ඔබ දැන සිටියාද?
‘නිනිවය ලේ පිපාසිත නගරයක්’ හැටියට හැඳින්නුවේ ඇයි?
නිනිවය ඇසිරියානු අධිරාජ්‍යයේ අගනුවරයි. එහි විශාල පවුරු, මහා මාර්ග, අලංකාර මාලිගා හා දේවාල තිබුණා. නමුත් අනාගතවක්තෘ නාහුම් එය හැඳින්නුවේ “ලේ පිපාසිත නගරය” ලෙසයි.—නාහුම් 3:1.
ඒ නම නිනිවයට හොඳින් ගැළපෙනවා කියා සෙනකෙරිබ්ගේ මාලිගාවෙන් සොයාගත් කැටයම්වලින් පැහැදිලි වෙනවා. එවැනි එක කැටයමක බිම දිගා කර ඇණ ගසා සිටි සිරකරුවෙකුගේ දිව, වධකයෙක් ඇදගෙන ඉන්න ආකාරය දක්වා තිබුණා. සොයාගත් සමහර පුවරුවල වහලුන්ගේ නාස්වලට හෝ තොල්වලට කොකු දමා කඹවලින් ඇදගෙන ගිය බව උජාරුවට සටහන් කර තිබුණා. යටත් කරගත් රජවරුන්ගේ හිස් කපා ඒවායින් මාල සාදා එම රාජධානිවල සිටි උසස් නිලධාරීන්ගේ කර වටා දැම්මා.
ඇසිරියානුවන් නගරයක් යටත් කරගත්තම කොච්චර කෲර විදිහට ක්‍රියා කළාද කියා ඔවුන් ගැන අධ්‍යයනය කළ ඒ. එච්. සේස් පැවසූ මේ දෙයින් පැහැදිලියි. “ජය ගත්තට පසු සෙන්පතියා ගමන් කරන මඟ දෙපස හිස් කබල් කඳු වගේ ගොඩ ගසනවා. නගරයේ හිටපු තරුණ තරුණියන්ව අමු අමුවේ පුලුස්සනවා. එහෙමත් නැත්නම් ඊටත් වඩා දරුණු දෙයක් කරන්න ඔවුන්ව ඉතුරු කරගන්නවා. පුරුෂයන්ව කණුවල ඇණ ගහනවා. පණ පිටින් හම ගහනවා. ඇස් අන්ධ කරනවා. නැත්නම් අත් පා, කන් හා නාස් කපා දමනවා.”
යුදෙව් නිවෙස්වල පැතලි වහල වටා කුඩා තාප්පයක් හදන්න කිව්වේ ඇයි?
“ඔබ අලුතෙන් නිවසක් ඉදි කරනවා නම් ඒ නිවසේ තිබෙන සඳලුතලය වටා කුඩා තාප්පයක් බැඳිය යුතුයි. එසේ නොකළොත් යම් කෙනෙක් එයින් වැටී මිය යා හැකියි. එවිට ඒ පුද්ගලයාගේ ජීවිතයට වග කිව යුත්තේ ඔබේ නිවසේ සිටින අයයි.” (ද්විතීය කතාව 22:8) යුදෙව්වන්ට දෙවියන් ඒ වගේ ආඥාවක් දුන්නේ ඔවුන්ගේ නිවෙස්වල තිබුණු පැතලි වහල විවිධ වැඩකටයුතුවලට පාවිච්චි කළ නිසයි. ඒක ඔවුන්ට ආරක්ෂාවක් වුණා.
දවල් කාලයේදී උණුසුම විඳින්නත්, සුළඟ හමන වෙලාවට ඉන් පහස ලබන්නත්, ගෙදර දොරේ වැඩකටයුතුවලටත් යුදෙව්වන් වහල්තලය පාවිච්චි කළා. රස්නේ කාලේදී ඔවුන් නිදාගත්තෙත් එතැනයි. (1 සාමුවෙල් 9:26) වහලට උඩින් මිදිවැල්වලින් හෝ තාල වර්ගයට අයත් ගස්වල අතුවලින් වියනක් සෑදී තිබුණු විට එය විවේකයෙන් කාලය ගත කරන්න හොඳ තැනක් වුණා. ඒ වගේම ගොවියන් ධාන්‍ය, අත්තික්කා හා මිදි වේළාගන්න පාවිච්චි කළෙත් වහල්තලයයි.—යොෂුවා 2:6.
සමහර යුදෙව්වන් නමස්කාර කටයුතු සඳහාත් පැතිලි වහල යොදාගත්තා. (නෙහෙමියා 8:16-18) එක අවස්ථාවක පේතෘස් දහවල් කාලයේදී යාච්ඤා කරන්න වහල්තලයට ගියා. (ක්‍රියා 10:9-16) තවත් සමහර යුදෙව්වන් වහල්තලයේ සිට බොරු දෙවිවරුන්ටත් නමස්කාර කළා.—යෙරෙමියා 19:13.
පොතක සඳහන් වෙන විදිහට ඔවුන්ගේ නිවෙස්වල තිබුණු වහල්තලයට නඟින්න පඩි පෙළක් නැත්නම් ඉණිමඟක් තිබුණේ “නිවසේ එළියෙන්.” (The Land and the Book) ඒ නිසා වහල්තලයේ ඉන්න කෙනෙක්ට නිවස තුළට නොයා එළියෙන්ම බැහැලා යන්න පුළුවන් වුණා. නගරය විනාශ වෙන්න කලින් ඉක්මනින්ම පලා යන්න කියා අනතුරු අඟවද්දී “වහල්තලයේ සිටින්නා පහතට ඇවිත් තම ගෙයින් කිසිවක් ගැනීම සඳහා එයට ඇතුල් නොවිය යුතුයි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—මතෙව් 24:17.