මධ්‍යකාලීන යුගයේදී ස්පාඤ්ඤයේ බයිබලය පරිවර්තනය වූ ආකාරය
“මා අදහස් කරන්නේ ස්පාඤ්ඤය බලා යන ගමනේදී ඇවිත් ඔබව හමු වීමටය. මා ඔබ සමඟ සතුටින් යම් කාලයක් ගත කර නැවත යන විට ඔබ යම් දුරක් මාව ඇරලවීමට පැමිණෙයි කියා බලාපොරොත්තු වෙමි.”
ක්‍රිස්තු වර්ෂ 56දී පමණ ඒ වදන් නියෝජිත පාවුල් ලිව්වේ රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ටයි. නමුත් පාවුල්ට ඇත්තටම ස්පාඤ්ඤයට යන්න හැකි වුණාද නැද්ද කියා බයිබලයේ සඳහන් වී නැහැ. කෙසේවෙතත් පාවුල්ගේ හෝ වෙනත් ක්‍රිස්තියානීන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව. 2වන සියවස වන විට බයිබලයේ ඇති ශුභාරංචිය ස්පාඤ්ඤයේ පැතිර ගොස් තිබුණා.
ස්පාඤ්ඤයේ ක්‍රිස්තියානි ප්‍රජාවන් ඉක්මනින් ව්‍යාප්ත වෙන්න පටන්ගත්තා. ස්පාඤ්ඤය බොහෝ කාලයක් පුරා රෝමවරුන්ගේ පාලනය යටතේ තිබූ නිසා එහි භාවිත වුණේ ලතින් භාෂාවයි. එමනිසා ස්පාඤ්ඤයේ සිටි ක්‍රිස්තියානීන්ට ලතින් භාෂාවෙන් බයිබල් පරිවර්තනයක අවශ්‍යතාව මතු වුණා.
ලතින් භාෂාවෙන් බයිබල් පරිවර්තන
යම් යම් කාල වකවානුවල ජීවත් වූ ස්පාඤ්ඤයේ සිටි මුල් ක්‍රිස්තියානීන් බයිබලයේ ඇතැම් පොත් ලතින් භාෂාවට පරිවර්තනය කළා. ඒ බයිබල් පොත්වල එකතුව හඳුන්වන්නේ “වීටස් ලටීනා හිස්පානා” ලෙසයි. 5වන සියවස ආරම්භයේදී ජෙරොම් විසින් ලතින් “වල්ගේට්” බයිබලය එළිදක්වන තුරුම වසර ගණනාවක් තිස්සේ ස්පාඤ්ඤය පුරා භාවිත වුණේ “වීටස් ලටීනා හිස්පානා” බයිබලයයි.
ජෙරොම් පලස්තීනයේ බෙත්ලෙහෙම් නගරයේදී කළ ඒ පරිවර්තනය හැකි ඉක්මනින් තම රටට ගෙන්වාගැනීමට ලූසීන්යුස් නම් ධනවත් බයිබල් ශිෂ්‍යයාට අවශ්‍ය වුණා. එමනිසා ඔහු පිටපත්කරුවන් හයදෙනෙකුව බෙත්ලෙහෙමට යවා එය ඉක්මනින් පිටපත් කොට ස්පාඤ්ඤයට ගෙන්වාගත්තා. එතැන් සිට ගෙවුණු සියවස් කිහිපය පුරා ජෙරොම්ගේ “වල්ගේට්” පරිවර්තනය “වීටස් ලටීනා හිස්පානා” පරිවර්තනයට වඩා ජනප්‍රිය වී ස්පාඤ්ඤයේ ව්‍යාප්ත වුණා. ස්පාඤ්ඤ වැසියන්ට දෙවියන්ගේ පණිවිඩය දැනගැනීමට හැකි වුණේ එවැනි බයිබල් පරිවර්තන නිසයි. නමුත් රෝම පාලනයේ අවසානයත් සමග ලතින් භාෂාව වෙනුවට වෙනත් භාෂාවක් ස්පාඤ්ඤය පුරා පැතිරුණා.
