පවුලේ සමඟියට අත්වැලක්
දෙවෙනි විවාහේ රැකගන්න
ටෝබි: * “බැඳලා අවුරුදු 34කට පස්සේ මගේ බිරිඳ පිළිකාවකින් නැති වුණා. මම ලින්ඩව බැන්දේ ඊටපස්සෙයි. ලින්ඩට හැම වෙලේම වගේ හිතුණේ මම එයාව මගේ කලින් බිරිඳ එක්ක සන්සන්දනය කරනවා කියලයි. මගේ යාළුවොත් නිතරම වගේ ලින්ඩා ඉස්සරහම මගේ කලින් බිරිඳගේ හොඳ කිව්වා. ඒකෙන් එයාගේ හිත තවත් පෑරුණා.”
ලින්ඩා: “ටෝබිගේ කලින් බිරිඳ හරිම තැන්පත්, හොඳ ගතිගුණ තිබුණු කෙනෙක්. එයාට හැමෝම වගේ හරි ආදරෙයි. මට නිතරම හිතුණේ එයා තරම් අනිත් අයගේ ආදරේ දිනාගන්න මට කවදාවත් බැරි වෙයි කියලයි. මට එයා වගේ ටෝබිට ළං වෙන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙත් මගේ හිතේ තිබුණා.”
ලින්ඩත් කලින් විවාහ වෙලා ඉඳලා දික්කසාද වුණු කෙනෙක්. ටෝබි වගේ කෙනෙක්ව හම්බ වෙච්ච එක ගැන ලින්ඩා හුඟක් සතුටු වෙනවා. හැබැයි ඒ දෙන්නම පිළිගන්නවා පළවෙනි විවාහේ තිබුණේ නැති සමහර අභියෝග දෙවෙනි විවාහේ තියෙනවා කියලා. *
දෙවෙනි විවාහයට පා තබන කෙනෙක්ට තම විවාහය ගැන කොහොම හැඟෙන්න පුළුවන්ද? නැවත විවාහ වුණු තමාරා කිව්ව මේ දේ බලන්න. “මුල් වතාවට බඳිද්දී මේ විවාහය හැමදාටම තියෙයි කියන හැඟීම හිතේ තියෙනවා. හැබැයි දෙවෙනි පාර බඳිද්දී ඒ වගේ හැඟීමක් ඇති නොවන්න පුළුවන්. මොකද හිතපු විදිහට පළවෙනි විවාහේ හැමදාටම තිබුණේ නෑ කියලා හිත දන්නවා.”
හැබැයි නැවත විවාහ වුණු හුඟදෙනෙක් හොඳ පවුල් ජීවිත ගත කරනවා. ඔයාත් නැවත විවාහ වුණු කෙනෙක් නම් ඔයාගේ විවාහය සාර්ථක කරගන්න ඔයාට පුළුවන්. දැන් අපි දෙවෙනි විවාහේ ඇති වෙන්න පුළුවන් *
අභියෝග තුනක් හා ඒවා ජය ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් බලමු.1වෙනි අභියෝගය: පළමු විවාහේ සොඳුරු මතකයන්.
“කලින් විවාහේ මතකයන් එකපාරටම හිතෙන් මකන්න බෑ. මගේ කලින් මහත්තයයි මායි නිවාඩුවට ගිය තැන්වලටම දැන් යද්දී සමහර දේවල් ආයේ මතක් වෙනවා. ඒ වෙලාවට දන්නෙම නැතුව මගේ මහත්තයාව කලින් මහත්තයා එක්ක මං සන්සන්දනය කරනවා” කියලා එලන් කිව්වා. අනිත් අතට ඔයා විවාහ වෙලා ඉන්නේ කලින් විවාහ වෙලා හිටපු කෙනෙක් එක්ක නම් එයාගේ කලින් විවාහය ගැන එයා කතා කරද්දී ඔයාට කෙන්ති යනවා ඇති.
