Skip to content

පටුනට යන්න

හැමෝම හැමෝටම එක වගේ සලකන දිනක්!

හැමෝම හැමෝටම එක වගේ සලකන දිනක්!

මීට අවුරුදු 50කට කලින් ඒ කියන්නේ 1963 අගෝස්තු 28වෙනිදා ඇමරිකාවේ මානව හිමිකම් පිළිබඳ නායක කනිෂ්ඨ මාටින් ලූතර් කිං ප්‍රසිද්ධ දේශනයක් ඉදිරිපත් කළා. ජාති භේද නැතුව මිනිසුන් සමාදානයෙන් එකට ජීවත් වෙන කාලයක් උදා වෙයි කියන බලාපොරොත්තුව තමන්ට තියෙනවා කියලා ඒ දේශනයේදී ඔහු කිව්වා.

කනිෂ්ඨ මාටින් ලූතර් කිං දේශනය ඉදිරිපත් කරමින්

ඔහු ඒ දේශනය දීලා මාස තුනකට පස්සේ ජාතිවාදය නිසා සිදු වෙන හැම අසාධාරණයක්ම නැති කරලා දානවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය දීපු ප්‍රතිඥාවට රටවල් 100කට වඩා එකඟ වුණා. ඊටපස්සේ ගෙවී ගිය දශක ගණනාව පුරා ඒ ප්‍රශ්නය විසඳන්න වෙනත් ක්‍රියාමාර්ගත් අරගෙන තියෙනවා. නමුත් ඒ කිසිම දෙයකට පුළුවන් වෙලා තියෙනවද ජාති, ආගම්, පන්ති, කුලමල භේද හා සමාජයේ තියෙන වෙනත් භේද නැති කරන්න?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වන බැන් කි-මූන් 2012 මාර්තු 21වෙනිදා කියපු මේ දෙයින් ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න පුළුවන්. “ජාති භේද හා අනිත් අයව පහත් කරලා සලකන්න හේතු වෙන වෙනත් දේවල් වළක්වන්න හෝ සම්පූර්ණයෙන්ම නැති කරන්න නොයෙක් ක්‍රියාමාර්ග හා වටිනා ප්‍රතිපත්ති හඳුන්වා දී තිබෙනවා. නමුත් මිලියන ගණනක් සෙනඟ ජාතිවාදී ගැටලු නිසා පීඩා විඳීම තවමත් නතර වී නැහැ.”

ඒ වගේ ක්‍රියාමාර්ග හා ප්‍රතිපත්තිවලින් ජාතිවාදී ප්‍රශ්න යම් දුරකට පාලනය කරන්න පුළුවන් වෙලා තිබුණත් යම් හේතු නිසා තව කෙනෙක්ව පහත් කරලා සලකන මිනිස් ගතිය හිත්වලින් ඉවත් කරන්න ඒවාට පුළුවන් වෙලා නැහැ. සිදු වෙලා තියෙන්නේ නීති මගින් දඬුවම් ලැබෙයි කියන භය නිසා මිනිසුන් ඔවුන්ගේ හිත්වල තියෙන ඒ වගේ හැඟීම් පිට නොකර ඉන්න එක විතරයි. හැබැයි එයාලගේ හිතේ තවමත් වෙනත් ජාතියක් ගැන නැත්නම් ජන පිරිසක් ගැන වෛරසහගත හැඟීම් තියෙනවා. නීතියෙන් එවැනි හැඟීම්වලට දඬුවම් නියම කරන්න බැහැ.

එහෙමනම් ජාති, ආගම්, පන්ති, කුලමල භේද සමාජයෙන් අතුගා දමන්න මිනිසුන්ගේ හිත්වලින්ම වෛරසහගත හැඟීම් නැති කරන්න ඕන. ඒත් ඒක කරන්න පුළුවන් දෙයක්ද? එහෙමනම් කොහොමද? ඒ ගැන දැනගන්න සැබෑ අද්දැකීම් කීපයක් බලමු.