ගල්ලෑලිවල ලියවුණු බයිබලය
5වන සියවසේදී විසිගොත්වරුන් හා වෙනත් ජර්මානු ගෝත්‍රිකයන් ස්පාඤ්ඤය ආක්‍රමණය කළා. එහි ප්‍රතිඵලය, ගොතික් භාෂාව ස්පාඤ්ඤයේ ව්‍යාප්ත වීමයි. මේ ජර්මානු ගෝත්‍රිකයන් ඇදහුවේ ඒරියානුවාදය ලෙස හැඳින්වූ ක්‍රිස්තියානි ධර්මයක්. එමනිසා ඔවුන් ත්‍රිත්වය නමැති සංකල්පය විශ්වාස කළේ නැහැ. ස්පාඤ්ඤයට පැමිණෙද්දී ඒ පිරිස ගොතික් භාෂාවෙන් තිබුණු බයිබලයක් රැගෙන ආවා. 6වන සියවස වන තුරු මේ බයිබලය ස්පාඤ්ඤයේ තිබුණත් රෙකාරෙඩ් නම් විසිගොතික් රජ ඒරියානුවාදය අත්හැර කතෝලික ධර්මය වැලඳගත් පසු තත්වය වෙනස් වුණා. ඔහු ගොතික් භාෂාවෙන් තිබුණු බයිබලය ඇතුළු ඒරියානුවාදයට අයිති හැම පොතක්ම විනාශ කළා. ගොතික් ලිපි ලේඛන ස්පාඤ්ඤයෙන් තුරන් වුණේ ඒ ආකාරයෙනුයි.
එවැනි කාලයකත් දේවවචනය දිගටම ස්පාඤ්ඤය පුරා පැතිරුණා. ගොතික් භාෂාව හැරුණුකොට ඒ වන විටත් ස්පාඤ්ඤයේ යම් ප්‍රදේශයකට ආවේණික වුණු ලතින් භාෂාවක් තිබුණා. අයිබීරියානු අර්ධද්වීපයේ භාවිත වෙන රොමැන්ස් භාෂා බිහි වුණේ ඒ භාෂාවෙනුයි. * ඒ ලතින් භාෂාව වැඩිපුරම ලියවී තිබුණේ ගල් පුවරු හෝ ගල්ලෑලිවලයි. ඒ භාෂාවෙන් ලියවුණු 6වන හා 7වන සියවසට අයත් ගල්ලෑලිවල, ගීතාවලිය පොතේ වගන්ති හා සුවිශේෂ පොත්වල ඇතැම් කොටස් ඇතුළත් වී තිබෙනවා. එක් ගල්ලෑල්ලක 16වන ගීතිකාවම සඳහන් වෙනවා.
ගල්ලෑලිවලත් දේවවචනය සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ එවකට ස්පාඤ්ඤයේ සිටි සාමාන්‍ය ජනයා දේවවචනය කියවා එය පිටපත් කළ බවයි. භාෂාව කියවීමට හා ලිවීමට ළමුන්ව පුහුණු කිරීම සඳහා ගුරුවරුන් බයිබලයේ තිබූ වගන්ති යොදාගෙන තිබෙනවා. ලේඛන කටයුතු සඳහා ගල්ලෑලි යොදාගත්තේ සත්ව සම් මිල අධික වූ නිසයි. පින්තූර ඇතුළත් බයිබල් සම්පාදනය කිරීම සඳහා සත්ව සම් යොදාගත්තේ පූජකාරාමවල සිටි අයයි.