යෝජනාවක්: කලින් විවාහේ මතකයන් අමතක වෙලා යයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. සමහරු වැරදීමකින් එයාලගේ අලුත් සහකරුට හෝ සහකාරියට කලින් කෙනාගේ නම කියලා කතා කරන අවස්ථාත් තියෙනවා. එහෙම වෙලාවලදී කේන්ති ගන්නේ නැතුව එයාට ‘අනුකම්පාව පෙන්නලා’ එයාව තේරුම්ගන්න උත්සාහ කරන්න.—1 පේතෘස් 3:8.
කලින් විවාහේ ගැන කිසිම දෙයක් කතා කරන්න බැහැ කියලා නීති දාන්න එපා. ඔයාගේ සහකරුට හරි සහකාරියට හරි සමහර මතකයන් ගැන කතා කරන්න ඕනේ නම් ඒකට ඉඩ දෙන්න. එයා කතා කරද්දී එයාව තේරුම් අරන් එයාට ඇහුම්කන් දෙන්න. එයා ඔයාව කලින් විවාහේ කෙනා එක්ක සන්සන්දනය කරනවා කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. මීට අවුරුදු දහයකට කලින් නැවත විවාහ වුණු ඉයන් මෙහෙම කිව්වා. “කලින් බිරිඳ ගැන කතා කරන්න එපා කියලා කේට් කවදාවත් කිව්වේ නෑ. එයා හිතුවේ ඒ විස්තර මාව තව හොඳින් තේරුම්ගන්න එයාට උදව් වෙනවා කියලයි.” මුල් විවාහේ මතකයන් දැන් විවාහ වෙලා ඉන්න කෙනා එක්ක බෙදාගද්දී එකිනෙකාව තේරුම්ගන්නත් බැඳීම තව ශක්තිමත් කරගන්නත් පුළුවන්.
දැන් විවාහ වෙලා ඉන්න කෙනාගේ හොඳ ගතිගුණ ගැන හිතන්න. කලින් විවාහ වෙලා හිටපු කෙනාට තිබුණු සමහර හොඳ ගති, හැකියාවන් දැන් විවාහ වෙලා ඉන්න කෙනාට නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර පැතිවලින් එයා ඊට වඩා හොඳ ඇති. ඒ නිසා එයාව මුල් කෙනා එක්ක ‘සසඳන්නේ’ නැතුව එයාගේ හොඳ පැතිවලට අවධානය දෙන්න. (ගලාති 6:4) විවාහ බැඳීම ශක්තිමත් කරගන්න ඒක දායක වෙනවා. නැවත විවාහ වුණු එඩ්මන් කිව්වේ “යාළුවෝ දෙන්නෙක් අතරේ තියෙන බැඳීම තව යාළුවෝ දෙන්නෙක් අතරේ තියෙන බැඳීමට කවදාවත් සමාන වෙන්නේ නෑ වගේ කලින් කසාදෙයි දෙවෙනි කසාදෙයි එක වගේ වෙන්නෙ නෑ” කියලයි.
කලින් විවාහේ සොඳුරු මතකයන් නිසා දැන් ගත කරන විවාහ ජීවිතය අඳුරු කරගන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද? ඒ ගැන ජෙරාඩ් මෙහෙම කිව්වා. “මගේ පළවෙනි විවාහේ හරියට මායි මගේ කලින් බිරිඳයි එකතු වෙලා ලියපු ලස්සන පොතක් වගේ. කලින් කලට මං ඒ පොත පෙරළලා සමහර සොඳුරු මතකයන් ආපහු කියවනවා. හැබැයි දැන් මගේ ජීවිතය ලියවෙන්නේ ඒ පොතේ නෙමෙයි. දැන් මායි මගේ බිරිඳයි එකතු වෙලා අලුත් පොතක් ලියනවා. දැන් මගේ ජීවිතේ ඒ පොතයි.”
මෙහෙම කරලා බලන්න: කලින් කසාදේ ගැන කතා කරද්දී අපහසුතාවක් දැනෙනවද කියලා සහකරුගෙන් හෝ සහකාරියගෙන් විවෘතව අහන්න. ඒ ගැන කතා නොකර ඉන්න ඕන මොන වගේ වෙලාවලදීද කියලා තේරුම්ගන්න.
2වෙනි අභියෝගය: පරණ යාළුවෝ.
