Skip to content

පටුනට යන්න

දෙවිට ළං වෙන්න

දෙවි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

දෙවි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

යෙහෝවා දෙවි තම සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? පව්කාරකම උරුම වී තිබෙන මිනිසුන්, පරිපූර්ණ මිනිසුන් වගේ කටයුතු කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවාද? නැත්නම් ඔහු බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ට කරන්න පුළුවන් දේවල් විතරද? දිගටම දෙවිට සතුටින් සේවය කරන්න නම් ඒ ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම ඉතා වැදගත්. ඒ නිසා අපි දැන් ඒ ගැන මීකා පොතේ සඳහන් දේ ගැන බලමු.—මීකා 6:8 කියවන්න.

‘යහපත් දේ මොකක්ද කියලා දෙවි අපිට කියලා තියෙනවා.’ ඒ නිසා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා අපිට හිතහිතා ඉන්න ඕනේ නැහැ. ඒ මොනවාද කියලා බයිබලයේ පැහැදිලිව තියෙනවා. ‘දෙවි ප්‍රේමණීය’ කෙනෙක් නිසා අපිට කරන්න බැරි දෙයක් දෙවි අපෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (1 යොහන් 4:8; 5:3) අපිට සතුටින් ඉන්න නම් කරන්න ඕනේ මොනවාද කියලා ඔහු හොඳින්ම දන්නවා. ඒ නිසා දෙවි බලාපොරොත්තු වෙන දේවල් අපි කරනවා නම් ඒකෙන් දෙවි සතුටු වෙනවා විතරක් නෙවෙයි අපිටත් ප්‍රයෝජන රැසක් ලැබෙනවා.—ද්විතීය කතාව 10:12, 13.

‘දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද’ කියලා අපිට කියලා තියෙනවා. ඒ විදිහට දෙවි අපෙන් යම් දේවල් බලාපොරොත්තු වෙන එක සාධාරණද? ඔව්. අපිට ජීවිතය දුන්නේ ඔහු නිසා අපි හැමෝම ඔහුට ණයගැතියි. (ගීතාවලිය 36:9) දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තුනක් ගැන මීකා 6:8හි සඳහන් වෙනවා. ඉන් මුල් කාරණා දෙක අදාළ වෙන්නේ අපි අනිත් අයත් එක්ක කටයුතු කරන ආකාරයට. තුන්වන කරුණ අදාළ වෙන්නේ යෙහෝවා දෙවිත් එක්ක අපිට තියෙන බැඳීමට.

“සාධාරණව ක්‍රියා කරන්න.” දෙවි කැමතියි අපි ඔහුගේ ප්‍රතිපත්තිවලට එකඟව අනික් අයට සාධාරණව සලකනවාට. අපි අනික් අයව ආශ්‍රය කරද්දී පැති ගන්නේ නැතුව, යහපත් දේවල් කරමින්, අවංකව කටයුතු කරනවා නම් අපිටත් සාධාරණව ක්‍රියා කරන්න පුළුවන්. (ලෙවී කතාව 19:15; යෙසායා 1:17; හෙබ්‍රෙව් 13:18) අපි ඒ විදිහට අනික් අයට සලකද්දී ඒ අයත් අපිට සාධාරණව සලකන්න පෙලඹෙයි.—මතෙව් 7:12.

“ප්‍රේමයෙන් කටයුතු කරන්න.” ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් අනික් අයට ආදරේ කරනවා, දයාව දක්වනවා, කරුණාව පෙන්වනවා. එහෙම කරන්නේ කවුරුත් බල කරන නිසා නෙවෙයි. තම කැමැත්තෙන්මයි. එවැනි කෙනෙක් අවශ්‍යතාව ඇති අයට උදව් කිරීමෙනුත් ලොකු සතුටක් ලබනවා. අපිත් එහෙම කළොත් බයිබලයේ සඳහන් විදිහට ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලබන්න අපිට පුළුවන් වෙනවා.—ක්‍රියා 20:35.

“දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න.” පුද්ගලයෙක් බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නේ ඔහු නිහතමානී කෙනෙක් නම් විතරයි. එහෙම කියන්නේ ඇයි? දෙවි ඉදිරියේ තමන්ට තියෙන්නේ මොන වගේ තත්වයක්ද කියලා එවැනි කෙනෙක් තේරුම්ගන්නවා. ඒ වගේම පව්කාරකම උරුමකරගෙන තියෙන මිනිසුන්ට යම් සීමා තියෙනවා කියලත් තේරුම්ගන්නවා. අපිත් දිගටම දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න නම් දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලත් අපේ සීමාවන් මොනවාද කියලත් තේරුම්ගන්න ඕනේ.

දෙවි අපිට කරන්න බැරි දේවල් අපෙන් බලාපොරොත්තු නොවීම අපිට මොන තරම් සහනයක්ද! අපි අපේ උපරිමයෙන් ඔහුට සේවය කරද්දී දෙවි ඒ ගැන සතුටු වෙනවා. (කොලොස්සි 3:23) අපේ සීමාවන් මොනවද කියලා දෙවි හොඳින්ම දන්නවා. (ගීතාවලිය 103:14) අපිත් නිහතමානීව අපේ සීමාවන් හොඳින් හඳුනාගෙන ඉන්නවා නම් අපිට හැමදාමත් සතුටින් දෙවිට සේවය කරන්න පුළුවන්. දෙවි ඔබෙන් බලාපොරොත්තු වන දේවල් කරමින් හැමදාමත් දෙවිගේ ආශීර්වාද භුක්ති විඳින්න ඔබත් කැමති නැද්ද?—හිතෝපදේශ 10:22.

නොවැම්බර් මාසයට නියමිත බයිබල් කියවීම:

යෝවෙල් 1-3 සිට මීකා 1-7 දක්වා