ස්පාඤ්ඤයේ ලියොන් නගරයේ පල්ලියක ක්‍රි.ව. 960දී පමණ සකස් කරන ලද පින්තූර ඇතුළත් එවැනි බයිබලයක් තිබෙනවා. එහි පිටු 516ක් ඇති අතර එක් පිටුවක් දිගින් අඟල් 18ක් පමණ වන අතර පළලින් අඟල් 13ක් පමණ වෙනවා. ඒ බයිබලයේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 18ක් පමණ වෙනවා. වතිකානු පුස්තකාලයේ ක්‍රි.ව. 1020දී පමණ පිටපත් කරන ලද තවත් බයිබලයක් තිබෙනවා. මධ්‍යකාලීන යුගයේ කරන ලද විචිත්‍රවත් බයිබල් අතරින් ඒ බයිබලය කැපීපෙනෙන එකක්. එය පිටපත් කළ කෙනාට විවිධ මෝස්තර එක් කරමින් එක් අකුරක් පමණක් ලිවීමට දවසක් පමණ ගත වෙන්න ඇති. එහි මුල් පිටුව සකස් කිරීමට සතියක්වත් ගත වෙන්න ඇති. පෙනුමෙන් එවැනි බයිබල් ඉතා ආකර්ෂණීය වුණත් මිනිසුන්ට දෙවියන්ගේ පණිවිඩය දැනුම් දීමට ඒවායින් එතරම් මෙහෙවරක් ඉටු වුණේ නැහැ.
අරාබි භාෂාවෙන් බයිබලය
මුස්ලිම් ජාතිකයන් ස්පාඤ්ඤය ආක්‍රමණය කිරීමත් සමඟ 8වන සියවස වන විට තවත් භාෂාවක් ස්පාඤ්ඤයේ ව්‍යාප්ත වෙන්න පටන්ගත්තා. මුස්ලිම් ජාතිකයන් ජනපද පිහිටුවාගත් ප්‍රදේශවල ලතින් භාෂාවට වඩා භාවිත වුණේ අරාබි භාෂාවයි. ප්‍රතිඵලයක් ලෙස අරාබි භාෂාවෙන්ද බයිබලය පරිවර්තනය කිරීමට පටන්ගත්තා.
5වන සියවසේ සිට 8වන සියවස අතර සිටි ස්පාඤ්ඤ ජාතිකයන්ට බයිබලය කියවීමට ලතින් සහ අරාබි භාෂාවෙන් තිබුණු බයිබල් පරිවර්තන උදව් වුණා
මධ්‍යකාලීන යුගයේදී අරාබි භාෂාවෙන් තිබූ බයිබල් පරිවර්තන ස්පාඤ්ඤය පුරා ව්‍යාප්ත වූ බවට සැකයක් නැහැ. විශේෂයෙන්ම ඒ භාෂාවට පරිවර්තනය වුණේ
සුවිශේෂ පොත් සතරයි. පෙනෙන ආකාරයට 8වන සියවසේදී සෙවිල් නගරයේ ජීවත් වූ ජුවාන් නම් බිෂොප්වරයා මුළු බයිබලයම අරාබි භාෂාවට පරිවර්තනය කර තිබෙනවා. ඒත් අරාබි භාෂාවෙන් තිබූ ඒ පරිවර්තන බොහොමයක් අද වන විට සොයාගැනීමට නැහැ. 10වන සියවස මැදභාගයේදී අරාබි භාෂාවෙන් කළ සුවිශේෂ පොත්වල පරිවර්තනයක් ස්පාඤ්ඤයේ ලියොන් නගරයේ දේවස්ථානයක ආරක්ෂිතව තිබෙනවා.ස්පාඤ්ඤ භාෂාවට බයිබලය පරිවර්තනය වෙයි
මධ්‍යකාලීන යුගයේ අවසන් භාගයේදී ස්පාඤ්ඤ භාෂාව අයිබීරියානු අර්ධද්වීපයේ භාවිත වීමට පටන්ගත්තා. දේවවචනය ව්‍යාප්ත කිරීම සඳහා මේ අලුත් භාෂාව ඉමහත් සේ දායක වුණා. * ස්පාඤ්ඤ භාෂාවෙන් කරන ලද පැරණිතම බයිබල් පරිවර්තනය හඳුන්වන්නේ “ලා ෆාසීයෙන්ඩා ඩෙ උල්ට්රා මාර්” ලෙසයි. එය සකස් කර තිබෙන්නේ 13වන සියවසේ මුල්භාගයේදියි. එම පරිවර්තනයට පංච පුස්තකය, සුවිශේෂ පොත් හා නියෝජිතයන්ගේ ලිපි ඇතුළත් වී තිබෙනවා.