දික්කසාද වෙලා අවුරුදු හයකට පස්සේ නැවත විවාහ වුණු කාව්‍ය මෙහෙම කිව්වා. “මගේ බිරිඳට දැනුණේ එයා කොයි වගේ කෙනෙක්ද කියලා මගේ යාළුවෝ හොයලා බලනවා කියලයි.” ලියෝ අද්දැක්කේ ඊට වඩා වෙනස් දෙයක්. “මගේ නෝනගේ පරණ යාළුවෝ එයාගේ කලින් මහත්තයාව අගය කරලා මං ඉස්සරහම එයාගේ හොඳ කියනවා” කියලා ලියෝ කිව්වා.
යෝජනාවක්: යාළුවන්ට හැඟෙන විදිහ තේරුම්ගන්න. “මගේ යාළුවන්ට මාව හුරු මගේ කලින් බිරිඳ එක්ක දැකලයි. මගේ දෙවෙනි බිරිඳ එක්ක මාව දකිද්දී එයාලට අමුත්තක් දැනෙනවා ඇති” කියලා ඉයන් කියනවා. ඔයා දැන් විවාහ වෙලා ඉන්න කෙනාට හුරු වෙන්න ඔයාගේ යාළුවන්ටයි පවුලේ අයටයි කාලේ දෙන්න. බයිබලේ කියන්නෙත් ‘සාධාරණව හා නිතරම මෘදුකමින් කටයුතු කරන්න’ කියලයි. (තීතස් 3:2) දෙවෙනි විවාහයත් එක්කම මිතුදම්වල යම් වෙනස්කම් වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. කලින් සඳහන් කළ කාව්‍ය මෙහෙම කිව්වා. “පරණ මිතුදම් අලුත් කරගන්න උත්සාහ කරන ගමන්ම යුවළක් විදිහට අලුත් මිතුදම් ඇති කරගන්නත් අපි උත්සාහ කළා. ඒක අපේ විවාහ ජීවිතේට ලොකු උදව්වක් වුණා.”
පරණ යාළුවන් ඔයාගේ කලින් විවාහේ ගැන කතාබහ කරද්දී ඔයාගේ සහකරුට හෝ සහකාරියට හිතෝපදේශ 12:18.
කොහොම හැඟෙයිද කියලා තේරුම්ගන්න. ඒ වගේ අවස්ථාවකදී එයාට දුකක්, අමුත්තක් දැනෙයි කියලා හිතෙනවා නම් ඥානවන්ත විදිහට ඒ කතාව වෙනස් කරන්න. බයිබලේ දීලා තියෙන මේ උපදෙස මතක තියාගන්න. “නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි. නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.”—මෙහෙම කරලා බලන්න: මුල් විවාහේ ගැන යාළුවන් කතාබහ කරන්න ඉඩකඩ තියෙන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා හිතලා බලන්න. යාළුවෝ සමහර දේවල් කියද්දී, අහද්දී කරන්න පුළුවන් මොනවද කියලා ඔය දෙන්නා කතා වෙන්න.
3වෙනි අභියෝගය: අමිහිරි අද්දැකීම් නිසා ඇති වෙන භය.
ඇන්ඩෲගේ කලින් බිරිඳ එයාව අත්හැරලා ගියා. ඊටපස්සේ ඇන්ඩෲ රයිලි එක්ක විවාහ වුණා. “මට කවදාවත් රයිලිගේ කලින් මහත්තයා තරම් හොඳ කෙනෙක් වෙන්න බැරි වෙයි කියලා හිතුණා. ඒ නිසා රයිලිත් මාව අත්හැරලා වෙන කෙනෙක් එක්ක යයි කියලා මම නිතරම හිටියේ භයෙන්.” එහෙම කිව්වේ ඇන්ඩෲ.
යෝජනාවක්: ඒ වගේ භයක් ඔයාටත් දැනෙනවා නම් සහකරු හෝ සහකාරිය එක්ක ඒ ගැන කතා කරන්න. “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි” කියලයි බයිබලේ කියන්නේ. (හිතෝපදේශ 15:22) ඒ උපදෙස අදාළ කරගත්ත ඇන්ඩෲ මෙහෙම කිව්වා. “ප්‍රශ්නවලින් බේරෙන්න ක්‍රමයක් හැටියට මං කවදාවත් දික්කසාදේ සලකන්නෑ කියලා මං රයිලිට කිව්වා. එයාත් ඒ දේම මට කිව්වා. ඒකෙන් මගේ හිතේ තිබ්බ භය නැති වුණා.”