බයිබලය ඔවුන්ට උදව් වුණා

“දැන් මං ජාතිවාදී හැඟීම්වලට වහල් වෙලා නැහැ.”—ලින්ඩා

ලින්ඩා: මම දකුණු අප්‍රිකානු ජාතිකයෙක්. මගේ රටේ ඉන්න සුදු ජාතිකයන් නොවන අයව මං සැලකුවේ පහත්, නූගත්, සතපහකට විශ්වාස කරන්න බැරි අය හැටියටයි. එයාලා සුදු ජාතිකයන්ගේ වැඩකාරයෝ. එහෙම හිතන එකේ වරදක් මං දැක්කේ නැහැ. හැබැයි බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න පටන්ගත්තම මං හිතන විදිහ වැරදියි කියලා මට තේරුණා. ‘දෙවියන් සියල්ලන්ටම එක හා සමානව සලකනවා’ කියලත් දෙවිට වැදගත් අපේ හිතේ තියෙන දේ මිසක් අපේ හමේ පාටවත්, කතා කරන භාෂාවවත් නෙමෙයි කියලත් මං දැනගත්තා. (ක්‍රියා 10:34, 35; හිතෝපදේශ 17:3) බයිබලේ කියලා තියෙන විදිහට අනිත් අය මට වඩා උතුම් කියලා හිතුවොත් කිසිම කෙනෙක්ව පහත් කරලා සලකන්නේ නැතුව ඉන්න මට පුළුවන් කියලා තේරුම්ගත්තා. (ෆිලිප්පි 2:3) බයිබලේ තියෙන ඒ වගේ වටිනා මඟ පෙන්වීම් අදාළ කරගන්න එකෙන් මට පුළුවන් වෙලා තියෙනවා හමේ පාට මොකක් වුණත් හැමෝටම එක වගේ සලකන්න. දැන් මං ජාතිවාදී හැඟීම්වලට වහල් වෙලා නැහැ.

“දෙවියන් ඒ හැමෝටම එක වගේ ආදරෙයි.”—මයිකල්

මයිකල්: මම ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. මං හැදුණු වැඩුණු පළාතේ වැඩිපුර හිටියේ සුදු ජාතිකයන්. පොඩි කාලේ ඉඳලා මට ආසියාතිකයන් ගැන විශේෂයෙන්ම චීන ජාතිකයන් ගැන ලොකු තරහක් තිබුණා. මං කාර් එක එළවගෙන යද්දී මඟ තොටේදී ආසියාතිකයෙක්ව දැක්කොත් කෑගහලා එයාට කියනවා “මෙහේ මොකද කරන්නේ, පළ ගෙදර” කියලා. පස්සේ කාලෙක බයිබලේ ඉගෙනගද්දී මට තේරුණා කෙනෙක් මොන ජාතියට, මොන රටට අයිති වුණත් මොන වගේ පෙනුමක් තිබුණත් දෙවියන් ඒ හැමෝටම එක වගේ ආදරෙයි කියලා. ඒක මගේ හිතට ගොඩක් කාවැදුණා. ඒ නිසා මගේ හිතේ තිබුණු තරහ ටිකෙන් ටික ආදරේකට පෙරළුණා. මං එහෙම වෙනස් වුණේ කොහොමද කියලා මට අදහාගන්නවත් බැහැ. ඕනම රටකට අයිති, ඕනම සමාජ මට්ටමක ඉන්න කෙනෙක්ව හිතේ තරහක් නැතුව ආශ්‍රය කරන්න දැන් මට පුළුවන්. ඒ නිසා මගේ ජීවිතේට ලොකු සතුටක් එක් වෙලා තියෙනවා.