එම පරිවර්තනය ගැන පල්ලිවල නායකයන්ගේ කිසිම ප්‍රසාදයක් තිබුණේ නැහැ. 1234දී ටැරගෝනාවල පැවැත්වූ සමුළුවකදී පූජකයන් නියෝගයක් නිකුත් කරමින් පැවසුවේ සියලුම බයිබල් පරිවර්තන විනාශ කිරීම සඳහා ඔවුන්ට භාර දිය යුතු බවයි. නමුත් මේ තහනම නිසා බයිබලය පරිවර්තනය කිරීම නතර නොවීම සතුටට කරුණක්. එහිදී කැපීපෙනෙන මෙහෙවරක් කළේ 10වන අල්ෆොන්සෝ රජයි (1252-1284). ස්පාඤ්ඤයේ ලේඛන කලාව දියුණු කිරීමට වෙහෙසුණු ඔහුගේ ආශාව වුණේ ස්පාඤ්ඤ භාෂාවෙන් බයිබලයක් නිකුත් කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ස්පාඤ්ඤ භාෂාවෙන් වඩාත් ප්‍රචලිත වූ බයිබලය වන පූර්ව-අල්ෆොන්සෝගේ බයිබලය නිකුත් වූ අතර ඉන් ටික කාලයකට පසුව අල්ෆොන්සෝගේ බයිබලය නිකුත් වුණා.
එම පරිවර්තන ස්පාඤ්ඤ භාෂාව නඟා සිටුවීමට බොහෝ සේ ඉවහල් වුණා. පූර්ව-අල්ෆොන්සෝගේ බයිබලය ගැන විශාරදයෙක් වූ තොමස් මොන්ට්ගොමරි පැවසුවේ මෙහෙමයි. ‘මෙම බයිබලයේ යොදා තිබෙන භාෂා ශෛලිය ඉතාම ආකර්ශනීයයි. ඒ වගේම නිවැරදියි. එහි භාවිත කර තිබෙන්නේ සරල භාෂා ශෛලියක්. ලතින් භාෂාව ගැන එතරම් දැනුමක් නැති අයට අවශ්‍යව තිබුණේ එවැනි බයිබලයක්.’
එම බයිබල් පරිවර්තනය කරනු ලැබුවේ මුල් භාෂාවලින් නොව ලතින් ‘වල්ගේට්’ බයිබලයෙනුයි. නමුත් 14වන සියවසේ සිට යුදෙව් ජාතික විද්වතුන් ස්පාඤ්ඤ භාෂාවට හෙබ්‍රෙව් ලියවිලි පරිවර්තනය කළේ මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් ලියවී තිබුණු ලියවිලිවලිනුයි. ඔවුන්ට හෙබ්‍රෙව් භාෂාවෙන් ලියවී තිබුණු නිරවද්‍ය පිටපත් ලබාගැනීමට හැකියාව තිබුණා. * එවකට යුරෝපයේ වැඩිම යුදෙව් ජාතිකයන් සිටියේ ස්පාඤ්ඤයේ.
15වන සියවසේදී පරිවර්තනය කරනු ලැබූ අල්බා බයිබලය හෙබ්‍රෙව් අත්පිටපත් ඇසුරින් කළ බයිබල් පරිවර්තනයකට කදිම නිදසුනක්. ප්‍රසිද්ධ ස්පාඤ්ඤ ප්රභූවරයෙක් වන ලුයිස් ඩි ගූස්මාන්, විද්වතෙක් වන මොයිසෙස් ආරාකෙල්ට නිවැරදි ස්පාඤ්ඤ භාෂාවෙන් බයිබලය පරිවර්තනය කිරීමේ කාර්යය පැවරුවා. ඔහු එවැනි පරිවර්තනයක් ඉල්ලා සිටීමට හේතු දෙකක් පෙන්වා දුන්නා. එක හේතුවක් ලෙස ඔහු පැවසුවේ “රොමැන්ස් භාෂාවෙන් පළ වී තිබෙන පරිවර්තන නිවැරදි නැහැ” කියායි. දෙවන හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ “තේරුම්ගන්න අපහසු ඡේද තේරුම්ගන්න අපි වගේ අයට අමතර සටහන් අවශ්‍යයි” කියායි. එයින් පැහැදිලි වන්නේ ඔහුගේ කාලයේ සිටි අය බයිබලය කියවීමට හා එය තේරුම්ගැනීමට ලොකු ආශාවකින්
සිටි බවයි. ඒ වන විටත් ස්පාඤ්ඤ භාෂාවෙන් බයිබලය බොහෝ සේ ව්‍යාප්ත වී තිබුණු බවත් එයින් පැහැදිලියි.මධ්‍යතන යුගයේ සිටි පිටපත්කරුවන්ගේ වෑයම නිසා ස්පාඤ්ඤයේ සිටි උගත් මිනිසුන්ට කිසිම අපහසුතාවකින් තොරව තමන්ගේ භාෂාවෙන් බයිබලය කියවීමට හැකියාව තිබුණා. ඒ නිසා ඉතිහාසඥයෙක් වන ක්වාන් ඕට්ස් ගොන්සාලෙස් ඒ ගැන පැවසුවේ මෙහෙමයි. “ලූතර්ගේ කාලයට කලින් හිටපු ජර්මානු හා එංගලන්ත ජාතිකයන්ට වඩා ස්පාඤ්ඤ ජාතිකයන්ට බයිබලය ගැන හොඳ දැනුමක් තිබුණා.”