ඔයාගේ සහකරුගේ හෝ සහකාරියගේ කලින් විවාහේ අවසන් වුණේ ද්‍රෝහි වීමක් නිසා නම් දැන් විවාහය ගැන යම් භයක් එයාට තියෙන්න පුළුවන් කියලා තේරුම්ගන්න. ඒ නිසා ඔයා එයාට විශ්වාසවන්තව ඉන්නවා කියන හැඟීම එයා තුළ ඇති කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. විවාහ යුවළක් වන මයිකල්ගෙයි සබීනගෙයි අද්දැකීම බලන්න. ඒ දෙන්නගෙම පළමු විවාහ අවසන් වුණේ එයාලා විවාහ වෙලා හිටපු අය ද්‍රෝහි වුණ නිසයි. ඒ අමිහිරි අද්දැකීම් නිසා විවාහ ජීවිතේ ඇති වෙන්න පුළුවන් භය නැති කරගන්න මයිකලුයි සබීනයි එකිනෙකාට පොරොන්දුවක් වුණා. එයාලා කලින් විවාහ වෙලා හිටපු කෙනාව හම්බ වුණොත් නැත්නම් කතා කළොත් ඒ ගැන අනිත් කෙනාට කියනවා කියලා පොරොන්දු වුණා.—එෆීස 4:25.
මෙහෙම කරලා බලන්න: ඔයා ස්වාමිපුරුෂයා නම් වෙනත් කාන්තාවන් එක්ක ෆෝන් එකෙන් හරි මුණගැහිලා හරි ඔන්ලයින් හරි ඕනෑවට වඩා කතාබහ කරන්න එපා. ඒක භාර්යාවටත් අදාළයි.
කෙනෙක් දෙවෙනි පාර විවාහ වෙද්දී කලින්ට වඩා එයාට අද්දැකීම් තියෙනවා. දෙවෙනි විවාහේ සාර්ථක කරගන්න ඒක උදව් වෙන්න පුළුවන්. කලින් අදහස් දක්වපු ඇන්ඩෲ මෙහෙම කියනවා. “රයිලියි මායි බැඳලා දැන් අවුරුදු 13ක් වෙනවා. එයාව බැන්ද එක ගැන මං හුඟක් සතුටු වෙනවා. අපි දෙන්නා අතරේ තියෙන්නේ හරිම කිට්ටු බැඳීමක්. ඒක කවදාවත් නැති කරගන්න අපි කැමති නෑ.”
^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.
^ 5 ඡේ. මරණය නිසා පළමු විවාහය අවසන් වුණාම කෙනෙක්ට හැඟෙන විදිහත් දික්කසාදය නිසා විවාහය අවසන් වුණාම කෙනෙක්ට හැඟෙන විදිහත් අතර වෙනසක් තියෙනවා. ඒ මොන දේට හරි මුහුණ දීපු කෙනෙක් නැවත විවාහ වුණොත් ඒ විවාහය සාර්ථක කරගන්න මේ ලිපියේ සඳහන් මඟ පෙන්වීම් ප්‍රයෝජනවත්.
^ 7 ඡේ. නැවත විවාහයෙන් පසුව දරුවන් ඇති දැඩි කරද්දී එන අභියෝග ජය ගන්න පුළුවන් විදිහ ගැන විස්තර දැනගන්න 2012 අප්‍රියෙල් පිබිදෙව්! කලාපය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.
මේ ගැන හිතන්න
-
මගේ සහකරුගේ හෝ සහකාරියගේ මොන ගතිගුණවලටද මං වැඩියෙන්ම කැමති?
-
මගේ කලින් විවාහේ ගැන කතාවක් ඇදිලා ආවොත් මං දැන් විවාහ වෙලා ඉන්න කෙනාට දුකක්, අපහසුතාවක් ඇති නොවන විදිහට කටයුතු කරන්න මට පුළුවන් කොහොමද?