“මං ඉක්මනින්ම පියවර ගත්තා මගේ තාත්තගේ පවුලේ අය එක්ක හොඳින් ඉන්න.”—සැන්ඩ්‍රා

සැන්ඩ්‍රා: මගේ අම්මා නයිජීරියාවේ ඩෙල්ටා ප්‍රාන්තයේ කෙනෙක්. හැබැයි මගේ තාත්තගේ පවුලේ අය නයිජීරියාවේ එඩෝ ප්‍රාන්තයට අයතියි. එයාලා කතා කරන්නේ එසාන් භාෂාවයි. මේ වෙනස හින්දා තාත්තගේ පවුලේ අය අම්මට ගොඩක් වෙනස්කම් කළා. අම්මා මැරෙනකංම එයාලා අම්මට සැලකුවේ ඒ විදිහටයි. ඒ නිසා එඩෝ ප්‍රාන්තයේ එසාන් භාෂාව කතා කරන අය ගැන මගේ හිතේ ලොකු තරහක් ඇති වුණා. මම කවදාවත් ඒ ප්‍රාන්තයේ කෙනෙක් එක්ක විවාහ වෙන්නේ නෑ කියලා හිතාගත්තා. ඒත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තට පස්සේ මම දැනගත්තා දෙවියන් හැම ජාතියකටම අයිති අයට එක හා සමානව සලකනවා කියලා. ඒ වගේම දෙවිට ගරුබිය පෙන්නන අයව දෙවියන් පිළිගන්නවා කියලත් මං දැනගත්තා. එහෙමනම් මම කොහොමද වෙන ගෝත්‍රයකට අයිති, වෙන භාෂාවක් කතා කරන අය ගැන හිතේ තරහක් තියාගන්නේ කියලා මට හිතුණා. ඒ නිසා මං ඉක්මනින්ම පියවර ගත්තා මගේ තාත්තගේ පවුලේ අය එක්ක හොඳින් ඉන්න. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසා අද මට ලොකු සහනයක් දැනෙනවා. ජාතිය, භාෂාව, සමාජ තත්වය නොතකා හැමෝම එක්ක හොඳින් ඉන්නත් මට පුළුවන් වෙලා තියෙනවා. මම මුලින් එඩෝ ප්‍රාන්තයේ එසාන් භාෂාව කතා කරන අය ගැන තරහෙන් හිටියට අද මං විවාහ වෙලා ඉන්නේ ඒ කෙනෙක් එක්කමයි.

ලින්ඩා, මයිකල්, සැන්ඩ්‍රා හා තවත් බොහෝදෙනෙකුට වෙනත් ජාතියක් ගැන නැත්නම් ජන පිරිසක් ගැන හිතේ පැළපදියම් වෙලා තිබුණු අකමැත්ත ඉවත් කරගන්න බයිබලය උපකාරවත් වෙලා තියෙන්නේ ඇයි? ඒකට හේතුව බයිබලය දෙවිගේ වචනය වීමයි. වෙනත් ජාතියකට අයිති කෙනෙක් ගැන යම් කෙනෙකුට හිතෙන විදිහ වෙනස් කරන්න බයිබලයට බලයක් තියෙනවා. ඒ වගේම මේ පොළොවෙන් ජාති, ආගම්, පන්ති, කුලමල භේද නැති කරන්න නම් සිද්ධ වෙන්න ඕන මොනවද කියලත් බයිබලයේ පෙන්නුම් කරනවා.

එකම විසඳුම දෙවිගේ ආණ්ඩුව!

අනිත් අයව පහත් කරන හැඟීම් පාලනය කරගන්නත් ඒ හැඟීම් හිතෙන් අහක් කරගන්නත් උපකාර කරන්න බයිබලයට පුළුවන්. ඒත් ඒ වගේ හැඟීම් මුළුමනින්ම නැති වෙන්න නම් දේවල් දෙකක් සිද්ධ වෙන්න ඕන. මුලින්ම මිනිසුන්ගේ පව්කාර ස්වභාවය නැති වෙන්න ඕන. බයිබලයේ කියන්නේ “පව් නොකරන කිසි මනුෂ්‍යයෙක් නැත” කියලයි. (1 රාජාවලිය 8:46) අපේ පව්කාර ස්වභාවය නිසා සමහර අවස්ථාවලදී අපි කොච්චර උත්සාහ කළත් වෙනත් කෙනෙක්ව පහත් කරන හැඟීම සම්පූර්ණයෙන්ම අයින් කරන්න අපිට අමාරුයි. “මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි” කියලා යේසුස්ගේ මුල් අනුගාමිකයෙක් වුණු පාවුල් කියපු දේ කොච්චර ඇත්තද කියලා අපිත් පිළිගන්නවා. (රෝම 7:21) වෙන කෙනෙක්ව පහත් කරලා සලකන “හානිකර සිතුවිලි” අපේ හිත්වල ඇති වෙන්නේ අපිටවත් නොදැනිමයි.—මාක් 7:21.