“ලූතර්ගේ කාලයට කලින් හිටපු ජර්මානු හා එංගලන්ත ජාතිකයන්ට වඩා ස්පාඤ්ඤ ජාතිකයන්ට බයිබලය ගැන හොඳ දැනුමක් තිබුණා.”
කෙසේවෙතත් 15වන සියවස අගභාගය වන විට ස්පාඤ්ඤයේ කතෝලික සභාව විසින් බයිබලයක් ළඟ තබාගැනීම හෝ බයිබලය පරිවර්තනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. මේ තහනම සියවස් තුනක් පමණ දීර්ඝ කාලයක් පුරා පැවතුණා. නමුත් එඩිතර පරිවර්තකයන් කිහිපදෙනෙක් වෙනත් රටවලදී බයිබලය පරිවර්තනය කර හොර රහසින් එය ස්පාඤ්ඤයට එවනු ලැබුවා. *
ඉතිහාසය දෙස හැරී බලන විට මධ්‍යතන යුගයේදී ස්පාඤ්ඤයේ දේවවචනය යටපත් කරන්න බොහෝ අය විවිධ උපක්‍රම යොදා තිබෙන බව අපට පැහැදිලියි. නමුත් දෙවිගේ වචනය යටපත් කරන්න කිසිවෙකුටවත් හැකි වුණේ නැහැ.
ලතින්, ගොතික්, අරාබි සහ ස්පාඤ්ඤ භාෂාවලට මධ්‍යතන යුගයේදී බයිබලය පරිවර්තනය කිරීමට ඇතැම් අය ඇපකැප වී වැඩ කළා. ඒ අයගේ අඩිපාරේම යන බයිබල් පරිවර්තකයන් අදත් ඉන්නවා. ස්පාඤ්ඤ භාෂාව කතා කරන අයට තමන්ගේම භාෂාවෙන් බයිබලය කියවා දෙවියන්ගේ පණිවිඩය තේරුම්ගැනීමට අදටත් හැකි වී තිබෙන්නේ ඒ නිසයි.
^ 10 ඡේ. කැස්ටිලියානු, කැටලෝනියානු, ගැලිසියානු හා පෘතුගීසි භාෂා රොමැන්ස් භාෂාවලට අයත් වෙනවා.
^ 17 ඡේ. අද දින මිලියන 540කගේ පමණ මව්බස ස්පාඤ්ඤ භාෂාවයි.
^ 20 ඡේ. 2011 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ “දෙවිගේ නාමය නිවැරදිව භාවිත කිරීමට වෙහෙසුණු අල්ෆොන්සෝ දේ තාමෝරා” යන ලිපිය බලන්න.
^ 23 ඡේ. 1996 ජූනි 1 ‘මුරටැඹ’ සඟරාවේ “ස්පාඤ්ඤ බයිබලයක් සඳහා කාස්යෝඩෝරෝ ඩෙ රේනාගේ සටන” යන ලිපිය බලන්න.