නොවන නිසාත් ඒවා පිළිගත නොහැකියි.
අසත්‍ය වාර්තා
වර්ෂ 1945දී ඊජිප්තුවෙන් පැපිරස් ලියවිලි 13ක් සොයාගැනීමට හැකි වුණා. හතරවන සියවසේදී ලියා ඇති එම ලියවිලි අයත් වන්නේ දර්ශනවාදී අදහස් දරන ආගමකටයි. එය ගුප්ත අදහස්, බොරු ආගමික ඉගැන්වීම්, ග්‍රීක දර්ශනවාදයන්, යුදෙව් හා ක්‍රිස්තියානි ආගමේ අදහස් යන සියල්ල එකතු කර බිහි වුණු ආගමක්. ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන්ගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ අය එම ආගමේ ඉගැන්වීම් පිළිගත්තා.—1 තිමෝති 6:20, 21.
“තෝමස්ගේ සුවිශේෂය,” “ෆිලිප්ගේ සුවිශේෂය” සහ “සත්‍ය සුවිශේෂය” යන ලියවිලි තුනෙහි මිත්‍යා අදහස් ඇතුළත් වී තිබෙන අතර ඒවා ලියා ඇත්තේ යේසුස් පැවසූ දේවල් ලෙසයි. මෑතකදී සොයාගත් “යූදස්ගේ සුවිශේෂයේද” එවැනිම තොරතුරු ඇතුළත් වී තිබෙනවා. යූදස් යහපත් පුද්ගලයෙක් බවත් යේසුස්ව හොඳින්ම තේරුම්ගෙන සිටියේ ඔහු පමණක් බවත් එහි සඳහන් වෙනවා. යේසුස්ව එහි විස්තර කර තිබෙන්නේ “ගුරුවරයෙක්, දැනුම සහ ප්‍රඥාව ඇති පුද්ගලයෙක් ලෙස මිස මිනිසුන්ගේ පව් වෙනුවෙන් මිය ගිය කෙනෙකු ලෙස නොවෙයි” කියා විශාරදයන් පවසනවා. නමුත් දෙවිගේ බලයෙන් ලියැවුණු සුවිශේෂවල යේසුස් ගැන සඳහන් වී තිබෙන්නේ ඔහු මිනිසුන්ගේ පාප වෙනුවෙන් තම ජීවිතය පූජා කළා කියායි. (මතෙව් 20:28; 26:28; 1 යොහන් 2:1, 2) අලුතෙන් සොයාගත් සුවිශේෂවලින් සිදු වන්නේ බයිබලය ගැන ඇති මිනිසුන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීම නොව එය තවත් දුර්වල කිරීමයි.—ක්‍රියා 20:30.
සුවිශේෂ හතරේ ඇති නිවැරදිභාවය
අලුතෙන් සොයාගත් ලියවිලි හොඳින් අධ්‍යයනය කළොත් එහි ඇත්තේ අසත්‍ය තොරතුරු බව මනාව පැහැදිලි වෙනවා. ඒවායේ ඇති තොරතුරු බයිබලයේ සඳහන් සුවිශේෂවල ඇති තොරතුරු සමඟ සන්සන්දනය කරන විට එම ලියවිලි දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ලියැවුණු ඒවා නොවන බව තේරුම්ගත හැකියි. (2 තිමෝති 1:13) ඒවා ලියා ඇත්තේ යේසුස්ව හෝ ඔහුගේ අනුගාමිකයන් ගැන කිසි දෙයක් නොදන්නා අය නිසා යේසුස් ගැන හෝ ක්‍රිස්තියානි ආගම ගැන අලුතෙන් කිසි දෙයක් එම ලියවිලිවලින් ඉගෙනගත නොහැකියි. ඒවායේ ඇතුළත් වන්නේ අසත්‍ය හා ගොතන ලද මෙන්ම මනඃකල්පිත තොරතුරුයි.—1 තිමෝති 4:1, 2.
මතෙව්, මාක්, ලූක් හා යොහන් තම නම්වලින් සුවිශේෂ ලිව්වේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙනුයි. (2 තිමෝති 3:14-17) මතෙව් සහ යොහන් යේසුස්ගේ නියෝජිතයන් 12දෙනාට අයත් වූ අතර මාක් සහ ලූක්, පේතෘස් සහ පාවුල් සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කළ අයයි. යේසුස් “දෙවිගේ පුත්‍රයා” බව පිළිගැනීමට කෙනෙකුට අවශ්‍ය සියලුම තොරතුරු එම සුවිශේෂ හතරෙහි ඇතුළත්.—යොහන් 20:31.
[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Kenneth Garrett/National Geographic Stock