දෙවනුව යක්ෂයාගේ බලපෑමත් සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕන. යක්ෂයා “මිනී මරුවෙක්” කියලත් ඔහු ‘මුළු පොළොවම නොමඟ යවනවා’ කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 8:44; එළිදරව් 12:9) මේ පොළොව පුරා ජාතිවාදය පැතිරෙන්නෙත් එක එක බෙදීම්, අසාධාරණකම්, ගැටුම් හා සමූල ඝාතන වගේ දේවල් සිද්ධ වෙන්නෙත් යක්ෂයාගේ බලපෑම නිසයි.

ඒ අනුව තවත් කෙනෙක්ව පහත් කරලා සලකන ගතිය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න නම් මිනිසුන්ගේ පව්කාර ස්වභාවය හා යක්ෂයාගේ බලපෑම නැති වෙන්න ඕන. ඒක කරන්න පුළුවන් දෙවිගේ ආණ්ඩුවට විතරයි.

“ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!” කියලා දේවරාජ්‍යය වෙනුවෙන් යාච්ඤා කරන්න යේසුස් ඉගැන්නුවේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට එකම විසඳුම ඒක නිසයි. (මතෙව් 6:10) ඒ ආණ්ඩුව ජාතිවාදය හා සියලුම බෙදීම් සදහටම මේ පොළොවෙන් ඉවත් කරනවා.

දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන්න පටන්ගත්තම ‘ජාතීන්ව තවදුරටත් නොමඟ යවන්න’ යක්ෂයාට බැරි වෙන්න ඔහුව ‘බැඳ තබනවා.’ එනම් ක්‍රියා විරහිත තත්වයකට පත් කරනවා. (එළිදරව් 20:2, 3) ඊටපස්සේ “ධර්මිෂ්ඨකම රජයන . . . අලුත් පොළොවක්” එනම් කිසි කෙනෙකුගේ දිවි පැවැත්මට තර්ජනයක් නොකරන යහපත් මිනිසුන් මේ පොළොවේ සතුටින් ජීවත් වෙනවා. *2 පේතෘස් 3:13.

එදාට පොළොවේ ඉන්න හැමෝම ‘යෙහෝවා දෙවි ගැන දැනුම’ ලබාගෙන ඒ කියන්නේ දෙවියන් කැමති අකමැති දේ ගැන හරි අවබෝධයක් ලබාගෙන දෙවියන් අන් අයට සලකන විදිහට සලකන්න පුරුදු වෙනවා. (යෙසායා 11:9; රෝම 2:11) මිනිසුන් තුළ තියෙන පව්කාර ස්වභාවය ක්‍රමානුකූලව එයාලගෙන් ඉවත් කරලා එයාලව පරිපූර්ණ අය බවට පත් කරනවා. (රෝම 8:21) එදාට කිසිම කෙනෙක් අනිත් අයට හානියක් වන විදිහට කටයුතු කරන්නෙවත් විනාශයක් සිදු කරන්නෙවත් නැහැ. හැමෝම හැමෝටම එක වගේ සලකන යුගයක් ආරම්භ වෙන්නේ එලෙසයි.

^ 17 ඡේ. දෙවිගේ රාජ්‍යය ගැනත් ඒ රාජ්‍යය ළඟදීම කරන්න නියමිත දේවල් ගැනත් වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 3, 8 හා 9 පරිච්ඡේද බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.